සෑහෙන්න දවස් ගාණකට පස්සේ තමයි රුසියාව සහ යුක්‍රේනයේ ගැටුම් සම්බන්ධයෙන් ලියන්නේ. මේ මොහොත වෙද්දි යුක්‍රේනය පැත්තෙන් රුසියාවට දැවැන්ත ප්‍රහාර එල්ලවෙමින් තියනවා. මේ ප්‍රහාර වැඩිපුරම ඉලක්ක වෙන්නේ රුසියාවේ තෙල් ගබඩා සහ පිරිපහදු මධ්‍යස්ථානවලට. ඒ නිසා මේ වෙද්දි රුසියාවේ තෙල් නිෂ්පාදනය සහ සැපයුම සැලකිය යුතු මට්ටමකින් පහත වැටිලා.
ඒකේ ප්‍රතිඵලයක් විදිහට, රුසියාවෙන් තෙල් මිළට ගන්න මධ්‍යම ආසියාවේ රටවල් කිහිපයක්ම රුසියාවේ තෙල් නැතිව අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නවා. දැනටමත් ටජ්කිස්ථාන ආන්ඩුව ඉරානයෙන් තෙල් මිළට ගන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම ඉරානය කිරිගිස්ථානයේ තෙල් පිරිපහදුවක් අළුතින් පිහිටුවලා මධ්‍යම ආසියානු රටවල්වලට වැඩි තෙල් සැපයුමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ටජිකිස්ථානයට අවශ්‍ය තෙල් සැපයුම ලබාදෙන්න ටෙහෙරාන් දැනටමත් එකඟවෙලා ඉවරයි.
ඉරානයට අලුත් මගක්!
රුසියාවේ තෙල් සැපයුම කඩාවැටෙද්දි ඒක ඉරානයට අලුත් මාවතක් නිර්මාණය කරන බව පැහැදිලියි. එක පැත්තකින් ඉරානයේ සමුද්‍රීය තෙල් සැපයුම ඇමරිකානු බලපෑමෙන් බිඳවැටිලා ආදායම් අඩුවෙලා තියෙද්දි, මධ්‍යම ආසියාව පැත්තෙන් එන අලුත් ඉල්ලුම ඉරානයට අස්වැසිල්ලක් වේවි කියන එක සහතිකයි.
රුසියාව පැත්තෙන් ගත්තත්, තමන්ගෙන් ගිලිහෙන තෙල් ඉල්ලුම් කොටස රුසියන් හිතවාදී ඉරානයට සපයන්න හැකිවීම සහනදායී තත්ත්වයක්.
මධ්‍යම ආසියාවේ ටජ්කිස්ථානය, කිරිගිස්ථානය වගේ රටවල් ගණනාවකම තෙල් සැපයුමෙන් සියයට 80-90 අතරේ ප්‍රමාණයක් එන්නේ රුසියාව පැත්තෙන්. ඒ නිසා රුසියාවේ තෙල් සැපයුම අවහිරවීම මේ රටවල්වල අභ්‍යන්තරයේ කලබලයක් ඇතිකරන්න හේතුවක් වුණා. ඒත් ඉරානයේ මැදිහත්වීම මේ තත්ත්වය යම්තාක් දුරට සමනය කරලා තියනවා.
රුසියාවේ තෙල් සැපයුම සීමාවේ
රුසියාවේ තෙල් සැපයුම් හිඟය නිසා රුසියාව ඇතුලේ තෙල් විකිණීම පවා සීමා කරලා තියනවා. ඉන්ධන පිරවුම්හල්වලින් වරකට නිකුත් කරන උපරිම තෙල් ප්‍රමාණය ලීටර් 20-30 ට සීමා කරන්න කටයුතු කරලා. ඒ වගේම වහාම ක්‍රියාත්මකවන පරිදි පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්ධන අපනයනය නතර කරන්න රුසියන් ආන්ඩුව කටයුතු කළා.
මධ්‍යම ආසියානු රටවල් රුසියන් තෙල් වෙනුවට ඉරාන තෙල් ලබාගන්න බලාපොරොත්තු වුනත්, ඒක කොච්චර දුරට දීර්ඝකාලීන විසඳුමක් ද කියන එකේ ගැටළුවක් තියනවා. ඒකට හේතුව වෙන්නේ ගොඩබිම් මාර්ගවලින් මධ්‍යම ආසියානු රටවල්වලට තෙල් සැපයීම කරද්දි, යුදමය තත්ත්වයන් එක්ක මේ සැපයුමට බාධාවෙන්න ඉඩකඩ තියන නිසා.
රුසියාවට ඉන්දියාවෙන් තෙල්?
ඒ වගේම පහුගිය සතියේ ඉතාම තීරණාත්මක සිදුවීමක් වුණා. ඒ තමයි ඉන්දියානු තෙල් සැපයුම් සමාගමක් වන නයාරා සමාගමෙන් තෙල් මිළට ගන්න රුසියාව කටයුතු කිරීම. රුසියාවේ තෙල් සැපයුම අඩාලවීම එක්ක, ඒ තත්ත්වය පාලනය කරන්න රුසියාව ඉන්දියානු සමාගමකින් තෙල් මිළට ගන්න හදිසියේම තීරණය කළා.
හැබැයි ඉන්දියාව පැත්තෙන් මේ තොරතුරු හෙළිදරව් කළේ ඉන්දියාව රුසියාවට කෙලින්ම තෙල් අලෙවි කළේ නැති බවත්, ඉන්දියානු සමාගමක තෙල් ජාත්‍යන්තර ගැනුම්කරුවන් හරහා රුසියාව මිළට අරගෙන තියනවා කියලා. කොහොමවුනත් මේ ප්‍රවෘත්තිය ලෝකයේම දේශපාලන වේදිකාව උණුසුම් කරන සිදුවීමක් බවට පත්වුණා.
