”මේ වන විට අපේ ආණ්ඩුවට අවුරුදු දෙකක් ගත වී තිබෙනවා. වසර දෙකකට පසුව අපේ ආණ්ඩුව මොනවද කරමින් සිටින්නේ කියලා ඔබ සමග කතා කරන්නයි අද අපි ආවෙ. සෑමවිටම ආණ්ඩුවක බලය රඳාපවතින්නේ ඒ ආණ්ඩුව සමග ජනතාව කොපමණ රැඳී සිටිනවද කියන සාධකය මතයි.
ආණ්ඩු වැටෙන්නෙ කොහොමද?
සාමාන්‍යයෙන් ව්‍යවස්ථානුකූල බලය තිබෙනවා, ජනාධිපතිවරයාට විධායක බලය තිබෙනවා. මීට කලින් හිටපු ජනාධිපතිවරුන්ටත් තිබ්බා. අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තිබෙනවා. ඒක විශේෂ බලයක්, තනි පක්ෂයක් එකපාර ගත්තු පළමු තුනෙන් දෙකේ බලය අපිට තිබෙනවා. හැබැයි, විවිධ විදිහට අටවා ගත්තු තුනෙන් දෙකේ බලයක් තිබූ තවත් ආණ්ඩු තිබුණා. ඒ වගේම ප්‍රාදේශීය සභා, නගර සභාවල බලය තිබුණා. හැබැයි මොකක්ද සිද්ධ වුණේ? ඉතා කෙටි කාලයක් ඇතුළත ඒ පාලනයන් බිඳවැටුණා. උදාහරණයක් විදියට ගත්තොත් 2019 දී 69 ලක්ෂයක බලයක් ලැබුණා. විධායක බලය ලැබුණා. කොච්චර බලයද කියනවා නම්, එය පවුලේ අයගෙන් සමන්විත වෙලා තිබ්බා. එහෙත් අවුරුදු දෙකකින් ගෙදර යන්න සිද්ධ වුණා.
ඒ නිසා බලය තිබෙන්නේ විධායක ජනාධිපති ධුරයේ හෝ, පාර්ලිමේන්තුවේ හෝ, නගර සභා, ප්‍රාදේශීය සභා තුළ නෙවෙයි. බලය තිබෙන්නේ ජනතාව සමගයි. ඒ නිසා මේ ආණ්ඩුව ජනතාවගේ බලය විශ්වාස කරන ආණ්ඩුවක්. මේ බලය තිබෙන තාක්කල් මේ ආණ්ඩුව හොල්ලන්නත් බැරි ආණ්ඩුවක්. එහිදී අපි මේ රටේ ජනතාව කෙරෙහි විශ්වාස තබා තිබෙනවා.
මේ ආණ්ඩුව කාගේද?
මේ ආණ්ඩුව හැදුවෙ ජනතාව. මීට කලින් ආණ්ඩු හැදෙනවා ඒගොල්ලන්ට ඉතිහාසගත පවුල් බලයක් තියෙනවා, තාත්තා අගමැති, එහෙනම් දුවත් අගමැති කරමු. මාමා ජනාධිපති එහෙනම් බෑණත් ජනාධිපති කරමු. දැන් අලුතෙන් ‘තාත්තා ජනාධිපති, එහෙනම් පුතත් ජනාධිපති කරමු.’ එහෙම නැත්නම් සීයා වක්කඩෙන් අත හෝදලා පරම්පරාවේ. එක කාලයක් ආණ්ඩු හැදුවේ එහෙමයි. එතකොට ජාතික නායකයන්, ආණ්ඩුවේ උඩ නායකයෝ, රටේ නායකයෝ පරම්පරාවෙන් හදනකොට ප්‍රාදේශීය වශයෙනුත් හැදුවේ පරම්පරාවෙන්. අපේ ආණ්ඩුව පරම්පරාවලින් හැදුණු ආණ්ඩුවක් නෙවෙයි.
ඒ වගේම මාධ්‍ය බලය විසින් තව ආණ්ඩු හැදුවා. විවිධ ස්තෝත්‍ර ගායනා කරමින් ඔවුන්, ඔසවා තබනවා. සමහර අය ඔසවා තබලා කියනවා ‘දුටුගැමුණු රජ්ජුරුවෝ වගේ’ කියලා. සමහර අය ඔසවනවා ‘ආසියාවේ ලොකුම මොළේ’ කියලා. සමහර අය ඔසවනවා ‘මොළ 7 යි’ කියලා. මේ මාධ්‍යවලින් නායකයෝ උඩට පුම්බනවා. එහෙම රටේ පාලනය අත්පත් කරගත්තා. හැබැයි අපි කවුරුවත් මාධ්‍ය විසින් ඔසවා තබන ලද, පුම්බන නායකයන් නොවෙයි.
ඒ වගේම මුදල් බලයෙන් නායකයෝ හැදුවා. ඒගොල්ලෝ සල්ලි විසි කරනවා. සාරි බෙදනවා, තහඩු බෙදනවා, වැසිකිළි පෝච්චි බෙදනවා. එහෙම බෙදනකොට හිතුවා ඡන්දෙ ගන්න මෙහෙම බෙදනවා නම්, ඡන්දෙ අරන් ගිහිල්ලා කොහොම බෙදයිද කියලා.
තව අය මැර බලය යොදාගෙන ඡන්දය ගත්තා. ලංකා ඉතිහාසයේ පවුල් බලය, මාධ්‍ය බලය, මුදල් බලය සහ මැර බලය විසින් ආණ්ඩු හැදුවා වගේම ආණ්ඩු පෙරළා දැම්මා. හැබැයි ලංකාවේ පළමු වතාවට ඒ කිසිවක් නැතිව ජනතාවගේ බලය මත හැදුණු ආණ්ඩුව වන්නේ ජාතික ජනබලවේගය ආණ්ඩුවයි.
ජාජබ කාර්යය කුමක්ද?
එසේ නම් අපේ කාර්යය වන්නේ ආණ්ඩුව කරන ගමන්ම ශක්තිමත්ව ජනතාව සමග දේශපාලනය කිරීමයි. ඡන්ද අත ළඟ නැහැ, අභියෝගයක් නැහැ. එහෙත් ජාතික ජන බලවේගය ශක්තිමත්ම මහජන ව්‍යාපාරය ලෙස තව තවත් වර්ධනය කිරීමට අපි කටයුතු කරනවා. අපි කළුතර, මාතර, අනුරාධපුරය, පොළොන්නරුවේ රැස්වීම් පැවැත්වුවා. ඒ වගේම කුරුණෑගල රැස්වීම් මාලාවක් සංවිධානය කර තිබෙනවා. කාන්තා එකමුතුව, වෘත්තීය සමිති ව්‍යාපාර, ජාතික විද්වත් සංවිධානය මගින් වෘත්තීයවේදීන් එක් කිරීම, තරුණ සංගමය මගින් තරුණ ව්‍යාපාරය ගොඩනැගීමට සූදානම් කර තිබෙනවා. යාපනයේ දැවැන්ත රැලියක් කිරීමට සූදානම් කර තිබෙනවා. කල්මුණේ, ඒ වගේම මධ්‍ය කඳුකරයට ගොස් වතු ප්‍රජාව ඉලක්ක කර ගනිමින් කාන්තාවන්ගේ රැස්වීම් පැවැත්වීමට සුදානම් කර තිබෙනවා. ඇයි ඒ මේ පාලනය රැඳි පවතින්නේ ජනතාවගේ බලය තව තවත් ශක්තිමත් කිරීමෙන් බව අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ ආණ්ඩුව කරන ගමන්, මේ ආණ්ඩුවේ ඉතිරි කාලය පුරාවටම අපි මෙලෙස ජනතාව හමු වී දේශපාලනය කතා කළ යුතුයි. අපේ මේ ව්‍යාපාරය ගොඩනැගුවෙත් එහෙමයි. අනිත් අය මැතිවරණ කාලයට විතරක් නැගිටිනකොට අපි ඡන්දයට කළින් නැගිටපු පිරිසක්. ඒ නිසා මහජන බලය සහ මහජනයා ඒකරාශි කිරීම තමයි අපේ ශක්තිය. ඒ නිසා අපේ ශක්තිය තිබෙන්නේ අද මේ ඒකරාශී වී සිටින ඔබ සතුවයි.
ජාජබට ජනතාව ඡන්දය දුන්නේ ඇයි?
අපිට ඡන්දය ලබා දෙන විට පූර්ණ වශයෙන් අපිව විශ්වාස කර ඡන්දය ලබා දුන් පිරිසක් සිටියා. කරුණු වශයෙන් ගත්තත් අපි ඉටු කරයිම කියලා හිතපු කරුණු තිබ්බා. සැකයක් සහිත කරුණුත් තිබුණා. ජාතික ජනබලවේග ආණ්ඩුව, එහි දේශපාලන අධිකාරිය, ඉහළ රාජ්‍ය යාන්ත්‍රණය හොරකමට ඉඩ නොතබන බවට විශ්වාසයක් මේ රටේ ජනතාවට තිබුණා. අද අපි ඒක ඉටු කර තිබෙනවා. ඒ අනුව ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් නිර්මාණය වී තිබෙනවා දේශපාලන අධිකාරියේ ඉහළ යාන්ත්‍රණය ජනතාවගේ මුදල් සතයක්වත් හොරකම් කරන්නේ නැති. අපිට ඡන්දය ලබා දෙන විට ජනතාව එය සියයට සීයක් විශ්වාස කළා. ඇත්තටම ඒක ඡන්දය නොදුන් අයත් විශ්වාස කළා. ඒ නිසා මහජනතාවගේ මුදල් හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් කියන එක අපි පසුගිය වසර දෙක තුළ ඔප්පු කර තිබෙනවා.
ඒ වගේම අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් අවශ්‍ය වී තිබුණා. අපේ රටේ දේශපාලනය ජනතාව තිත්ත වෙලා තිබුණේ. පවුල් පරම්පරා දේශපාලනයට ගේනවා, මහජන මුදල් සොර කනවා, නීතියට උඩින් ඉන්නවා, මහජනයාට වඩා වැඩි වරප්‍රසාද භුක්ති විඳින්න ගන්නවා ඒ නිසා දේශපාලන සංස්කෘතියේ වෙනසක් අවශ්‍ය වුණා. මේ පැරණි ගරා වැටුණු දේශපාලන සංස්කෘතිය වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක් හදයි කියලා සියයට සීයක් විශ්වාස කළා. අපි එය ඉටු කළා.
ජනතාව බය කාටද?
මීට පෙර ඇමතිලා හිටියේ ගමේ චණ්ඩි වගේ. ආණ්ඩුව සහ ජනතාව අතර සම්බන්ධය වුණේ එක්කො ආණ්ඩුවට ජනතාව යටත්. එහෙම නැත්නම් ආණ්ඩුවට ජනතාව බයයි. ඉස්සර මේ මිනුවන්ගොඩ, අත්නගල්ලේ ජනතාව බයයි. දැන් කිසිසේත්ම ජනතාව ආණ්ඩුවට බිය විය යුතු නැහැ. ජනතාව ආණ්ඩුවක් හදා ගත්තා නම් ආණ්ඩුවට බනින්න ජනතාවට අයිතියක් තිබෙනවා. තමන්ගේ අවශ්‍යතා ඉටු වන්නේ නැත්නම් ආණ්ඩුව විවේචනය කළ හැකියි. දියුණු දේශපාලනය එයයි. කිසිදිනක පාලකයාට ජනතාව බිය වූ රටක් ඉදිරියට යන්නේ නැහැ. පාලකයා සහ ජනතාව අතර නව දේශපාලන සබඳතාවක් අවශ්‍යයි. පාලකයා ජනතාවට ඇහුම්කන් දිය යුතුයි. විවේචනවලට ඇහුම්කන් දිය යුතුයි. උද්ඝෝෂනය කිරීමට තිබෙන අයිතිය පිළිගත යුතුයි. අපේ ආණ්ඩුව එම අයිතිය කොච්චර පිළිගන්නවද කියනවානම් පාර්ලිමේන්තුවේ ගේට්ටුත් ඇරලා දෙනවා.
හැබැයි උද්ඝෝෂණය කරන කෙනා තේරුම්ගත යුතුයි එහි සීමාව. මීට පෙර එසේ සිදු වුයේ නැහැ. මාධ්‍යවේදීන් ඝාතනය කළ ඉතිහාසයක් මේ රටේ තිබුණා. මාධ්‍යවේදීන්ගේ අත පය කැඩුවා, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැහුවා. එහෙම රටක් දියුණු වෙන්නේ නැහැ. රටවල් දියුණුවීමට නම් පාලකයා සහ ජනතාව අතර නිදහස් සබඳතාවක් තිබිය යුතුයි. දැන් ඒ නිදහස් සබඳතාව තිබෙනවා. හැබැයි ඒ නිදහස භාවිතා කරන විට එය භාවිතා කරන කෙනා සීමා මායිම් තේරුම්ගත යුතුයි. වෙනදා සීමාවන් හැදුවේ බය කරලා, යටත් කරලා. අපි බය කරලා නැහැ. යටත් කරලා නැහැ. හැබැයි ඔවුන් තමන්ගේ සීමා, මායිම් ඇඳගත යුතුව තිබෙනවා. අපි සීමා මායිම් අඳින්න යන්නේ නැහැ. එය දේශපාලන සංස්කෘතියේ අලුත් වෙනසක්. පාලකයා විවේචනය කළ හැකියි. එහෙත් ඊට උපයෝගී කර ගන්නා වාක්‍ය කාණ්ඩ මොනවාද, ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කළ හැකියි. එහි සීමා මායිම් මොනවාද, ඒක උද්ඝෝෂකයන්ට අයිති වැඩක් මිස අපේ වැඩක් නොවෙයි. අපි උපරිම නිදහස දෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අපි අවුරුදු දෙකක් කදුළු ගෑස්, වතුර ප්‍රහාර, බැටන් ප්‍රහාර නොගහපු ආණ්ඩුවක්. මේ අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා. එය අලුත් සංස්කෘතියක්.
දේශපාලන සංස්කෘතිය වෙනස් කළාද?
මීට පෙර පාලකයන් ගම්වලට ආවෙ පොලිසිය හතරවටේ තියාගෙන. සාප්පු සවාරි ගියහම නෝනට දොර අරින්න පොලිසිය හිටියා. අද කවුරුත් එහෙම එන්නේ නැහැ. එය දේශපාලන සංස්කෘතියේ වෙනසක්. ඉස්සර පාර්ලිමේන්තුවට අවුරුදු 05ක් ගියහම විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. මේ පිළිබද ජනතාවගේ විශාල විරෝධයක් තිබුණා. සාමාන්‍ය පුරවැසියෙකුට විශ්‍රාම වැටුපක් ගන්න කොච්චර කාලයක් යනවද. හැබැයි පාර්ලිමේන්තුවට අවුරුදු 20න් ආවහම 25 වෙනකොට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ගම්වල අවුරුදු 25 දරුවට රැකියාවක් නැහැ. අපි විශේෂ පනතක් ගෙනවිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළා. අමාත්‍යවරුන්ගේ නිවාසවල වතුර බිල්, විදුලි බිල් ගෙව්වා. අපි මේ සියල්ල අහෝසි කළා. ඇමතිවරුන්ට දුන් ඉන්ධන දීමනාව අඩු කළා.
හිටපු ජනාධිපතිවරුන්ට ගෙවල් දුන්නා, කාර්යාල දුන්නා, වාහන විශාල ප්‍රමාණයක් දුන්නා, මට කළින් හිටපු ජනාධිපතිවරයා ගිහින් ලියුමක් එව්වා කෝකියෝ 16ක් ඕන කියලා. මෙහෙම නායකයෝ හිටියා. අද ඒවා කිසිවක් දෙන්නේ නැහැ. දේශපාලකයා මහජනතාවට බරක් නොවිය යුතුයි. මේ රටේ ජනතාව දේශපාලන සංස්කෘතියේ විශාල වෙනසක් අපේක්ෂා කළා. දේශපාලකයා මහජනතාවට බරක් වූ, ජනතාවට ඉහළින් විශාල වරප්‍රසාද භුක්ති විඳින කෙනෙක් බවට පත් වුණා. දේශපාලනය ව්‍යාපාරයක් බවට පත් වුණා. ඒ නිසා මේ ව්‍යාපාරයක් වූ දේශපාලනය මහජන සේවාවක් බවට පරිවර්තනය කිරීම අවශ්‍ය වුණා. ව්‍යාපාරයක් බවට පත්ව තිබූ දේශපාලනය පසුගිය වසර දෙක තුළ මහජන සේවාවක් බවට පරිවර්තනය කිරීමට අපි සමත් වී තිබෙනවා.
දූෂිතයන්ට දඬුවම් දීමේ පොරොන්දු කොයිතරම් පරණ ද?
ඒ වගේම ජනතාව විශ්වාස කළා අපි දූෂිතයින් අල්ලයි කියලා. හැබැයි මේ දූෂිතයින් පිළිබද කථාව ටිකක් ඈතට යනවා. අපේ රටේ වංචා දූෂණ සම්බන්යෙන් වැඩියෙන්ම කතා කළේ 1994 දේශපාලන වේදිකාව තුළ. ජනතාව පොදි බැඳගෙන ගිහින් ඡන්දය දුන්න දුෂිතයන්ට දඬුවම් දෙන්න. නමුත් එය ඉටු වුණේ නැහැ. ඊළගට වංචා දූෂණ සම්බන්ධයෙන් විශාලම සටන් පාඨය ආවේ 2015 වසරේ. එදා කිව්වා බලයට පත්වුණ ගමන් කටුනායක ගුවන් තොටුපොළ වහනවා එකෙකුට පැනලා යන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා දිගු කාලයක සිට මේ මහජන දේපළ සොරකම් කළ, අපේ රට ආර්ථික සහ සමාජයීය වශයෙන් බිඳවැටීමට වගකිව යුතු අයට දඬුවම් දීම පිළිබඳ මේ රටේ ජනතාව තුළ අපේක්ෂාවක් තිබුණා. අපිට ඡන්දය ලබා දීමේදී දූෂිතයන්ට දඬුවම් ලබා දෙයි කියන පූර්ණ විශ්වාසය ජනතාවට තිබුණා. මුල් කාලයේ නම් මෙය ප්‍රමාදයි කියලා ජනතාව හිතුවා. එහෙත් දැන් මම දැක්කා හිටපු ඇමතිවරයෙක් කියනවා “හොරුන්ට දඬුවම් දීමේත් සීමාවක් තියෙන්න ඕන” කියලා. හැබැයි ඔවුන්ට හොරකම් කරන විට සීමාවක් තිබ්බේ නැහැ. ඒ නිසා හොරුන්ට දඬුවම් දෙන්න සීමාවක් නැහැ. මේ වාරයේ ඉතුරු අවුරුදු 03ත් කරනවා. ඊළඟ වාරයේත් අල්ලනවා. විශාල ලෙස විමර්ශන සිදු වෙනවා. ඒ නිසා මේවට කල්ගත වෙනවා. හැබැයි අපිට කිසිසේත් පළි ගැනීමේ චේතනාවක් නැහැ. ඒ නිසා මේ කිසිවක් පළිගැනීම් නොවෙයි.
පළිගන්නෙ ඇයි ?
නමුත් පළිගැනීමේ ඉතිහාසයක් මේ රටේ තිබුණා. 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහත්තයා ඉදිරිපත් වුණා. ඡන්ද ප්‍රතිඵල ඇහුවෙ කොළඹ ප්‍රධාන හෝටලයක. ඡන්ද ප්‍රතිඵල එන විට හෝටලයම හමුදාවෙන් වැටළුවා. ඉන්පසුව එතුමාගේ කාර්යාලයට හමුදා අනු කණ්ඩයක් පැනලා උස්සගෙන ගොස් ජීප් රථයක දමා ගත්තා. ඡන්දය අවසන් වී සතියක් යන්න කලින් පළිගැනීම් සිදු කළේ එහෙමයි. ඒ වගේම 2019 ජනාධිපති වුණාට පස්සේ සීඅයිඩී නිලධාරීන් 600කට රටින් පිටවීමේ තහනමක් දැම්මා. අගමැති පත්කරන්න කලින් සීඅයිඩී අධ්‍යක්ෂ මාරු කළා. මේ පළිගැනීමේ ඉතිහාසය. හැබැයි අපි පළිගන්නේ නැහැ.
අල්ලස් කොමිසම විතරද වැඩකරන්නෙ?
අපි අල්ලස් කොමිසමට අවශ්‍ය නීතිමය බලය දුන්නා. වත්කම් පිළිබඳ නීතිමය බලය දුන්නා. එම ආයතන ශක්තිමත් කළා. විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය සහාය දුන්නා. විමර්ශනය කරලා, අධිකරණයට ගිහින් නඩු අහලා තීන්දුව දෙන්න කිව්වා. එය තමයි ශිෂ්ටසම්පන්න ලෙස දූෂිතයන්ට දඬුවම් දීමේ මාවත. කිසිදු ප්‍රජාතන්ත්‍ර විරෝධී පළිගැනීමේ චේතනාවක් නැහැ. සමහර අය අහනවා ඇයි එක පවුලේ ගොඩක් අහුවෙන්නේ කියලා. පවුලම හොරා කෑ විට අහුවෙනවා. ඒ නිසා මේවට කලබල වෙන්න එපා. අපෙන් ජනතාව අපේක්ෂා කළ ජනවරමේ හරයක් තිබුණා. දූෂිතයන්ට මේ ආණ්ඩුව දඬුවම් දෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණා. මේ වසර දෙක තුළ අපි ඔප්පු කරලා තිබෙනවා අපි ඒ වැඩේ කරන බව.
ජාතිවාදයට යළිත්ඉඩක් නැද්ද?
ඒ වගේම අපි කෙරෙහි සියයට සීයක් විශ්වාස තැබූ තව කරුණක් වන්නේ රට තුළ කිසිදු ආකාරයක ජාතිවාදී ගැටුමක් ඇතිවීමට ඉඩ නොදෙයි යන විශ්වාසය. පසුගිය වසර 30ක වගේ කාලය තුළ අපේ රටේ මුළු දේශපාලනයම තීරණය වුණේ අනෙකාට විරුද්ධව. උතුරේ ඡන්දය ගන්නවා දකුණට විරුද්ධව. දකුණේ ඡන්දය ගන්නවා මුස්ලිම් අයට විරුද්ධව. මුස්ලිම් අයගේ ඡන්දය සිංහල අයට විරුද්ධව ගන්නවා. එකිනෙකාට එරෙහිව මේ දේශපාලනය ගෙන ගියා. අපේ රටේ විවිධ ජාතීන් සහ ඔවුන්ගේ ආගම් සමග ගැටගැසුණු අනන්‍යතාවක් තිබෙනවා. අපේ රටේ පැවති මේ අනන්‍යතාව අනෙකාට එරෙහිව උපයෝගී කර ගත්තා. හැබැයි ලංකාවේ පළමු වතාවට පසුගිය මහ මැතිවරණයේදී දකුණ කේන්ද්‍රකරගත් දේශපාලන ව්‍යාපාරයක් යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. ත්‍රිකුණාමලය, අම්පාර, කිලිනොච්චිය, වන්නි දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. ඒ කියන්නේ ජනතාව එක ආණ්ඩුවක් විශ්වාස කරන්න පටන් ගත්තා. අපේ රට ජාතිවාදී ගැටුම්වලින් තොර, ආගම්වාදී ගැටුම්වලින් තොර ආණ්ඩුවක් අවශ්‍යයි කියා ජනතාව විශ්වාස කළා. ඒක කරන්නේ ජාතික ජනබලවේගය ආණ්ඩුව කියන පූර්ණ විශ්වාසය තැබුවා. මේ අවුරුදු දෙක තමයි ලංකාවේ ජාතිවාදී ගැටුමක් පිළිබඳ කිසිදු පොලීසියකට පැමිණිල්ලක් නොලැබුණු වසර දෙක. ජනතාවට ජාතික සමගිය අවශ්‍යයි. ඔවුන් අපිට ඡන්දය ලබා දීමේ පූර්ණ විශ්වාසය තැබුවා ජාතිවාදයට ගොදුරු වෙන්නේ නැති වෙයි කියලා. අපි පසුගිය වසර දෙක තුළ ජාතිවාදයට ඉඩ නොතබා මේ රට පාලනය කර තිබෙනවා.
යළි යළිත් විවිධ කුඩා කුඩා සිදුවීම් උපයෝගී කරගෙන ජාතිවාදය ඔසවන්න උත්සාහ කරනවා. ඒ නිසා ජාතිවාදය පදනම් කරගෙන දේශපාලන න්‍යාය පත්‍ර සකස් කර තිබෙන සියලු දේශපාලන පක්ෂවලට කියන්න කැමතියි ජාතිවාදය තවදුරටත් අපේ රටේ දේශපාලන බලය අතපත් කර ගැනීමේ මෙවලමක් නොවෙයි. එය අවසන්. යළි ඊට ඉඩක් නැහැ. අපි එය මේ අවුරුදු දෙක තුළ ඉටු කරලා තිබෙනවා.
නීතියේ ආධිපත්‍යයට මොකද වුණේ?
ඒ වගේම ජනතාව අපේක්ෂා කළා නීතියේ විධානයේ ආධිපත්‍යය සියලුදෙනාට සමානවිය යුතුයි කියලා. ලොකු පොඩි බේදයකින් තොරව නීතිය ඉටු වීම මේ රටේ ජනතාවගේ අපේක්ෂාවක්. අද අපි සමාජයට ඔප්පු කර තිබෙනවා නීතිය ඉදිරියේ හැම කෙනාම සමානයි කියලා. අපරාධයක්, වංචාවක් සම්බන්ධයෙන් කිසිදිනක අධිකරණයට අඩිය නොතබන බව සිතාගෙන සිටි අයටත් අද අඩිය තියන්න වෙලා තිබෙනවා. කවදාවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරන්නේ නැති වෙයි කියලා හිතපු අයට අද ප්‍රශ්න කරයි කියලා සිංගප්පූරු යන්න වෙලා තිබෙනවා. නීතිය කාටත් සමානයි.
ඒ අනුව පසුගිය වසර දෙක තුළ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වන රටක් අපි නිර්මාණය කර තිබෙනවා. දේශපාලන සංස්කෘතියේ යහපත් වෙනස, වංචාවෙන් දූෂණයෙන්, නාස්තියෙන් තොර පාලනයක්, ජාතිවාදයෙන් තොර පාලනයක්, මහජනතාව සහ දේශපාලකයා අතර යහපත් සබඳතාවක් මේ සියල්ල පරිපූර්ණ වූ විටයි රටක් හැදෙන්නේ. රටක් හැදෙන්නේ පාලම්, බෝක්කු ඉදිකිරීමෙන් පමණක් නොවෙයි. මේ සියල්ල සම්පූර්ණ වූ විට රටක් ගොඩනැගෙනවා. එදා මේ රට පාලනය කළේ කණ්ඩායම් සහ කල්ලි. අද මහජනතාවගේ පාලනයක් මේ රට තුළ තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට තිත ද, කොමාව ද?
ඒ වගේම මහජනතාව අපේක්ෂා කළා අපේ ආණ්ඩුව පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කරයි කියලා. කුඩු සහ පාතාලය විසින් අපේ රටේ මුළු රාජ්‍ය දේහයම ගිලගෙන තිබෙනවා. මහ ධනයක් සහ බලයක් ඔවුන් අත්පත් කරගෙන තිබෙනවා. හැබැයි අපි ආණ්ඩුවක් ලෙස තීරණය කර තිබෙනවා පාතාලය සහ මත්ද්‍රව්‍ය ව්‍යසනය අපේ රටින් මුළුමනින්ම ඉවත් කිරීමට. අපි විශාල ප්‍රමාණයක් සංවිධානාත්මක අපරාධකරුවන් පිටරටදි අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනාවා. නොබෝ දිනකින් තව ගේනවා. ඔවුන් සියලුදෙනා ගෙනල්ලා නීතිය හමුවට ඉදිරිපත් කරනවා. ආයුධ පෙන්නන්න යන සංස්කෘතිය අපි කරන්නේ නැහැ. ඒකත් මං කියන්නම්. අපි හැමවෙලාවෙම ශිෂ්ටසම්පන්න රටක්. ජනාධිපතිවරයා ලෙස මට දඬුවම් දීමේ බලයක් නැහැ. අපේ පොලීසියට දඬුවම් දීමේ බලයක් නැහැ. දඬුවම් දීමේ බලය තියෙන්නේ අධිකරණයට.
ඒ නිසා විධිමත් අධිකරණ නඩු විභාගයකින් පසුව තමයි අපි දඬුවමට යටත් කරන්නේ. ඒක තමයි ශිෂ්ටසම්පන්න රටවල්වල තිබෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ ශිෂ්ටභාවය.
අපි මේ මත්ද්‍රව්‍ය ජාවාරම එක්ක හැප්පෙනවා. අපි ඒක කරනවා.
ඔය කිව්වට ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවද?
පහුගිය කාලයේ ලෝකයේ ඇතිවෙච්ච විවිධ ගැටලුවලදි, විවිධ අවස්ථාවලදි ආණ්ඩුවක් ලෙස අපිට තීරණයක් ගත යුතුව තිබුණා. මතක තියාගන්න, අපි ගත්තු ඒ හැම තීන්දුවක්ම ජාත්‍යන්තර වශයෙන් සෑමදෙනාගේම ප්‍රසාදයට ලක්වෙන ආකාරයටම අරන් තියෙනවා. මැදපෙරදිග කලාපයේ යුද්ධයේදී අපි ඉතාමත් හොඳ ස්ථාවරයක් ගත්තා. රාජ්‍යය කොච්චර බලවත්ද, අපි හිස නැමුවේ නැහැ. රාජ්‍යය කොච්චර දුබලද, අපි ඒක අතහැරියේ නැහැ. මතක තබාගන්න, අපි ඉතාමත් හොඳ මැදිහත් විදේශ ප්‍රතිපත්තියක කටයුතු කරනවා.
අර එක මුහුදු යාත්‍රාවක් පිළිබඳව ප්‍රශ්නයේදී ජාත්‍යන්තර වශයෙන් අපි ප්‍රධාන වශයෙන් ඇගයීමට ලක්වෙන විදිහට අපි ඒක කළමනාකරණය කළා. ඒ නිසා මම හිතනවා මෑත දශක දෙක-තුනක කාලය තුළ ඉතාමත් හොඳ, ශක්තිමත්, ගෞරවයේ විශ්වාසය තහවුරු වෙන ජාත්‍යන්තර සබඳතාවල ඉතාමත් හොඳ ගුණාත්මක අදියරක් අපේ ආණ්ඩුව තියලා තියෙනවා. ඒක වැදගත්.
පෙරහැර නවත්වන්නේ කවදාද?
ඒ වගේම ආගම් ගැන සැකයකුත් තිබුණා. අපේ බෞද්ධ ආගමේ භක්තිකයන්ට කිව්වා “පෙරහැරවල් නතර වෙනවා, අපේ සංස්කෘතිය නැතිවෙනවා” කිව්වා. “දාන වේල නැතුව යනවා” කිව්වා. අපේ මවුලවිතුමන්ලාගේ, ඒ මුස්ලිම් ඉස්ලාම් ධර්මය අදහන භක්තිකයන්ට කිව්වා “පස්වේල වඳින්න දෙන්නේ නැහැ” කිව්වා. මේවායි මේ රටේ කිව්වේ. සමහර අය හිතුවා ආගම්වලට අනතුරක් වේවි කියලා. මතක තියාගන්න, අපිට අවශ්‍යයි මේ රට ගොඩනඟන්න ඒ ඒ ආගමික අවස්ථාවල යළි ප්‍රබෝධයක් අවශ්‍යයි.
ඉතිහාසය බලනකොට, අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා තියෙන්නේ ආගමික ප්‍රබෝධයක් තියෙනවා නම් අපි ආර්ථික වශයෙන් ශක්තිමත්. අපේ ඉතිහාසයේ රජ සමය බැලුවොත්, ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා තියෙනවා ආගමික ප්‍රබෝධයක් තිබෙන යුගයේ. ආගමික ප්‍රබෝධයක් තිබෙනවා නම් ආර්ථික වශයෙන් ශක්තිමත්; ආර්ථික වශයෙන් ශක්තිමත් නම් ආගමික ප්‍රබෝධයක් තියෙනවා. අපිට අවශ්‍යයි මේ රට තුළ යළි විශාල ආගමික ප්‍රබෝධයක් හදන්න. ඒ වෙනුවෙන් අපි විශාල වැඩකොටසක් කර තිබෙනවා.
ආර්ථිකය කියන තරම් ස්ථාවර ද?
ඊළඟට තව දෙගිඩියාවක් තිබුණා අපිට ආර්ථිකය කරගන්න බැරි වෙයි කියලා. ආර්ථිකය පිළිබඳ දෙගිඩියාවක් හැදුවා. නමුත් මෙරට ආර්ථිකයේ විශාල ජයග්‍රහණ රැසක් අපි පසුගිය වසර දෙක තුළ ලබාගෙන තිබෙනවා. රටේ ආර්ථිකයේ වැදගත් අවස්ථාවකට අපි මේ වන විට පැමිණ තිබෙනවා. ඒ නිසා “ජාතික ජන බලවේගයට ආණ්ඩුව දීලා ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරි වෙයි” කියලා සැකයකුත් තිබුණා නම්, ඒ සැකය මුළුමනින්ම තුරන් කරලා තිබෙනවා.
මේ අවුරුදු දෙක තමයි ලංකාවේ වැදගත් ආර්ථික දත්තවල වැදගත් දර්ශක පෙන්වපු යුගය. ඒක කොච්චර වැදගත්ද කියලා කියනවා නම්, අපිට දිට්වා සුළි කුණාටුව හමුවේ ඇති වූ තත්ත්වයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණා. මේ සඳහා මුහුණ දීමට අපි අයවැය ලේඛනයට අත තියන්නේ නැතුව, අතිරික්තව කෝටි 50,000ක් වෙන් කළා. ආර්ථික වශයෙන් ශක්තිමත්ව සිටි නිසා අපිට ඊට මුහුණ දීමට පුළුවන් වුණා.
ඊළඟට මැදපෙරදිග තෙල් අර්බුදය ආවා. ඉතින් අපි අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු මේ මාස පහට කෝටි 10,000ක් වෙන් කළා. අපි මොකද කළේ ඩීසල් ලීටරය වෙළඳපොළ මට්ටමට වඩා අඩුවට අලෙවි කළා. ඩීසල් ලීටරයකට අපි රුපියල් 100ක සහනාධාරයක් දුන්නා. අපි බැලුවා “මේ ඉන්ධන මිල ඉහළ ගියාම ආර්ථිකයට බලපෑමක් වෙනවා, ඒ නිසා අපි සහනාධාරයක් දුන්නා, රුපියල් 100ක් දුන්නා”. ඕගොල්ලන්ගේ වාහනවලට ඩීසල් ලීටර 10ක් ගැහුවා නම් රුපියල් 1000ක් ආණ්ඩුවෙන් ගෙව්වා. එහෙමයි කළේ. පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනාධාරයක් දුන්නා. වෙළෙඳපොළේ වැඩියෙන් විකුණන්න එපා, අඩුවෙන් විකුණන්න අපි අලාභය දෙන්නම් කියලා කිව්වා. ආර්ථිකය ශක්තිමත් නැත්නම් ඒක කරන්න බැහැ. අපි ඒ සඳහා කෝටි 10,000ක් වෙන් කළා.
තෙල් මිල 1,000ට යයි ද?
දැන් මතුවී තිබෙන තත්ත්වය වන්නේ අප්‍රේල් මාසයටත් වඩා සමහර තැන්වල ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා. දැන් ඒ මුළු බර ජනතාවට දුන්නොත් විශාල අගයකින් ඉන්ධන මිල ඉහළ යනවා. ලෝක වෙළෙඳපොළේ යුද ගැටුම නිසා ඉන්ධන මිලේ විශාල ඉහළ යාමක් තිබෙනවා. ඒ නිසා අපි තීරණය කර තිබෙනවා ජනතාවට විශාල බරක් නොදෙමින් ඉදිරි මාස 03ට නැවත ඉන්ධන සහනාධාරයක් ලබා දීමට. අපි හෙට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස 03ට ඉන්ධන සහනාධාරය සඳහා රුපියල් කෝටි 4100ක අලුත් පැකේජ් එකක්. එහෙම ආණ්ඩු ලංකාවේ තිබිලා නැහැ.
වෙනදා වුණේ පාඩුව තෙල් සංස්ථාව දරාගන්න ඕනේ. අපි තෙල් සංස්ථාවට කියනවා ඕගොල්ලෝ හරි ගාණ කියන්න, හැබැයි අපි කියන ගාණට දෙන්න, පාඩුව අපි ගෙවන්නම්. එතකොට තෙල් සංස්ථාව පාඩු වෙන්නෙත් නැහැ, ඒකත් ලාභ ලබනවා. මොකද ඒ ආයතන අපි රැකගන්න ඕනේ. ඒ ආයතනවලට බලශක්ති වෙළඳපොලේ විශාල කාර්යයක් තියෙනවා. අපි මේ කටයුතු කළමනාකරණය කර ගන්නවා. ඒවා කළමනාකරණය කරගන්න පුළුවන් වුණේ මොකක් නිසාද? අපි සතුව තිබෙන ආර්ථික ශක්තිය නිසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මෑතකදී ප්‍රකාශ කළා, කම්පනයන්ට ඔරොත්තු දෙන්න පුළුවන් වන ආකාරයේ ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙනවා කියලා. සාමාන්‍ය තත්ත්වයේදී ආර්ථිකයක් ගලාගෙන යන එක ලොකු දෙයක් නෙවෙයි. හැබැයි කම්පනයන්ට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් හදන්න ඕන. ඒ නිසා පසුගිය අවුරුදු දෙක තුළ දිට්වා සහ මැද පෙරදිග යුද තත්ත්වය යන බාහිර සහ අභ්‍යන්තර කම්පන දෙකටම අපි සාර්ථකව මුහුණ දුන්නා.
දැන් ඔක්කොම හරි ද?
ආර්ථික දත්ත ඉහළ යාමට වඩා ජනතාවගේ ජීවිත පහසු කිරීම වැදගත් වෙනවා. ඒ සඳහා සංවර්ධන ව්‍යාපෘති මගින් ගම් මට්ටමින් ආදායම් මාර්ග සහ රැකියා ඇති කිරීම, රාජ්‍ය සේවයට 121,000 කට ආසන්න පිරිසක් බඳවා ගැනීම සහ වැඩිහිටි, වකුගඩු, මහපොළ හා පොහොර සහනාධාර ඉහළ නැංවීම වැනි කාර්යයන් අපි සිදු කර තිබෙනවා.
පෞද්ගලික වියදම් අඩු කිරීම සඳහා හොඳ බස් රථ ලබා දීම, මාර්ග සංවර්ධනය සහ දුම්රිය මාර්ග විද්‍යුත්කරණය මගින් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා.
හෘද සැත්කම් වැනි සේවාවන් සඳහා පවතින පෝලිම් මාසයක් දක්වා අඩු කර රජයේ රෝහල් මගින් පහසුකම් සැලසීම වගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය පරිවර්තනය සිදු කරනවා.
6 ශ්‍රේණියේ සිට දෙමාපියන්ට බරක් සහ දරුවන්ට වදයක් නොවන අලුත් අධ්‍යාපන පරිවර්තනයක් ලබන වසරේ සිට ආරම්භ කරනවා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඉඩම් කච්චේරි වැනි රාජ්‍ය ආයතන ගණනාවක් ලබන වසරේ සිට ගෙදර සිටම වැඩ කටයුතු කරගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කර ජනතාවගේ කාලය සහ මුදල් ඉතිරි කිරීමට සැලසුම් කර තිබෙනවා.
සැලැස්ම මොකක්ද?
ඒ නිසා අපේ සැලැස්ම වන්නේ ජනතාව සහ ආණ්ඩුව අතර ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමයි. ජනතාව සහ ආණ්ඩුව අතර විශ්වාසවන්ත සහයෝගිතාවයක්, ජනතාව සහ ආණ්ඩුව අතර ශක්තිමත් සබඳතාවයක් තමයි මේ රට සංවර්ධනයට ගෙනියන්නේ, ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමුයි කියලා ආරාධනා කරනවා.
ස්තූතියි !
