ළමා රෝහලට දුන් ස්කෑන් යන්ත්‍රයෙනුත් වංචා කළ බවට සැක, ඇය ශිරන්ති රාජපක්ෂ !

7
(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද (07) අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ 13දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබා දුන් රුපියල් ලක්ෂ සීයක මුදලක් සිරිලිය පදනම මගින් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අදාළව මෙසේ ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනිණි. සිරිලිය සවිය විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී ස්කෑන් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට අවශ්‍ය බව පෙන්වා දෙමින් ඉදිරිපත් වූ ලිපියක් අනුව විධිමත් අයුරින් කරුණු සොයාබැලීමකින් තොරව එවකට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා විසින් ලබාදෙන ලද වාචික උපදෙස් අනුව එකී මුදල සිරිලිය පදනමට පරිත්‍යාග කොට ඇති බවත් එකී මුදලින් මිලදී මිලදී ගත් බව අඟවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකුගේ උපන්දිනය නිමිත්තෙන් එම සී.ටී ස්කෑන් යන්ත්‍රය රෝහලට පරිත්‍යාග කොට ඇති බවත් අනාවරණය වී තිබේ.

සිරිලිය සවිය සංවිධානයේ බැංකු කටයුතු කොළඹ, ඩාර්ලි පාරේ, සුදුවැල්ල මහජන බැංකුවේ පිහිටි ගිණුමකින් සිදුකර තිබේ. එම ගිණුමට අදාළ චෙක්පත් අත්සන් කරන අයගේ නම් ලෙස ශිරන්ති රාජපක්ෂගේ නම සහ ඇයගේ හිතවතුන් කිහිපදෙනකුගේ නම් ලබාදී ඇත. විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඒ සඳහා ලබාදී ඇත්තේ ව්‍යාජ ජාතික හැඳුනුම්පත් අංක බවයි. 222222222 සහ 111111111 එසේ බැංකුවට ලබාදී ඇති ව්‍යාජ හැඳුනුම්පත් අංක දෙකකි. එසේම මේ බැංකු ගිණුමට අදාළ ගිණුම් හිමියන්ගේ සියලු තොරතුරු ඇතුළත් තොරතුරු පත්‍රිකාව හෙවත් මැන්ඩේට් පත්‍රය ද අස්ථානගත වී තිබේ. මූල්‍ය වංචාවලට අමතරව, ව්‍යාජ තොරතුරු ලබාදීම සහ කූඪ ලේඛන ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී ශිරන්ති රාජපක්ෂට එරෙහිව විමර්ශන සිදු කරයි.

මේ ගිණුමේ මුදල් ශේෂය පිළිබඳ සියලු තොරතුරු සහ අවස්ථා 88කදී එම ගිණුමට රුපියල් 82,900,089ක මුදලක් බැරකර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, අවස්ථා 129කදී එම ගිණුමෙන් රුපියල් 39,015,651ක  මුදලක් ආපසු ලබාගෙන ඇති බව ද හෙළි වී තිබේ. එසේම සිරිලිය සවියට රුපියල් කෝටියක ස්ථිර තැන්පතුවක් ඇති බව ද විමර්ශකයන් තහවුරු කරගෙන ඇත.

මේ සිරිලිය සවිය මුදල්වලින් කොළඹ – 07, ටොරින්ටන් මාවත, අංක 260/17 ලිපිනයේ පිහිටි නිවස රුපියල් 35,000,000කට මිලදීගෙන ඇත්තේ මේරි ලූඩ්ස් වික්‍රමසිංහ නමට ය. මේ නිවසේ සත්‍ය වටිනාකම රුපියල් මිලියන 200කට අධික වන අතර, තාරුණ්‍යයට හෙටක්, නිල් බලකාය, සිරිලිය සවිය යන සියලු සංවිධාන ලියාපදිංචි කර ඇත්තේ මේ ලිපිනයට ය.

මේ අතර වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ විමර්ශනවලදී අනාවරණය වී ඇති ආකාරයට ඝාතනයට සම්බන්ධ වූ ඩිෆෙන්ඩර් රථය තිබී ඇත්තේද සිරිලිය සවිය කටයුතු සඳහා භාවිත කරමින් ය. එය රතු කුරුස සංවිධානයෙන් සිරිලිය සවිය වෙත ලබාදුන් ඩිෆෙන්ඩර් රථයකි. එහි පාට මාරු කර මේ සඳහා යොදාගෙන ඇති බවට ද මීට පෙර කරුණු අනාවරණය වී තිබිණි. එසේම තාජුඩීන් ඝාතනය වූ දිනයේ නාරාහේන්පිට පොලිසිය ඇතුළු ස්ථාන කිහිපයකට අරලියගහ මන්දිරයෙන් දුරකතන ඇමතුම් විශාල සංඛ්‍යාවක් පැමිණීම සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කර තිබේ.

මෝටර් රථ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පළාත් පාලන අපේක්ෂිකාවකගේ ස්වාමිපුරුෂයකු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියයෑම සහ ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳ විමර්ශන අංශවලට සැක මතුවී තිබේ. වසීම් තාජුඩීන් ඝාතනයට පෙර ඔහුගේ මිත්‍රයකු වූ අදාළ ව්‍යාපාරිකයා සමග රැඳී සිට ඇති බව මීට පෙර අනාවරණය වී තිබිණි. ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයකු සමග සමීප ව දේශපාලන කටයුතු කර ඇති අතර, ඇය 2018 පළාත් පාලන මැතිවරණයට ද ඉදිරිපත් වී ඇත. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ෂැංග්‍රිලා හෝටලයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මේ ව්‍යාපාරිකයා මියගොස් තිබේ. සිරිල් ගාමිණී පියතුමා විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව ගොනුකරන ලද පෙත්සමේ අදාළ ව්‍යාපාරිකයා එම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය බව දැක්වේ.

මේ ව්‍යාපාරිකයා එදින ෂැංග්‍රිලා හෝටලයට හුදෙකලාව ගොස් ඇත්තේ කුමක් නිසාද, ඔහු හදිසියේ හෝටලයේ ලොබියට පැමිණ ඇත්තේ ඇයි යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත පිළිතුරක් සොයාගැනීමට විමර්ශන අංශ සමත් වී නැත. 2012 මැයි 17 වැනිදා නාරාහේන්පිට, උද්‍යාන පාරේ ශාලිකා ක්‍රීඩාංගනය අසල ගින්නෙන් දැවී ගිය මෝටර් රථයක් තුළ වසීම් තාජුඩීන්ගේ මළසිරුර තිබිණි.