අප අසා ඇති ඉතිහාසයක, නොදන්නා තොරතුරු ඇතුළත් ‘නොනිමි අරගලයක මතක, පතී’

15

“වැලිසරගේ දීප්ති චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් පතී සහෝදරයා ඉතාමත් විනෝදයෙන් කල් ගත කළ සුන්දර මිනිසෙකි. සෞන්දර්යයවාදියෙකි. තම පවුලේ සාමාජිකයන්, නෑ සියන්, රාගම අවට ගම් වාසින් සහ හිත මිතුරන් අතර බොහෝ ආදරය දිනූ , සැහැල්ලුවෙන් කෙළි දෙළෙන් ජීවිතය ගතකළ තරුණයෙකි”
පතී සහෝදරයා පිළිඳ කතා කරන සෑම දෙනාම පාහේ ඔහු ගැන අතීතය සිහිපත් කිරීම ආරම්භ කරන්නේ එවැනි කුළුණුබර හැඳින්වීමකිනි.
ගාමිණි මුතුකුමාරණ සොයුරාගේ ‘නොනිමි අරගලයක මතක -පතී’ කෘතිය කියවා අවසන් කළ මොහොතේ මට දැනුනු දරාගත නොහැකි සාංකාවක හැඟීමක් ද සමඟින්, මම නැවතත් ආපසු ගියේ කෘතියේ 31 වැනි පිටුවටය.

එහි මුළු පිටුවක් පුරා ඇති ඔහුගේ විශාල උඩුකය ඡායාරූපය දෙස මම බොහෝ වේලාවක් බලා සිටියෙමි.
මාගේ මුළු ආත්මයෙන්ම පැන නැ‍‍ඟෙන මහා ගෞරවයක් සහ කෘතඥපූර්වක බරැති හැඟීමක් ද සහිතව ඒ කඩවසම් තරුණයා ගැන මම සිතන්නට වූයෙමි. මා ඒ මොහොතේ පළමුව දුටුවේ, තමන්ගේ සුන්දර යෞවන කාලය පමණක් නොව, තමන්ගේ මුළු ජීවිතයම උත්තරීතර අරමුණක් වෙනුවෙන් කැප කිරීමට ශක්තිය තිබූ බැරෑරුම් මිනිසෙකු නොව, තම හිතවතෙකු දැක්ක දුටු තැන ඔහුට හෝ ඇයට කුමක් හෝ ‘කොලොප්පමක්’ කර අවට සිටින සියල්ලන්වම සිනහ ගන්වමින්, විනෝද වීමේ ආසාව මැඬ ගත නොහැකි, විනෝදකාමී දඟකාර තරුණයෙකි. කුමන හෝ මොහොතක ඒ පින්තූරයෙන් එළියට පැන මහ හඬින් සිනා සෙමින් “ ඕච්චර සීරියස් වෙන්න එපා බන්, මං මැරිලා නෑ” වැනි යමක් පවසමින් මට ද ඔච්චම් කරනු ඇතැයි මට එකවරම සිතුනි.

ඔහුගේ ජංගමශීලි දෑස් දෙස බලමින් මම මුතුකුමාරණ සොයුරාගේ ‘නොනිමි අරගලයක මතක, පතී’ කෘතිය තුළ විදාරණය වුණු පතීගේ කෙටි, එහෙත් ගැඹුරු ජීවිත කතාව නැවතත්, සිනමා පටයක තීව්ර දසුන් නරඹන්නාක් මෙන් ආවර්ජනය කළෙමි. එහි නොහිම් කැප කිරීම්, බිහිසුණු සිදුවීම්, දරාගැනීම් බොහෝය. අවසානයේ පතී සහෝදරයා ජීවිතයෙන් සමු ගත්තේ අනෙක් බ‍ොහෝ විප්ලවීය වීරයන් මෙන් සියළු කටුක ශාරිරික වේදනා දරාගනිමින්, ගහලයන් ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණු එක ද වදනක් හෝ මුවින් පිට නොකරමිනි.

ඉඳින් ඒ දඟකාර තරුණයා දෙස බලමින් මම උදක්ම සිතුවේ, ජීවිතයේ සුන්දරම කාලය විප්ලවවාදියෙකු ලෙස ජීවත්වෙන්නටත්, කැප කරන්නටත් පමණක් නොව, අවසානයේ මිනිසෙකුට දරා ගැනීමට හැකි සීමාවට එපිටින් වූ, ශාරීරික වේදනා සියල්ල උසුලා ගනිමින් වීරයෙකු ලෙස තම ජිවිතය පරිත්‍යාග කරන්නටත්, මේ දඟකාර තරුණයාට ශක්තිය ලැබුණේ කෙසේද යන්නය.

‘නොනිමි අරගලයක මතක, පතී’ යනු අප අසා ඇති ඉතිහාසයක, නොදන්නා තොරතුරු ඇතුළත් කෘතියකි. අප විදෙස් රටවල විප්ලවවාදීන්, විප්ලවවාදී විරුවන්, නායකයන් පිළිබඳව ලියා ඇති කෘති, නිර්මාණය වී ඇති සිනමා පට මහත් ඕනෑකමින් පරිශීලනය කරන්නෙමු. ඔවුන්ගේ ජිවිත, අපි ආදර්ශයක් කොට ගනිමු. එහෙත් අප පය ගසා සිටින මේ මහ පොළොවේ, උත්තරීතර අපේක්ෂාවන් වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කළ, විශ්වාස කළ නොහැකි තරම් කැප කිරීම් කළ එවැනි විරෝදාර ගැහැණුන් මිනිසුන් බොහෝ ගණනාවක් සිටින බව අපට අමතක වී ඇති සෙයකි. ඔවුන්ගේ ජිවිත කතා ද සැබවින්ම මානව විප්ලවවාදී වංශ කතාවේ පුරාවෘත්තයන්ය. අඩුවකට ඇත්තේ ඔවුන් පිළිබඳ අප කතා නොකිරීමය, ඔවුන් පිළිබඳ සාහිත්‍යයක් ගොඩනැඟීමට අප වද නොවීමය. එම නිසා ඒ හිදැස පිරවීමට ගත් මාහැඟි උත්සාහයක් ලෙස ගාමිණි මුතුකුමාරණ සොයුරාගේ ‘නොනිමි අරගලයක මතක – පතී’ කෘතිය හැඳින්විය හැකිය.
ඉඳින් බර හුස්මක් ගෙන මේ පොත කියවන්න. දඟකාර තරුණයෙකු, අවියක් අතට ගැනීමට තරම් බරෑරුම් චරිතයක් දක්වා රූපාන්තරණය වූයේ කෙසේද, එය කුමනාකාරයේ යුගයක් ද, පතී ඇතුළු විප්ලවවාදින්‍ තුළ තිබුණු ජීව ගුණය කුමනාකාරයේ එකක් ද යන්න එවිට පාඨකයාට අවබෝධ කර ගත හැකිය.

කෘතිය පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා ගැනීම සඳහා එහි උපුටන කීපයක් පහතින් දක්වා ඇත
“යටි බිම්ගත දේශපාලනයේ සහ මෙම සන්නද්ධ ගරිල්ලා බළකායේ මුල්ම කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු ලෙස දීප්ති මෙලෙස ලාංකීය විප්ලවීය ඉතිහාසයට එක්වෙයි. අවි දැරූ නිර්භීත සටන්කරුවෙකු වුව ද, ඔහු‍ගේ අභ්‍යන්තර හදවත සංවේදී කවියෙකුගේ මෙන් මුදු මොළොක් ස්වභාවයක් ගත්තේය. දීප්ති සතු වූ සුවිශේෂීම ලක්ෂණය වූයේ, තමන් නිරත වී සිටින මේ ගරිල්ලා කාර්යයේ මාරාන්තික බව සහ එහි අවසානය මරණය විය හැකි බව හොඳින්ම දැන සිටිය ද තමා තුළ තිබූ ප්‍රියජනක, මානුෂීය සහ සහජ විනෝදකාමී ස්වභාවය කිසිදු බිහිසුණු තත්වයක් හමුවේ අහිමි කර නොගැනීමයි. ඔහුගේ සන්නද්ධ භූමිකාව යනු හුදු ප්‍රචණ්ඩත්වය හෝ ලේ වැගිරීම් සොයා යාමක් නොව, උදාර අරමුණක් වෙනුවෙන් දැන දැනම කළ ආත්ම පරිත්‍යාගයක් පමණි. අවසානයේ මේ අසිරිමත් ගමනේ දී සිය ජීවිතය පවා අහිමි විය හැකි බව මේ සොඳුරු මිනිසා කල් තියාම දැන සිටියේය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ සටන්කරුවෙකු ලෙස මෙකල ඔහු සන්නද්ධ මෙහෙයුම් කිහිපයකටම ස්වකීය සක්‍රීය සහ උපායමාර්ගික දායක්ත්වය උපරිමයෙන් ම ලබා දුන්නේය.” – පිටුව 87

“කඳවුරේ අඳුර වැටීගෙන එන මොහොතේ, දහඩියෙන් සහ වැසි දියෙන් පෙඟී හතිලමින් දුවන සගයන්ගේ වේගය අඩුවෙද්දි, දීප්ති ඔවුන සමගම කරට කර දුවමින් මුළු වනාන්තරයම දෝංකාර දෙන හඬින් මෙසේ කෑ ගැසුවේය.
“ සහෝදරවරුන් වේගය අඩුකරන්න එපා! මතක තියා ගන්න.. සටන් බිමේ දී අඩුවෙන්ම ලේ හලන්නේ, පුහුණු බිමේ දී වැඩියෙන්ම දහදිය හලන මිනිසායි.”
සගයන් විස්මයෙන් බලා සිටිද්දී දීප්ති සිය සුපුරුදු සොඳුරු සිනහව පාමින් මෙසේ ඇසුවේය.
“ ඇයි ? සහෝදරවරු හිතුවා නේද ඒක කිව්වෙ මම කියලා? නැහැ! ඒක කිව්වෙ අපේ ආදරණීය චේ සහෝදරයා! අව්ව, රස්නය, වැස්ස කියන්නේ විප්ලවවාදීන්ගේ ශබ්දකෝෂයේ නැති වචන බව අමතක කරන්න එපා.” – පිටුව 89

“මට ජිවිතයේ හමුවුණු හරිම සුන්දර මනුස්සයෙක් තමයි පතී. පතී කොළඹ දිස්ත්‍රික්කයට ඇවිත් අපට මුණ ගැස්සුවෙ ‘කොළඹ සරත්’ සහෝදරයා. මගේ මතකය විදියට ඒ 1985 අග. පතී ගැන මතක කොච්චර තිබුණත් මට නම් නිතරව මතක් වෙන්නේ කටුනායක ඇටෑක් එක වෙලාවේ දැක්ක රුව. හරියට බටහිර චිත්‍රපටයක සටන්කරුවෙකු වගේ. පතී දැක්කම කෙනෙකුට කියන්න බැහැ එහෙම සටන්කාමියෙක් කියලා. හැම වෙලාවෙම හිනා වෙවී විහිළු කර කර ඉන්නේ. සතුරාගේ ළඟට යනකම්ම තේරෙන්නේ නැහැ මේ මොකට ද එන්නේ කියලා. ඒ තරම් සුක්ෂම විදියටයි හැසිරෙන්නේ. ඔහු හැම වෙලාවෙම හිනාවෙවි විහිළු කරමින් සිටි සුන්දර මිනිසෙක්” – 103

“දීප්ති ගැන මතක් කරද්දී අදටත් ම‍ගේ හිතට එන්නේ පුදුමාකාර දේශපාලන කතා වගේම, ඊටත් වඩා හරිම සුන්දර මානුෂීය කතන්දර. මොන තරම් භයානක හෝ බරපතල මෙහෙයුමකට ගියත්, තමන් ගැන නොවෙයි, තමන් එක්ක ඒ වැඩේට යන අනෙක් සහෝදරයා ගැන මුලින්ම හොයලා බලපු මිනිහෙක්. ‘පරිස්සමින් නේද’ කෑම කාලද ඉන්නේ? කියලා අනෙක් සගයා ගැන හොයන එක එයාගේ සහජ පුරුද්දක්. ඒ වගේම තමයි, මොනතරම් බිහිසුණු, හිතට බර කාලවකවානුවලදී වුණත්, නිතරම වගේ අපූරු විහිළුවක් කරලා වටේම ඉන්න අයව හිනස්සන්න දීප්තිට පුළුවන්කම තිබුණා. මරණය අත ලඟ තියාගෙන වැඩ කරපු සමහර බරපතළම අවස්ථාවලදි වුණත්, මුළු පරිසරයේම තිබුණු පීඩනය එක මොහොතකින් දිය කරලා දාලා, හරිම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් පුදුම විදියේ ආත්මීය ශක්තියක් තිබුණා.” පිටුව 226

“දීප්ති නම් විමුක්තිකාමී මිනිසා පිළිබඳ අප දැන ගත යුත්තේ, ඔහුගේ ජිවිතය අප නැවත කියවිය යුත්තේ මේ නිසාය. දීප්ති සහෝදරයා ගත කළ කෙටි ජිවිත කාලය පරිපූර්ණව ගෙවා දැමුවේය. එසේම ඔහු කල් ගත කළේ, සහමුලින්ම ඔහු ජීවත් වූ ඒ මොහොත තුළය. ඉදිරියට සිදුවීමට නියමිත බිහිසුණු සිදුවීම් සහ විඳවීම් වලට බිය වෙමින් ඔහු සිය වගකීමෙන් පලා ගියේ නැත, අනවශ්‍ය තරම් බැරෑරුම්කමකින් හිස බර කරගත්තේ ද නැත. ජීවයෙන් ප්‍රමුදිත වුණු සජීවි මිනිසෙක්, සෞන්දර්යයවාදියෙක් ඔහු තුළ ජීවත් වූයේය. මරණය පෙනි පෙනී ගහලයන්ට නම් පට බඳිමින් විනෝද වූයේ ඒ නිසාය. වද වේදනා විඳීමට සිදුවන බව දැන දැනත් විමුක්ති ගී ගයමින් අනෙක් සහෝදරවරුන්ට පවා ජිවය පිම්බේ ඒ නිසාය. දීප්ති සහෝදරයා ධනපති ආණ්ඩුවේ ගොදුරක්ව මරා දැමෙන විට ඔහු ජීවත් වී අවුරුදු තිස් එකක් පමනි. එවැනි කෙටි කාලයක් තුළ ජිවත් වී ඔහු මිය ගියේ, අනාගත පරම්පරාවලට මහඟු ආදර්ශයක් සපයා දෙමිනි. එවැනි විරුවන් අපට සෑම දාකම මග තොටේදී මුණ ගැසෙන්නේ නැත. එවැනි වීරෝදාර විරුවන් බිහි වන්නේ සුවිශේෂී යුගවල දී පමණි. ඒ නිසා මහ පොලොවේ ඉතිරිව ඇති මිණි කැට සොයා යන්නාක්මෙන් එවැනි විරුවන් පිළිබඳව සොයා යා යුත්තේ ඔවුන්ගේ රුව ගුණ අප දැන ගත යුත්තේ ඒ නිසාය” – පිටුව 123

මේ කෘතිය තුළ ඇත්තේ පතී සහෝදරයා පිළිබඳව පමණක් නොවෙයි. පතී සහ උරෙ’නුර ගැටී සටන් කළ අනෙක් සගයන්ගේ ජිවිත කතා, ඔවුන්ගේ සුසුම්, සිනහවන්, කැපකිරීම්, ධෛර්ය‍ය, වීර්යය සහ ඔවුන් මුහුණ දුන් බිහිසුණු ඉරණම ද මේ පිටු අතර හුස්ම ගනියි. එහෙයින් මේ, සැබෑවට අපගේ මව් බිමේ සුබ සිහින වෙනුවෙන් ජීවිත දුන් විරුවන්ගේ කතාවයි. එවැනි විරුවන් කිසි දිනෙක මිය යන්නේ නැත, ඔවුහු කේඩෑරි වී යන අපේ ජීවිත වලට ද ජිවය පිඹිමින් අප අතර නැවත නැවතත් ජිවත්වනවා පමණි.

සුභාෂිණී චතුරිකා

(මෙම කෘතිය මෙවර ජ්‍යාතන්තර පොත් ප්‍රදර්ශනයේ සූරිය පොත් ප්‍රකාශයන්ගෙන් ලබා ගත හැකිය.)