ප්‍රගීත් රත්නායක සෞම්‍ය ජේෂ්ඨ සිත්තරෙක් කිව්වොත් නිවැරදියි. මා ගැනත් මගේ ස්වාමියා වූ ඉනේජ් දිල්ෂාන් ගැනත් ඉස්සෙල්ලම ලියපු සිත්තරා ඔහු. ඉතින් අද මට හිතුණා ඔහුගේ චිත්‍ර ගැන ලියන්න, නමුත් මේක ලියන්නෙ ඔහුගෙන් ඔහුගේ කලාව ගැන නොවිමසා මට හැඟෙන දකින දේවල්. කලින් ලිපිත් මම ලිව්වෙ එහෙමයි. ඉතින් සිත්තරුන් එකඟ වන්නත් නොවෙන්නත් පුලුවන්..ඉතින් අපි හැරෙමු ප්‍රගීත් රත්නායක නමැති හෘදයාංගම සිත්තරා දිහාට..
ප්‍රගීත් රත්නායක ශිල්පියාගේ කලාවේ මූලය වියුක්ත ප්‍රකාශනවාදය (Abstract Expressionism) සමග අත්වැල්බැදගත්ත කලාවක්, එය ස්පර්ශ කරන්නේ ඔහුගේ විඥ්ඥාණය. ඔහුගේ විඤ්ඤාණය විසින් අරගෙන එන අපූර්ව වර්ණ හැඩතල සමූහයකින් ඔහු කතන්දරයක් කියනවා. එහි සමාජ දේශපාලන අදහස් ඔහුගේම පෞද්ගලික හා සමාජ සංකේත ඔස්සේත් වර්ණ ඔස්සේත් රසිකයාට ආමන්ත්‍රණය කරනවා. ඔහුගේ මූලය ප්‍රකාශනවාදය හෙයින් ඔහුගේ නිර්මාණ වල ඇත්තේ විඥ්ඥාණමය හැඩයක්, එහෙයින් ඔහුගේ කතා කිරීමේ කලාව ඔහුගේ මනසෙහි මැවුණු රූපක ඔස්සේ හැඩගැසේ. ඔහුගේ නිර්මාණ වියුක්ත ප්‍රකාශනවාදයේ (Abstract expressionism )සිට වේගයෙන් නව ප්‍රකාශනවාදය (Neo- Expressionism ) දක්වා හුවමාරු වෙනවා. කිමද ඔහුගේ හැඟීම් පරයා මිනිසා සහ දේශපාලනය, අනන්‍යතා අර්බුධ, මානසික කාංසාවන් ප්‍රකාශනය කරන්න පටන්ගන්නවා. , ඔහුගේ බුරුසුවේ ආවේගශීලී පින්සල් පහරවල්, ඉම්පෑස්ටෝ කැන්වසයෙහි කා වදිනවා. ඉතින් ඔහුගේ නිර්මාණ ප්‍රකාශනවාදය පසුකරමින් නව ප්‍රකාශනවාදය දෙසට යාම පුදුමයක් නෙවෙයි. වර්තමානයේදී ඔහුට අධියථාර්ථවාදී ප්‍රකාශන නැඹුරුවක් ඔහුගේ ශෛලියට එක්වෙනවා, ඉතින් ඔහුගේ නිර්මාණ සමහරක මේ හයිබ්‍රිඩ් ලක්ෂණ දකින්න පුලුවන්. බොහෝ සමකාලීන පශ්චාත් ප්‍රකාශනවාදී කලාකරුවන් මේ ලක්ෂණ පෙන්නුම් කරනවා.
ප්‍රගීත්ගේ හියුමන්ස්කේප් ( Humanscape) නිර්මාණ පෙළ ඔහුගේ නිර්මාණ අතරින් මා හට වඩාම සිත්ගන්නා නිර්මාණ කියන්න පුලුවන්. ඔහුගේ ප්‍රියතම වර්ණාවලිය වන හොඳ නරක සුබ අසුබ ධන රින ශක්තීන් පරිවර්තනය කරන්නාක් වැනි කලු සුදු ප්‍රබේදාකාර වර්ණාවලිය අතර තනි වූ හුදකලා මිනිසකුගේ මානසික භූ දර්ශනය ඉක්මවමින් ඔහුගේ හියුමන්ස්කේප් සංකේතවාදීව ඉදිරියට ගොස් ඇති බව පෙනේ. ප්‍රකාශනවාදයට ආවේණික ඉම්පෑස්ටෝමය හැගීම්බර පින්සල් පහර එහෙමම තබාගනිමින් බාහිර සමාජ දේශපාලන බලපෑම හියුමන්ස්කේප් නිර්මාණය සඳහා කෙසේ බලපාන්නෙද යන්න ප්‍රගීත්ගේ මිනිස් භූ දර්ශන පෙන්වාදෙනවා.
ඔහුගේ ප්‍රකාශනයෙහි බලය මිනිස් හිස වෙත යොමු කිරීම විශේෂත්වයක්. ඔහුගේම හිස හෝ මානව හිස අවකාශයට දියවී යන ආකාරයෙන් හෝ අවුලක ගිලී යන ආකාරයෙනුත් මහත් වූ දරාගත නොහැකි බරකිනුත් ඒවා පිරී තිබෙනවා. ඔහු විටෙක දිව්‍යමය මධ්‍යයට රැගෙන එන ප්‍රකාශනය තවත් විටක අර්බුදකාරී ලෙස කඩා වැටීමට සලස්වනවා, විටෙක මහත් හුදකලාවක අතරමන් කරනවා. ඔහුගේ හිස නිතරම අධියථාර්ථවාදී හිසක් බවට පත්වෙනවා. ඔහුගේ එක් සිතුවමක හිස් ශරීරයකින් නැගී එන අතක ඇති අක්ෂිබෝලයක් හාත්පස නිරීක්ෂණය කරන අයුරු පෙන්වනවා. එම මිනිස් සිරුර කෙනෙකු මෙහෙයවන යන්ත්‍රයක් මෙන් පෙනෙනවා. ඔහුට දකින්නට සිදුවන්නෙ තමන්ට දැකිය යිතු දේ නොව වෙනත් බලාධිකාරයක් පෙන්වන දෙයක් බව පෙනෙන්නට තිබෙනවා. ප්‍රගීත් ඔහුගේ සිතුවම්හි මානව රූපයෙන් ස්වාධීනත්වය උදුරා දමනවා එය හුදෙක් කාගේ හෝ මෙහෙයවීමට යටත් වූවක් ලෙස පෙනීමට සලස්වනවා, ඒ මෙහෙයවන්නා පිළිබඳ ඉඟි ඔහු කැන්වසය පුරා සංඛේතාර්ථ ඔස්සේ ඉසිනු ලබනවා. ඔහුගේ නිර්මාණ විශ්ලේෂණය ඉතා සිත්ගන්නාසුලුයි. ඇත්තෙන්ම ප්‍රගීත් රත්නායක ශිල්පියා මට පෙනෙන්නේ අධියථාර්ථවාදී හිසක් ඇති ප්‍රකාශනවාදී අතක් ඇති මිනිසකුගේ අපූර්ව පහළ වීමක් විදියට.
මාලිකා සංජීවනී


