අත්අඩංගුවට පත් වූ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අද (05) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා නියෝග කර තිබේ.
ඊයේ (04) අධිකරණයට රැගෙන ආ ඥානසාර භික්ෂුව මහේස්ත්‍රාත් නිල කාමරයට රැගෙන ගිය අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත. ඥානසාර භික්ෂුව අභියාචනාධිකරණයේ නොතීසිය මත අධිකරණයේ පෙනීනොසිටීම නිසා වරෙන්තු ලබා සිටි අතර, මීට අමතරව මහාධිකරණ අංක 9 සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 3 ඉදිරියේ පෙනී නොසිටීම මත ද වරෙන්තු ලබා තිබිණි.
එම භික්ෂුව අද (05) අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
එසේම 06 වැනිදා කොළඹ මහාධිකරණ අංක නවයට සහ 07 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව තීනියාවල ප්‍රදේශයේදී පොලීසිය විසින් සෙනසුරාදා අත්අඩංගුවට ගනු ලැබීය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් එම භික්ෂුව මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රදානය කර තිබූ ජනාධිපති සමාව නීතිය ඉදිරියේ බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ උන්වහන්සේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් වරෙන්තු නිකුත් කර තිබිණි.
කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක වීම මඟහරිමින් සැඟව සිටි උන්වහන්සේව පොලිසියට ලද විශේෂ තොරතුරක් මත මෙම ආරණ්‍ය සේනාසනයේදී සොයාගෙන අත්අඩංගුවට ගනු ලැබුවා.
