දෙවැනි වරටත් වැඩ තහනම් කර සිටි මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ සේවයෙන් නෙරපයි !

89
(ඡයාරූපය අන්තර්ජාලයෙනි.)

වැඩ තහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ තනතුරෙන් නෙරපීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

වැඩ තහනම් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයාට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණයේදී එල්ල වූ සියලු චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් කොමිෂන් සභාව මේ තීරණය ගෙන තිබේ.

අලි පැටවුන් පිළිබඳ චෝදනා ඇතුළු විෂමාචාර චෝදනා රැසක් පිළිබඳව ඔහුට එරෙහිව විමර්ශන පැවැත්විණි. පසුගිය ජුනි මාසයේදී මහෙස්ත්‍රාත්වරයාට මීට අදාළ චෝදනා පත්‍රයක් ලබාදී තිබූ අතර, චෝදනාවලට පිළිතුරු දීමට දින 21ක් ලබාදී තිබිණි.

2016 මැයි මාසයේදී ද අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් එවකට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ධුරයේ රාජකාරි කරමින් සිටි තිලිණ ගමගේගේ වැඩ තහනම් කරනු ලැබිණි. කූඨ ලෙස සකස් කරන ලද බලපත්‍රයක් යොදාගෙන සකුරා නමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව නඩු පැවරූ අතර, 2016 ජුනි 02දා මහෙස්ත්‍රාත්වරයා ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට බාර වීමෙන් පසු ඇප ලැබීය.

2019 නොවැම්බර් මාසයේදී තිලිණ ගමගේ ඇතුළු සිව්දෙනකුට එරෙහිව එවකට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ චෝදනා ගොනුකෙරිණි. කෙසේ වෙතත් 2021 දෙසැම්බර් මාසයේදී ඔහු එම චෝදනාවලින් නිදහස් කරන ලදි. 2022 වසරේදී ඔහු නැවත අධිකරණ සේවයේ පිහිටුවන ලදි. ඉන්පසු කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් ලෙස කටයුතු කළ ඔහු, 2024 අප්‍රේල් මාසයේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෙස පත්කෙරිණි. 2025 වසරේදී මොරටුව මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ලෙස මාරුකරන ලද අතර, එහි සේවය කරමින් සිටියදී දෙවැනි වරටත් ඔහුගේ වැඩ තහනම් කෙරිණි.