ශිරන්ති මේ දූෂණය කළේ කොහොමද? : අල්ලස් කොමිසම අධිකරණයට කියූ කතාව !

7
(Pix from Internet)

‘සිරිලිය සවිය’ අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ ශිරන්ති රාජපක්ෂ ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න අද (07) නියෝග කළාය.

මෙහි පළමු සැකකරු වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් රුපියල් ලක්ෂ 100 බැගින් ශරීර ඇප 2ක් මත මුදාහැරීමට අධිකරණය තීන්දු කළේය.

සිද්ධියට අදාළ නඩුව අද (07) කැඳවූ අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු මහෙස්ත්‍රාත්වරිය මේ නියෝග නිකුත් කළාය. අද (07) පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් පස්වරු 5ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව පළමුවැනි සැකකරු ලෙස ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් සහ දෙවැනි සැකකාරිය ලෙස ශිරන්ති රාජපක්ෂ යන අය නම් කර ඇති බවයි. සිද්ධියට අදාළ ව කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ (නීති) යස්මදා ලොකුනාරාගොඩ මෙසේ සඳහන් කළාය.

‘ස්වාමිනී, 2015 වසරේ ලද පැමිණිල්ලකට අදාළව මේ ගැන විමර්ශන ආරම්භ කළා. මෙම සිද්ධියේ පළමු සැකකරු කොළඹ 10, සුදුවැල්ල මහජන බැංකුවට සිරිලිය ගිණුමට අදාළව ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක් ගිණුම්ගත කරලා තියෙනවා. නිසික්‍රමවේදයෙන් තොරව තමයි එම මුදල ලබාදීලා තියෙන්නෙ. එම සැකකරු එවකට එම බැංකුවේ සභාපති ලෙස සේවය කළා. සාමාන්‍යයෙන් බැංකුවකින් මුදල් ලබා දිය යුත්තේ එම කාර්යය ඉටු වූ පසුවයි. මොහු කලින්ම මුදල් දීලා. ඒ ගැන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශ ලබාගත්තා. ඒ අනුව මෙම සැකකරු අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ ‘දූෂණය’ නම් වරද සිදුකර තිබෙනවා. මෙම සිද්ධියට මුදල් ලබා දී තිබෙන්නේ කිසියම් බලපෑමක් මත බව පැහැදිලියි. රුපියල් මිලියන 10ක් විතරක් නෙවෙයි, මෙම සිරිලිය ගිණුමට පෞද්ගලික, රාජ්‍ය ආයතනවලින් පවා ආධාර ලබාදී තිබෙනවා.

මෙම සිද්ධියේ දෙවැනි සැකකාරිය විසින් පළමු සැකකරුට අනුබල දී මෙම සිරිලිය ගිණුමට මුදල් ලබාගෙන තියෙනවා. ඒ අනුව ශිරන්ති රාජපක්ෂව පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත්තා. ටොමෝග්‍රැෆි ස්කෑනර් (CT ස්කෑන්) යන්ත්‍රයක් ලබාගන්න තමයි ස්වාමීනි, මේ බැංකුවෙන් මුදල් ලබාගෙන තිබෙන්නෙ. එම මුදල් ඇය පෞද්ගලිකව භාවිතා කරලා. එම නිසා විමර්ශන අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලනවා.

ටොමෝග්‍රැෆි ස්කෑනර් (CT ස්කෑන්) යන්ත්‍රයක් ඉල්ලලා රිජ්වේ ආර්යා ළමා රෝහල ඉල්ලීමක් කරලා නැහැ. ඒ වන විටත් එවැනි එකක් එහි තිබිලා. ඒ බව අධ්‍යක්ෂවරුන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව පැහැදිලි වෙනවා.

‘සිරිලිය සවිය’ සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පරිගණකගත ටොමෝග්‍රැෆි ස්කෑනර් (CT ස්කෑන්) යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින්, ඒ සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන එම මුදලින් අදාළ යන්ත්‍රය ලබානොදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම හා පොදු දේපළ පනත යටතේ වන වැරදි සිදුකිරීමේ චෝදනාව මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම මෙහිදී පෙන්වා දුන්නේය.