ජනතාවගෙන් සමාව ගන්නැයි ෆවුසිට දුන් අධිකරණ නියෝගයේ කතාව !

18
(Pix from Internet)

රාජ්‍ය දේපොළ අවභාවිතා සිද්ධියක් සම්බන්ධයෙන්හිටපු ඇමැති අබ්දුල් හමීඩ් මොහොමඩ් ෆවුසි හෙවත් ඒ.එච්.එම්.ෆවුසි ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අධිකරණය එලෙස තීන්දු කළේ ආපදා කළමනාකරණ ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් ජීප් රථයක් වසර පහකට ආසන්න කාලයක් පෞද්ගලික භාවිතය සඳහා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චන්ද්‍රා ජයරත්න ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කර තීන්දුව ලබා දෙමිනි.

හිටපු ඇමතිවරයාගේ ක්‍රියාවෙන් රජයට සිදු වූ පාඩුව සහ හා වාහනයේ නඩත්තු පිරිවැය වෙනුවෙන් රුපියල් 1,664,334.93ක මුදලක් ද ඇතුළුව රුපියල් ලක්ෂ 60කට අධික මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස ද, එයින් ලක්ෂ 16කට ආසන්න මුදල මාසයක් ඇතුළතත් ඉදිරි ලක්ෂ 50ක මුදල මාස දෙකක් ඇතුළතත් ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය ෆවුසි මහතාට නියෝග කළේය.

ඊට අමතරව, රාජ්‍ය දේපළ අවභාවිත කිරීම හේතුවෙන් මහජනතාවගෙන් සමාව අයැදිමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සිළුමිණ, සන්‌ඩේ ඔබ්සර්වර් සහ සතිඅග තිනකරන් යන ඉරිදා පුවත්පත්වල මුල් පිටුවේ පුවත් නිවේදනයක් පළකරන ලෙසත්, අවභාවිත කළ වාහනයේ ඡායාරූපයක් එම පුවත්පත් දැන්වීමට ඇතුළත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කෙරිණි.

හිටපු ඇමැති ඒ. එච්. එම්. ෆවුසි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, අදාල අමාත්‍යාංශ හිටපු ලේකම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන්, ජනාධිපති ලේකම් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් කර තිබිණි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද (29) තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

නෙදර්ලන්ත රජයේ හදිසි තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය සමඟ එළඹි ගිවිසුමක් යටතේ විදේශාධාර ණය මුදලකින් ලබා ගත් රුපියල් 19,500,000ක් වටිනා ටොයෝටා ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයක් 2010 නොවැම්බර් 03 වැනිදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බාරදී ඇති බවත්, එම වාහනය සාමාන්‍ය වාහනයක් නොවන බවත්, සුනාමියක් වැනි ආපදාවලදී හදිසි මෙහෙයුම් සඳහා සහ අනතුරු ඇඟවීම් සඳහා විශේෂයෙන් සකස් කරන ලද වාහනයක් බවත් අධිකරණය ප්‍රකාශ කළේය.

ආපදා කළමනාකරණ ඇමැතිවරයා ලෙස කටයුතු කළ ෆවුසි මහතා 2010 නොවැම්බර් 14 වැනිදා පස්වරු 7.00ට පමණ අමාත්‍යාංශ ලේකම් සිත්ති මරීනා මොහොමඩ් මහත්මියට දුරකතනයෙන් ඇමතුමක් ලබාදෙමින් පැයක් ඇතුළත මෙම වාහනය තමන්ගේ නිවසට එවන ලෙස බලපෑම් කර ඇති බව ද, ලේකම්වරිය මුලදී ඊට මැලි වී ඇති අතර, පසුව අදාළ වාහනය ඔහුගේ නිවසට බාර දෙන ලෙස එවකට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බව ද අධිකරණය කීවේය.

ෆවුසි මහතා 2010 නොවැම්බර් මාසයේදී ආපදා කළමනාකරණ ඇමැති ධුරයෙන් ඉවත් වී ඇති අතර 2011 ජනවාරි 01 වැනිදා සිට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා ලෙස වැඩ බාරගෙන තිබේ. ඉන්පසු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ඔහුට තිබී නැතත් අදාල වාහනය ආපසු බාරදීම ප්‍රතික්ෂේප කර වාහනය දිගින්-දිගටම තමන් සතුව තබාගෙන සිටි බව අධිකරණයේදී හෙළිවිය.

මීට අමතරව, 2011 අප්‍රේල් 08 වැනිදා සිට 2014 ජූනි 21 දක්වා කාලය තුළ අදාළ වාහනයේ නඩත්තුව සඳහා ජ්‍යෙෂ්ඨ ඇමැති ලේකම් කාර්යාලයේ අරමුදල්වලින් රුපියල් 1,073,334.93ක මුදලක් වැයකිරීමට ද ෆවුසි මහතා නිලධාරීන් පොළඹවා ඇති බව අනාවරණය විය.

පසුව 2015 ජනවාරි 20 වැනිදා වාහනය නැවත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට බාර දී ඇති බවත්, එය අලුත්වැඩියා කිරීමට රුපියල් 540,000ක මුදලක් වැය වී ඇති බවත් එම මධ්‍යස්ථානය මගින් අධිකරණයට දැනුම් දී තිබේ. 2015 මාර්තු මාසයේදී ඔහු නැවත ආපදා කළමනාකරණ ඇමැතිවරයා ලෙස පත් වූ පසු මෙම වාහනය ලබාගෙන ඇති බව ද, 2015 සැප්තැම්බර් 17 වැනිදා එය ආපසු බාර දී ඇති බව ද, නැවතත් වාහනය අලුත්වැඩියා කිරීමට රුපියල් 51,100ක මුදලක් වැය වී ඇති බව ද නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේය.

ඇමැතිවරයකුට භාවිත කළ හැකි උපරිම වාහන සංඛ්‍යාව 03ක් ලෙස සීමා කරමින් නිකුත් කරමින් 2010 වසරේ දී නිකුත් කර ඇති ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් ඇමති ෆවුසි මහතා වාහන පහක් භාවිත කර ඇති බව ද අනාවරණය වී ඇතැයි අධිකරණය සඳහන් කළේය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් පසුකාලීනව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ. දූෂණය නමැති වරද සිදුකිරීමට අදාළ ව එම කොමිසම මගින් ගොනු කොට ඇති අධිචෝදනා හතරටම 2024 අගෝස්තු 27 වැනිදා ඒ. එච්. එම්. ෆවුසි මහතා වරද පිළිගෙන ඇති අතර මහාධිකරණය ඔහුට වසර 10කට අත්හිටුවන ලද වසර 02ක සිරදඬුවමක් සහ රුපියල් 400,000ක දඩයක් නියම කර තිබිණි.

වගඋත්තරකාර හිටපු ඇමැතිවරයාගේ පාර්ශ්වය මේ පෙත්සම් විභාගයේදී තර්ක කර තිබුණේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සිවිල් අධිකරණයක නඩුවක් පැවරිය හැකි බැවින් සහ අපරාධ නඩුවකින් දඬුවම් නියම කර ඇති බැවින් මූලික අයිතිවාසිකම් නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවයි.

එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ අපරාධ වගකීමෙන් තීරණය වන්නේ පුද්ගලයකුගේ වරදකාරීභාවය වුවද, මූලික අයිතිවාසිකම් මගින් තීරණය වන්නේ විධායකයේ හෝ පරිපාලනයේ ක්‍රියාවන් මගින් සිදුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල වගවීම බවයි. එම නිසා, පොදු නීතිය යටතේ වෙනත් පිළියම් පැවතීම මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණයට ඇති ව්‍යවස්ථාපිත බලය අහෝසි නොවන බවත්, මූලික අයිතිවාසිකම් සුරැකීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය නිරතුරුව සෝදිසියෙන් සිටින මුරකරුවකුගේ කාර්යභාරය ඉටු කළ යුතු බවත් අධිකරණය අවධාරණය කර තිබේ.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කොට ඇති නීතිය ඉදිරියේ සමානව සැලකීම යන මූලික අයිතිවාසිකම හිටපු ඇමැතිවරයා උල්ලංඝනය කර ඇති බව අධිකරණය තීරණය කර ඇත.

රාජ්‍ය බලතල සහ රාජ්‍ය සම්පත් යනු ජනතාව සතු දේපළ වන බව විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම නඩුතීන්දුව මගින් පෙන්වා දී තිබේ. ඇමැතිවරුන් යනු ඒවායේ තාවකාලික භාරකරුවන් පමණක් බවත්, රාජ්‍ය බලය කිසිවිටෙකත් පෞද්ගලික වාසිය සඳහා භාවිත කළ නොහැකි බවත් මහජන යහපත සඳහා ම එය භාවිත කළ යුතු බවත් අධිකරණය අවධාරණය කළේය. ඒ අනුව බදු ගෙවන ජනතාවගේ මුදලින් ලබාගත් වාහනයක් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම මහජන බාරකාර මූලධර්මය කඩකිරීමක් බව ද අධිකරණය සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඇමැතිවරයකු ලෙස දිවුරුම් දීම චාරිත්‍රයකට සීමා නොවන බවත්, එය ජනතාව සහ පාලකයා අතර ඇති සමාජ සම්මුතියේ ව්‍යවස්ථාපිත ප්‍රකාශනයක් වන බවත් සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එකී දිවුරුම සහ වගකීම කඩකිරීම ජනරජයට සහ ජනතාවගේ පරමාධිපත්‍යයට කරන ලද හානියක් බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රට දැඩි ආර්ථික අර්බුදයක පවතින අවස්ථාවක, සාමාන්‍ය ජනයා තමන්ගේ දෛනික ආහාර වේලේ සිට සියලු දේවල්වලට බදු ගෙවමින් නොමිලේ සෞඛ්‍ය, නොමිලේ අධ්‍යාපනය සහ සුබසාධනය පවත්වාගෙන යෑමට කැපකිරීම් කරන බව සඳහන් කරන අධිකරණය, පාලකයන් එකී බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය දේපළ තමන්ගේ පෞද්ගලික බූදලයක් සේ සැලකීම මහජනතාවගේ ශ්‍රමය පාවාදීමක් බව ද අවධාරණය කළේය. රාජ්‍ය සම්පත්වල සෑම සතයක්ම මහජන යහපත සඳහාම ඉතා ප්‍රවේශමෙන් භාවිත කිරීමට පාලකයන් බැඳීසිටින බව ද අධිකරණය මෙම තීන්දුව මගින් පෙන්වා දුන්නේය.