1967 ඔක්තෝබර් 8.
බොලිවියාවේ ලා හිගුවේරා කඳුකරයට උඩින් හිරු බැස යමින් තිබුණි…
දවස පුරා පැවැති දරුණු සටනින් පසු මිනිසෙකු තුවාල ලබා සිටියේය. ඔහුගේ තුවක්කුව ක්‍රියා විරහිත වී තිබුණි. කකුලට වෙඩි වැදී, ඇදුම රෝගය හුස්මට බරක් වී තිබුණි. ඒ මිනිසා අර්නස්ටෝ “චේ” ගුවේරාය. ඔහුව අල්ලාගත් බොලිවියානු හමුදාව, ලා හිගුවේරා ගමේ පැරණි, අඳුරු පාසල් කාමරයක සිර කළහ. එතැන් සිට ඔහු අත තුවක්කුවක් නැත. ඔහු හුදෙක් සිරකරුවෙකි.
එහෙත්, සමහර මිනිසුන් සිරකරුවන් වූ පසුවත්, ඔවුන් සිරකරුවන් බව සිතන්නට බැරි තරම් ආත්මයෙන් විශාලය!
පසුදා ඔක්තෝබර් 9 උදෑසන ඒ කාමරයේ දොර විවෘත විය. තුවක්කුවක් අතැතිව ඇතුළට පැමිණියේ ‘මාරියෝ ටෙරාන්’ නම් සාජන්ට්වරයායි. චේ ඉදිරියේ එතැන වූයේ සටන් බිමක් නොවේ. තමන්ගේ මරණයයි. පීඩකයාගේ තුවක්කුව දෙස බලා, මරණය අබියසදීත් නොසැලුණු චේ ගුවේරා අවසන් වරට පැවසුවේය.
“නිවටයෙක් නොවී කෙළින් සිට ඉලක්කය ගෙන වෙඩි තියපන්! උඹ මේ මරන්නේ මිනිසෙකු විතරයි!”
චේගේ අවසන් වචන පිළිබඳ විවිධ වාර්තා තිබුණද, එක දෙයක් පැහැදිලිය. ඒ වෙඩි හඬින් චේගේ භෞතික ශරීරය නැසී ගියද, ඔහු සතු වූ ඒ අසමසම විප්ලවීය අභිමානය මරා දැමීමට පීඩකයාට නොහැකි විය.
හැත්තෑව සහ අසූව දශකවල ලංකාවේ තරුණ පරම්පරාවට චේගේ කඳුකර ගමන, ඔහුගේ සිහිනය සහ ඔහුගේ මරණය ඇතුළු වූයේ හුදෙක් පොත් පිටුවලින් පමණක් නොවේ. එය අපේම විප්ලවීය කාව්‍යයක් ලෙස හදවත් තුළට තදින්ම කාවැදුණි. ඒ කාලයේ ලංකාවේද තවත් තරුණ පරම්පරාවක් තමන්ගේම අරගලයක් ගැන සිහින දැක්කාහ. ඔවුන්ගේ සිහිනය කියුබාව හෝ බොලිවියාව නොවීය.
එය පීඩිත මිනිසුන්ට බලය ලැබෙන සමාජයක් පිළිබඳ ශ්‍රී ලාංකේය සිහිනයයි. විප්ලවීය මතවාදයන් හෝ සටන්කාමී ස්වරූපයන් අතින් ලංකාවේ අරගලයත්, චේගේ ජාත්‍යන්තරවාදී සටනත් යනු එකිනෙකට වෙනස්, භූගෝලීය සීමාවල පිහිටි කතාවන්ය. එහෙත්, මර්දනයේ සහ හුදකලා මරණයේ මුහුණුවර ඕනෑම රටකට එකමය!
අපේ ඉතිහාසයේ අඳුරු පිටුවල ලියා ඇති පරිදි, ඒ පරම්පරාවේ දහස් ගණනක් තරුණයෝ මියගියහ. වධකාගාරවලට ගෙන යනු ලැබූහ. චේගේ කතාව සිහිපත් කරන මේ ඔක්තෝබර් දිනයක, තුවක්කුවක් අතින් ගත් පීඩකයා දෙස නොසැලී බලා සිටි ඒ අසංඛ්‍යාත තරුණයන් අතරින් එකදු කතාවක් හෝ සිහිපත් කල යුතුය. 1989 ඔක්තෝබර් මාසයේ දිනක, භීෂණයෙන් වෙලී තිබූ කොළඹ අගනුවරදී හමුදා කණ්ඩායමක් විසින් තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුව රැගෙන ආවේ එවකට නීති පීඨ පරිශ්‍රයේ පවත්වාගෙන ගිය රහසිගත රැඳවුම් ස්ථානයටයි. අත් දෙකට මාංචු දමා තිබූ ඔහු වටා තවත් නිරායුද තරුණයන් රඳවා සිටියහ.
එවකට එහි සිරකරුවෙකුව සිට පසුව දිවි ගැලවී ආ, වර්තමානයේ ඉතාලියේ වෙසෙන වසන්ත ගමගේ ගේ සාක්ෂියට අනුව, එදා රාත්‍රියේ ඒ අලුතින් ගෙන ආ තරුණයාගෙන් ප්‍රශ්න කළේ ලුතිනන් ‘නිසාම් තුවාන් මුතාලිෆ්’ය. කඳවුර භාරව සිටි අණදෙන නිලධාරියා වූ කැප්ටන් ‘මංජුල මනුතුංග’ එදින වේලාසනම නින්දට ගොස් සිටියේය.
ප්‍රශ්න කිරීම් හමුවේ පහරදීම් සිදුවිය. පිළිතුරු ඔහුට අවශ්‍ය ආකාරයෙන් ලැබුණේ නැත. ඊළඟට මරණයේ තර්ජනය පැමිණියේය.
“දැන් උඹට වෙඩි තියනවා! තව ටික වෙලාවයි උඹ ජීවත් වෙන්නේ!” යැයි නිලධාරියා එකම දේ කිහිප වරක් කියනු සෙසු සිරකරුවන්ට ඇසුණි.
ඒ මොහොතේ, සිරකරුවා බියෙන් වැලපුණේ නැත. දණගසා ජීවිතය ඉල්ලා සිටියේද නැත. ඔහු කළේ ඉතා කෙටි, එහෙත් අකුණක් වැනි අභියෝගයකි.
“ඇයි උඹ වෙඩි තියනවා කිය කියා බලා ඉන්නේ? වෙඩි තියපන්!”
මොහොතක මූසල නිහඬතාවයක් ගෙවී ගියේය.
ඊළඟ මොහොතේ වෙඩි හඬක් ඇසුණි!
සිරකරුවා බිම වැටී සිටියේය. ඒ මැදියම් රැයේ වෙඩි හඬින් තිගැස්සී අවදි වූ කපිතාන්වරයාද වධක බිම වෙත පැමිණ, “ඇයි මේක මෙතැන කළේ?” යි විමසද්දීත්, ඒ නිසල සිරුරෙන් ප්‍රතිරාවය වූයේ එකම අභිමානවත් හඬකි!
චේ මරා දමා අවුරුදු විසිදෙකක කාල පරතරයක් තිබුණද, ඒ දෙතැනම පැවැතියේ එකම විප්ලවීය රිද්මයයි. 1967, බොලිවියාවේ ලා හිගුවේරා හි අඳුරු පාසල් කාමරයකය. අනෙක 1989, කොළඹ නීති පීඨයේ රහසිගත වධකාගාරයකය තුලය.
ලෝකයේ එක් කොනක මුළු ලෝකයම දන්නා අර්නස්ටෝ චේ ගුවේරා! අනෙක් පැත්තේ නම පවා ඉතිහාසයේ කිසිම තැනක නොලියැවුණු, ඡායාරූපයක් පවා නැති අපේ රටේ හඳුනා නොගත් තරුණයෙක්! ඔවුන් එකිනෙකා හමුවී තිබුණේ නැත. ඔවුන්ගේ දේශපාලනික පසුබිම් හෝ සටන් බිම් එක සමානද නැත. එහෙත්, පීඩකයාගේ තුවක්කුව හමුවේ, සිය ජීවිතයේ අවසාන තත්පරයේදී ඒ දෙදෙනාගේම ආත්මයෙන් පිටවූයේ එකම මානුෂීය හඬයි.
“වෙඩි තියපන්!”
චේ ලෝකයටම නමක් තබා ගියේය. එහෙත් ඉතිහාසයේ අමාරුම, උතුම්ම කාර්යය වන්නේ නමක් නැති, සොහොන් කොතක් නැති, ඡායාරූපයක් නැති මිනිසුන්ගේ අභිමානය මතක තබාගැනීමයි.
ඔක්තෝබරයේ මේ අඳුරු දිනය අපට මතක් කර දෙන්නේ මරණයේ බිහිසුණු බව පමණක් නොවේ. මිනිස් ආත්මයකට තුවක්කු කුණ්ඩලවලින් යටපත් කළ නොහැකි අසමසම ආලෝකයක් ඇති බවයි.
පීඩකයන් හිතුවේ වෙඩි උන්ඩ වලින් විප්ලවයේ හඬ නිහඬ කළ හැකි බවයි. එහෙත්, බොලිවියානු කඳුකරයේ අඳුරු කාමරවලින් හෝ කොළඹ නීති පීඨයේ වධකාගාරවලින් නික්මුණු ඒ අවසාන වචන, අදටත් පීඩිත ජනතාවගේ නිදහස් අරුණෝදය උදෙසා නැවත නැවතත් හඬනගයි.
ලා හිගුවේරා, 1967 දී “වෙඩි තියපන්!”
කොළඹ, 1989 දී “වෙඩි තියපන්!”
ඒ හඬවල් යනු මරණයේ වැලපීම් නොවේ. පීඩකයා හමුවේ කිසිදා දණ නොනමන, අනාගත පරම්පරාවන් උදෙසා අලුත් අරුණළු කැඳවන අමරණීය මානුෂීය අභිමානයේ ප්‍රභාස්වර ජයග්‍රහණයයි!
ගාමිණී මුතුකුමාරණ



