එක්නැලිගොඩ නඩුවේ තීරණාත්මක පාපෝච්චාරණයක භාෂාව වෙනස් වෙලා !

23
(අන්තර්ජාල ඡායාරූපයකි.)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවකු වන සුමතිපාල සුරේෂ් කුමාර් හෙවත් මුරලි විසින් 2015දී හෝමාගම මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ලබාදුන් පාපොච්ඡාරණයක භාෂාව පිළිබඳ ගැටලුවක් මතු වී තිබේ.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන මේ නඩුවේදී සිකුරාදා (02) මේ බව අනාවරණය විය. මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ තමන් ලබාදුන් පාපොච්ඡාරණය ලබාදුන්නේ දෙමළ භාෂාවෙන් බව සාක්ෂිකරු පවසා සිටියද, ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කර ඇති එම ලේඛනය සිංහල භාෂාවෙන් තිබීම මේ ගැටලුව විය. තවදුරටත් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට නියමිත ය. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තියට අනුව මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ ප්‍රකාශයක් හෝ පාපොච්ඡාරණයක් කිරීමේ හැකියාව තිබේ.

2009 අගෝස්තු 27දා ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යන අතරතුර මගදමා යෑමේ සිදුවීමට අදාළව හෝමාගම මහාධිකරණයේ විභාග වන නඩුවේත්, 2010 ජනවාරි 24දා ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුවේත් සාක්ෂිකරුවකු ලෙස සුමතිපාල සුරේෂ් කුමාර් හෙවත් මුරලි නම් කර තිබේ.