දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළ ව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට ඔන්ලයින් ක්‍රමයට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි ලබාදීම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් කර තිබිණි. ඊට අධිකරණයේ අවසර ලැබිණි.
ලලිත් – කුගන් අතුරුදන් කිරීමට එරෙහිව, සාධාරණය ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් විසින් ගොනුකරන ලද හබයාස් කෝපුස් පෙත්සම වසර ගණනාවක් තිස්සේ විභාග වේ. මේ නඩුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට මුලින්ම සිතාසි නිකුත් කර තිබුණේ 2019 සැප්තැම්බර් 27දා ය.
ඒ අනුව 2019 සැප්තැම්බර් 27 දා ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ගෝඨාභය රාජපක්ෂ පෙනී සිටිය යුතු විය. ඒ, 2019 ජුනි 21 දා කළ නියෝගයක් ප්‍රකාරව ය. නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ජුනි 21 දා පෙනී සිටින ලෙස ගෝඨාභය රාජපක්ෂට මුලදී දැනුම් දී තිබිණි. එහෙත් ඔහුගේ නීතිඥයන් එදින අධිකරණයට දැනුම් දුන්නේ තමන්ගේ සේවාදායකයා විදේශගතව ප්‍රතිකාර ලබන නිසා අධිකරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නැති බවටයි. ඒ අනුව සැප්තැම්බර් 21 දිනය ලැබිණි.
ඒ, සැප්තැම්බර් 21 වැනිදා ද ගෝඨාභය අධිකරණයට ගියේ නැත. මාධ්‍ය මගින් ඊට පෙර, අනාවරණය කළේ ආරක්ෂක හේතු දක්වා නඩුවෙන් මගහැර යෑමට ඔහු උත්සාහ කරන බවයි. උතුරු-නැගෙනහිර හැර, අනෙක් ඕනෑම පළාතක පිහිටි අධිකරණයකදී තමන්ට මේ නඩුවේ සාක්ෂි ලබාදීමට අවස්ථාව ඉල්ලමින් ගෝඨාභය අභියාචනාධිකරණයට ගියේය. එහෙත් 2019 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඒ කාලයේදී ම ගෝඨාභය රාජපක්ෂ වරක් යාපනයට ගියේය.
ඉන්පසු 2019 නොවැම්බර් 16දා ඔහු ජනාධිපති ධුරයට පත්විය. ඉන්පසු ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම්දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට මුක්තියක් ඇති නිසා ඔහු අධිකරණයට කැඳවිය නොහැකි බවයි. එහෙත් වින්දිත පාර්ශ්වයෙන් අවධාරණය කරන ලද්දේ ඔහුව කැඳවන්නේ විත්තිකරුවකු ලෙස නොව සාක්ෂිකරුවකු ලෙස බවයි. එසේ යන්නටත් ඔහු එකඟ වූයේ නැත. අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ගිය දීර්ඝ ගමනක ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී 2026 පෙබරවාරි 06දා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයෙන් ලිඛිතව ඉල්ලා තිබුණේ මාර්ගගත ත්‍රමය ඔස්සේ සාක්ෂි ලබාදීමට අවස්ථාව දෙන ලෙසයි.
ඒ අනුව ය, පසුගිය 29දා ගෝඨාභය රාජපක්ෂ කොළඹ, ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී මාර්ගගත ක්‍රමයට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට සාක්ෂි දීම ආරම්භ කළේ.
ඒ අනුව මුල් නොතීසියෙන් වසර 07කට පමණ පසු, 29දා ගෝඨාභය රාජපක්ෂ සාක්ෂි ලබාදීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අතර, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු පස්වරු 1.50ට පමණ ආරම්භ වූ අතර, එම වේලාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ද විනිසුරු අසුනට පැමිණියේය. යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙනෙන පරිදි තිරයක් යොදා තිබිණි. පස්වරු 1.52ට පමණ ගෝඨාභය රාජපක්ෂට සාක්ෂි ලබාදීමට සාක්ෂි කූඩුවට පැමිණෙන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, එම නියෝගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ භාෂා පරිවර්තක විසින් ගෝඨාභය රාජපක්ෂට දැනුම් දීමෙන් පසු ඔහු සාක්ෂි කූඩුවට පැමිණියේය. ලලිත්-කුගන් පාර්ශ්වය වෙනුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න ඇසූ අතර, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ භාෂා පරිවර්තක එය දෙමළ භාෂාවට පරිවර්තනය කළේය. අධිකරණයේ භාෂා පරිවර්තක විසින් ගෝඨාභය රාජපක්ෂගේ සම්පූර්ණ නමත්, වයසත්, පදිංචියත් විමසීමෙන් පසු සාක්ෂි ලබාගැනීමට පෙර ලබාගන්නා ප්‍රතිඥාව ගෝඨාභය රාජපක්ෂගෙන් ද ලබා ගැනිණි.
නීතිඥ නුවන් බෝපගේ මුලින්ම ප්‍රශ්න කළේ ගෝඨාභය රාජපක්ෂ අධිකරණයේ නොතීසි අනුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනීනොසිටීම සම්බන්ධයෙනි. ඉන්පසු ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලය ගැනත්, ආරක්ෂක මණ්ඩලය ගැනත් ප්‍රශ්න කළේය. එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ 2005 නොවැම්බර් මාසය අවසානයේ සිට 2015 ජනවාරි 08 වැනිදා තෙක් තමන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ බවයි. තමන් ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයකු බවත්, ජනාධිපතිවරයා, අගමැතිවරයා, පොලිස්පතිවරයා, හමුදාපතිවරුන් සහ බුද්ධි අංශ ප්‍රධානීන් එහි සාමාජිකයන් වන බවත්, සාමාන්‍යයෙන් ආරක්ෂක කවුන්සිලයේදී සිදුවන්නේ රටේ එදිනෙදා තිබෙන තත්ත්වය ගැන දැනුවත් කිරීම බවත් ගෝඨාභය රාජපක්ෂ මෙහිදී පැවසීය.
නීතිඥවරයා විමසූ ඇතැම් ප්‍රශ්න ඔහුට නිසි ආකාරයට නෑසීම නිසා ‘ඇහුන්නෑ’ ලෙස ද, ඇතැම් ප්‍රශ්නවලට ‘පැහැදිලි නෑ’ ලෙස ද, ඇතැම් ප්‍රශ්නවලට ‘මතක නෑ’ ලෙස ද ඔහු පිළිතුරු දුන්නේය.
නීතිඥ නුවන් බෝපගේ – රටක සිවිල් ජනතාව අතුරුදන් වෙනවා නම්, නීතියට පිටින් ඝාතනය වෙනවා නම් ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා ඔබ පිළිගන්නවද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – අතුරුදන් වන පුද්ගලයන් විවිධ හේතු නිසා අතුරුදන් වෙනවා. ඒක අදාළ නිලධාරීන්, විශේෂයෙන් පොලිස්පති, ඒ ගැන බලලා ක්‍රියාත්මක වෙනවා. සෑම අතුරුදන්වීමක් ගැනම ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වෙන්නෙ නෑ.
නීතිඥ නුවන් බෝපගේ – ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස සමහර තොරතුරු සෘජුවම ලැබෙනවා නේද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන්න බෑ. ලැබෙන අවස්ථා තිබෙනවා. සමහර තොරතුරු ආරක්ෂක ලේකම්ට ලැබි යුතු ඒවා නොවෙයි. විශේෂ අවස්ථාව මොකක්ද කිව්වොත් ලැබුණද නැද්ද කියන්න පුළුවන්.
නීතිඥ නුවන් බෝපගේ – බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සාගර සේනාරත්න පැහැරගැනීමෙන් පසු ඒ ගැන තොරතුරු ලැබුණා නේද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – අවුරුදු 15කට කලින් සිද්ධියක් එකපාරට මේ අවස්ථාවේ කියන්න හැකියාවක් නෑ.
නීතිඥ නුවන් බෝපගේ – ඒ සාගර සේනාරත්න යන අය තමන්ගෙ ජීවිතය බේරුවේ ඔබ සහ ජනාධිපති බවට කියමින් ජනමාධ්‍යයට අදහස් දක්වමින් ස්තූති කරලත් තිබුණා ඔබට මතකද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – පරණ සිද්ධියක්නෙ. මට මතක නෑ.
නීථිඥ නුවන් බෝපගේ – සාගර සේනාරත්න පැහැර ගැනීමෙන් පසු ඔබට දැනුම් දුන් නිසයි ඔහු බේරුණේ කියලා යෝජනා කළොත් පිළිගන්නවද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – පරණ එකක්නෙ. මට එවැනි සිද්ධියක් මතක නෑ.
නීතිඥ නුවන් බෝපගේ – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මතකද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ඒ සිද්ධිය යාන්තමින් මතකයි. නමුත් විස්තර මට මතක නෑ.
නීතිඥ නුවන් බෝපගේ – ඔබට මතක මොකක්ද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – සිද්ධියක් වුණු බව මතකයි. අද දින මේවට සූදානම් වෙලා ආවෙ නැති නිසා හරියටම කියන්න බෑ.
නීතිඥ නුවන් බෝපගේ – කීත් නොයාර් අතුරුදන්වූ බව මතකද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – කීත් නොයාර් අතුරුදන් වෙලා නෑ.
නීතිඥ නුවන් බෝපගේ – කීත් නොයාර් කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් පහර දුන්නා කියලා මතකද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ස්වාමීනි, පහරදීමක් ගැන මම දන්නෙ නෑ. නමුත් අතුරුදන් වෙලා පසුව හමුවූ බව දන්නවා.
නීතිඥ නුවන් බෝපගේ – ඔහු අතුරුදන්වීමෙන් පසුව ලලිත් අලහකෝන් යන අය ඔබට දුරකතනයෙන් දැනුම් දුන්නා නේද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – අවුරුදු 15කට පස්සෙ මට කියන්න හැකියාවක් නෑ කවුද දුරකතනයෙන් කතා කළේ කියලා.
නීතිඥ නුවන් බෝපගේ – ඔබ ඒ සිද්ධිය ගැන පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට දැනුම් දුන්නා නේද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – මට එවැනි සිද්ධියක් ගැන දැනගන්න ලැබුණා නම් පොලිස්පතිට දැනුම් දෙන්න ඇති.
නීතිඥ නුවන් බෝපගේ – මේ ගැන ඔබ බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණට දුරකතනයෙන් දැනුම් දුන්නා කියලා මතකද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – මේක දීර්ඝ කාලයකට කලින් වුණු දෙයක්නෙ. මට එකිනෙකට කියන්න මතක නෑ.
නීතිඥ නුවන් බෝපගේ – ඉන්පසු කීත් නොයාර් මුදාහැරියා කියලා මතකද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – මතක නෑ.
නීතිඥ නුවන් බෝපගේ – කීත් නොයාර් පැහැරගත් පසු ඔහු මුදාහැරියේ ඔබගේ විධාන මත බවට යෝජනා කරනවා?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – මම එය ප්‍රතික්ෂේප කරනවා. මුලින් කිව්වා වගේ මොනව විදිහට වුණාද, කවුරු සම්බන්ධ වුණාද කියන එක මතක නෑ. අවුරුදු ගාණකට පස්සෙ ඇහුවම එහෙම උත්තර දෙන්න බෑ.
නීතිඥ නුවන් බෝපගේ – මෙම සිද්ධිය ගැන 2017 පෙබරවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් දීලා තිබෙන බව දන්නවද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ඒ ගැන මතක නෑ.
නීතිඥ නුවන් බෝපගේ – කීත් නොයාර් සිද්ධියට යුද හමුදාවේ ත්‍රිපෝලි බුද්ධි අනුඛණ්ඩයේ නිලධාරීන් පස්දෙනෙක් සැකකරුවන් වුණා කියලා දන්නවද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – මම එහෙම එකක් දන්නෙ නෑ.
නීතිඥ නුවන් බෝපගේ – ඔබ සෘජුවම උපදෙස් දුන්නා නේද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – මම භුමියේ සිදුවන ක්‍රියාන්විතවලට සම්බන්ධ වෙලා නෑ. ආරක්ෂක ලේකම් වශයෙන් මගේ රාජකාරිය වෙන්නෙ රජය ගන්නා ප්‍රතිපත්තිමය දේවල් ඒ ඒ ආයතනවලට සන්නිවේදනය කිරීම මිස සෘජුවම භූමියේ සිදුවන ක්‍රියාන්විතවලට සම්බන්ධ වීම හෝ උපදෙස් දීම නොවෙයි. එහෙම කරන්න හැකියාවකුත් නෑ, මම එහෙම කරලත් නෑ.
නීතිඥ නුවන් බෝපගේ – ඔබ කියන්නෙ පුද්ගලයන් පැහැරගැනීම සහ අතුරුදන් කිරීම ආරක්ෂක අංශයෙන් කරන ක්‍රියාන්විතයක් කියලද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – මම කියන්නෙ ක්‍රියාන්විතවලට මගේ කිසිම සම්බන්ධයක් නෑ.
නීතිඥ නුවන් බෝපගේ – ඔබ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සහ ජනාධිපති ලෙස කටයුතු කළා. ලංකාවේ අතුරුදන්වීම් සහ පැහැරගැනීම් ගැන එල්ල වෙලා තියෙන චෝදනා ගැන අවබෝධයක් තියෙනවද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ඒවා දේශපාලන වාසි ලබාගැනීමට කියන ඒවා. අපේ රටට විරුද්ධව අයුතු චෝදනා ලෙස ඉදිරිපත් වූ ඒවා මිස ඒවායේ කිසි සත්‍යතාවක් නෑ. රටේ නම නැතිකිරීම සඳහා, රටේ නම විනාශ කිරීම සඳහා ඒවා ප්‍රචාරය කරලා තියෙන්නෙ.
නීතිඥ නුවන් බෝපගේ – ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් තියෙනවා නේද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – තියෙනවා.
නීතිඥ නුවන් බෝපගේ – ඔබ 2019 ජනාධිපති ලෙස පත්වුණාට පස්සෙත් ඒ කාර්යාලය වාර්තා නිකුත් කළා නේද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – මොන වාර්තාද?
නීතිඥ නුවන් බෝපගේ – අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ වාර්ෂික වාර්තා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ඔබ හරි.
මෙසේ ප්‍රශ්න කිරීමෙන් පසු අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ වාර්තාවක් සලකුණු කිරීමට නීතිඥ නුවන් බෝපගේ යාපනය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටි අතර, අදාළ වාර්තා මෝසමක් මගින් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළේය. ගෝඨාභය රාජපක්ෂගෙන් වැඩිදුරටත් සාක්ෂි ලබාගැනීම ලබන නොවැම්බර් 27 වැනිදා තෙක් කල් තැබිණි.
නීතිඥ නුවන් බෝපගේ මෙහිදී සඳහන් කළ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස්, පහරදීමේ සිදුවීමට අදාළ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගත් දුරකතන දත්ත වාර්තා සහ විමර්ශන වාර්තාවල මෙසේ සඳහන් විය.
‘ද නේෂන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් හා රිවිර මීඩියා කෝපරේෂන් සමාගමේ සභාපති වූ ක්‍රිෂාන්ත කුරේ විසින් ….. දරන දුරකතනයෙන් එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා වෙත ඇමතුම් ලබාගත්තත්, එතුමා සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ නිසා එවකට ආරක්ෂක ලේකම් ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ….. දරන දුරකතනයට කතා කොට ‘මම ලලිත් අලහකෝන් කතා කරන්නෙ. නේෂන් පුවත්පතේ කීත් නොයාර්ව පැහැරගෙන ගිහින් තියෙනවා.’
මාධ්‍යවේදී ලලිත් අලහකෝන් විසින් ආරක්ෂක අමාතයංශයේ හිටපු ලේකම්වරයාට දුරකතනයෙන් අමතා මේ පිළිබඳව දැනුම්දීමෙන් පසු සිදු වූ දුරකතන සංවාදයන් පිළිබඳව පවත්වන ලද විමර්ශන ප්‍රතිඵල මෙසේ ය.
‘එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ භාවිතා කළ අංක ….. දරන දුරකතනයෙන් එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්න භාවිතා කළ ….. අංක දරන දුරකතනයට රාත්‍රී 11.36 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඉන්පසුව ආරක්ෂක ලේකම්වරයා භාවිතා කළ දුරකතනයෙන් රාත්‍රී 11.39 ට ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ භාවිතා කළ ….. අංක දරන දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇත.’
‘ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා වෙත මේ ගැන දැනුම්දීමෙන් පසු පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායකගේ නිවසේ අංක ….. දරන දුරකතනයට රාත්‍රී 11.51 ට දුරකතනයෙන් සම්බන්ධ වී ඇත.’
‘ඉන්පසුව ජාතික බුද්ධි ප්‍රධානී භාවිතා කළ ….. දරන දුරකතනයෙන් රාත්‍රී 11.41 ට එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි එවකට බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරට යුද හමුදාව මගින් ලබා දී ඇති ….. අංක දරන දුරකතනයට ඇමතුමක් ලබා දී ඇත.’
‘යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහු භාවිතා කරන ලද ….. අංක දරන දුරකතනයෙන් ත්‍රිපෝලි කඳවුරේ පිහිටුවා තිබූ යුද හමුදා බුද්ධි අනුඛණ්ඩයට යුද හමුදාව මගින් නිකුත් කර තිබූ ….. දරන දුරකතනයට රාත්‍රී 11.47 ට ඇමතුමක් ලබාගෙන ඇත. මේ වනවිට අමල් කරුණාසේකරගේ දුරකතනය ජාවත්ත ප්‍රදේශයේ තිබී ඇති අතර, ත්‍රිපොලි කඳවුරට ලබා දී තිබූ දුරකතනය මල්වාන ප්‍රදේශයේ තිබී ඇත.’ (කීත් නොයාර්ව රැගෙන ගොස් ඇත්තේ මල්වාන ප්‍රදේශයට බව පසුව හෙළි විය.)
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාට දැන් ඒවා මතක නැති බව අධිකරණයේදී පවසා ඇත. කෙසේ වෙතත් මේ සියලු කරුණු අධිකරණයේදී සාක්ෂි මගින් තහවුරු විය යුතුය.
2011 දෙසැම්බර් මස 09 වැනිදා ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කෙරිණි. ලලිත් හා කුගන් පැහැරගැනීම සිදු වී ඇත්තේ දෙසැම්බර් 09 වැනිදා පස්වරු 5.30 පසු වී කෙටි කාලයක් තුළ බවට සාක්ෂි ඇත. යාපනය, අවරන්ගල්හි කුගන්ගේ නිවසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලා පිටත්ව ගොස් ඇත්තේ පස්වරු පහට පමණය. පසු දින, එනම් දෙසැම්බර් 10 වැනිදා ලෝක මානව හිමිකම් දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ඡාවක සංවිධාන කටයුතු ඔවුහු සිදු කරමින් සිටියහ.
කුගන්ගේ අසල්වැසියන් පවසන ආකාරයට ඔවුන් පස්වරු පහට පමණ නිවසින් පිටත්ව ගොස් තිබේ. එයින් පසු මේ දෙදෙනාගෙන් කිසිදු තොරතුරක් ලැබී නැත. කෙසේ වෙතත් ඔවුන් ගමන් ගත්, කුගන්ගේ යතුරු පැදිය දෙසැම්බර් 14 වැනිදා අච්චුවේලි පොලිසියේ තිබෙනු දැක ඇත්තේ කුගන්ගේ බිරිඳ විසිනි. කුගන්ගේ බිරිඳ අච්චුවේලි පොලිසියෙන් මේ පිළිබඳව විමසා තිබිණි. පොලිසිය ඇයට පවසා ඇත්තේ දෙසැම්බර් 13 වැනිදා කෝපායි පොලිසිය විසින් කෝපායි කෝවිල අසල තිබී මෙම යතුරු පැදිය තමන් භාරයට ගෙන තිබුණු බවයි.
එවකට පැවැති ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා වූයේ කෙහෙළිය රඹුක්වැල්ල ය. ලලිත් – කුගන් අතුරුදන් කළ දෙසැම්බර් මාසයේ ම, 15 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා තිබුණේ ලලිත් – කුගන් අතුරුදන් වී නැති බවත්, ඉක්මනින්ම ඔහු පොලිසිය හෝ හමුදාව මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවත් ය. මේ සම්බන්ධයෙන් දෙවරක් කැඳවීමෙන් පසු, 2016 මැයි මාසයේදී අධිකරණයට පැමිණි කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබුණේ එවකට පැවැති ආරක්ෂක කවුන්සිලයෙන් ලැබුණු තොරතුරු මත මෙම ප්‍රකාශය කළ බවයි.
