පාස්කු තීන්දුව – මරණ දඬුවම නොදුන්නේ ඇයි?

14
pix - created

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි  සංචාරකයන් හතළිස් දෙනෙකුට ආසන්න පිරිසක් හා කුඩා දරු දැරියන් තිස්පස් දෙනෙකුට ආසන්න පිරිසක් සමග පුද්ගලයන් 274 දෙනකු මරණයට පත් කරමින් තවත් පුද්ගලයන් පන්සිය හැත්තෑ හත්දෙනෙකුට තුවාල සිදුකරමින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයන් අට දෙනකුට ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන්  25දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ තීන්දුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කළේය.

නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් එහි ප‍්‍රධාන චූදිතයෙකු වන නවුෆර් මවුලවිට බරපතළ වැඩ සහිතව වසර 16,900ක සිරදඬුවම් නියම කළ විනිසුරුවරුන්,  එම වසර 16,900ක  කාලය වසර 220 කින් ගෙවී යන පරිදි නියම කර ඇති අතර නඩුවේ අනෙකුත් සැකකරුවන්ටද ඒ ආකාරයෙන්  සිරදඬුවම් නියම විය. 

2021 වසරේදී නීතිපතිවරයා විසින් චූදිතයන් 25 දෙනෙකුට එරෙහිව චෝදනා 23,000 කට වැඩි ප‍්‍රමාණයක් යටතේ මෙම නඩුව පවරන ලදී.  එවකට නීතිපතිවරයා විසින් අග‍්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරියගෙන් කරන ලද  ඉල්ලීම පරිදි මෙය විභාග කිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලදි.

පසුව මෙම විනිසුරු මඩුල්ල වෙනස් වූ අතර 2023 වසරේ සිට සතියට දින දෙකක් හෝ තුනක් බැගින් සාක්ෂි විභාග කිරීම ආරම්භ විය. ඒ අවස්ථාවේ දී මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත, අමල් රණරජා, නවරත්න මාරසිංහ යන විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කෙරිණි. පසුව දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන විනිසුරුවරුන් දෙපළ අභියාචනාධිකරණයට උසස් වීම් ලැබිම හේතුවෙන් නඩුව අතරමග නතර විය.

වත්මන් ආණ්ඩුව පත් වී අගවිනිසුරුවරයා ලෙස ප්‍රීති පද්මන් සූරසේන පත්විමෙන් අනතුරුව නඩුව දිනපතා විභාග කිරීම ආරම්භ වුයේ නව විනිසුරු මඩුල්ලක් හමුවේය. ඒ අනුව විනිසුරු නවරත්න මාරසිංහගේ සභාපතිත්වයෙන් යුතුව විනිසුරු සුජීව නිශ්ශංක සහ විනිසුරු රාමනාදන් කන්නන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නඩුව දිනපතා විභාග කරන ලදි.

මේ දීර්ඝ නඩු විභාගය ඉකුත් අගෝස්තු 24 වැනිදා අවසන් විය. ඉන් අනතුරුව තීන්දුවට දින නියම විය.

ඉකුත් 22 වැනිදා  නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ පෙරවරු 09:00ට වුවද මුද්‍රණ යන්ත‍්‍රවල ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පිටු විශාල සංඛ්‍යාවකින් යුත් තීන්දුව මුද්‍රණය කිරීම ප‍්‍රමාද විය.  ඒ පිළිබඳව කනගාටුව පළ කළ විනිසුරුවරු දහවල් 12:28ට විනිශ්චයාසනයට පැමිණ නඩු තීන්දුව කියවීම ආරම්භ කළහ. පසුව අවස්ථා කිහිපයකදී නඩුව කල් තබමින් දීර්ඝ ලෙස තීන්දුව ප‍්‍රකාශයට පත් කර අවසන් වන විට රාත‍්‍රී 11:30 පසු වී තිබුණි.

නඩුවේ මුළු චූදිතයන් 25 දෙනාගෙන් 17 වැනි චූදිතයා වන අබ්දුල් රවුෆ් බන්ධනාගාරයේ දී ස්වභාවික හේතුවක් මත  මරණයට පත්විය.

ඉතිරි චූදිතයන් 24 දෙනා අතුරින් 15 දෙනෙකු වැරදිකරුවන් ලෙස තීන්දු කළ අධිකරණය, සෙසු චූදිතයන් 09 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.  එසේ නිදහස් කළ චුදිතයන් වන්නේ 12 වැනි චූදිත මොහොමඞ් ස්වායිර් මොහොමඞ් හසන්, 13 වැනි චූදිත වන මොහොමඞ් ඉෆ්තිකාර් මොහොමඞ් ඉන්සාෆ්, 14 වැනි චූදිත වන රෂීඞ් මොහොමඞ් ඊබ‍්‍රහීම්  වන අතර ඔහු මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගේ පියා වේ. අනෙක් චුදිතයා 20 වැනි චූදිත වන සේනුල් ආබ්දීන් මොහොමඞ් ජසීම්, 21 වැනි චූදිත වන මොහොමඞ් මුස්තාෆා මොහොමඞ් රිස්වාන්, 22 වැනි චූදිත වන මිරාහිප් මොහොමඞ් නෆ්ලි, 23 වැනි චූදිත වන මොහොමඞ් අමීර් මොහොමඞ් අයිතුල්ලා,  24 වැනි චූදිත වන මොහොමඞ් අන්සාර්දීන් මොහොමඞ් ඉල්මි, 25 වැනි චූදිත වන  මොහොමඞ් අක‍්‍රම් යන අයයි.

වැරදිකරුවන් වූ පිරිස අතර පළමු චූදිතයා වන නවුෆර් මවුලවි සඳහා වසර 16,900 ක සිරදඬුවමක් නියම විය.  මෙම සිරදඬුවම වසර 220 කින් ගෙවී යන පරිදි නියම කලේය. ඔහුට එරෙහිව ප‍්‍රධාන වශයෙන් චෝදනා 09 ක් එල්ල වී තිබූ අතර 267 දෙනෙකු ඝාතනය කිරීමට අදාළ චෝදනා 267 සඳහා වසර 20 බැගින් වසර 5,340 ක සිරදඬුවමක්ද පුද්ගලයන් 574 දෙනෙකුට තුවාල සිදුකිරීමට අදාළ චෝදනා සඳහා වසර 20 බැගින් වසර 11,480 ක සිරදඬුවමක්ද ඇතුළත්ව මෙම මුළු සිරදඬුවම ගණනය කෙරිණි.  මරණයට පත්වීම් සහ තුවාල සිදුවීම්වලට අදාළ දඬුවම් එකවර ගෙවී යන පරිදි නියෝග කිරීම නිසා අවසානයේ ඔහුට වසර 220 ක සිරදඬුවමක් ගෙවීමට නියෝග කෙරිණි. නඩුවේ වැරදිකරුවන් වූ අනෙකුත් චූදිතයන් සඳහාද වසර 200 ත් 260 ත් අතර දීර්ඝ සිරදඬුවම් නියම කර ඇත.

මෙම දීර්ඝ නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ප‍්‍රහාර එල්ල වූ ස්ථාන, මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාවන්, එල්ල වී තිබූ චෝදනා 23,270 පිළිබඳව මෙන්ම එක් එක් චූදිතයාට එරෙහිව තිබූ සාක්ෂි පිළිබඳවද අධිකරණය විසින් දීර්ඝ විශ්ලේෂණයක් සිදු කරන ලදී.

එම දීර්ඝ සාක්ෂි විශ්ලේෂණයෙන් අනතුරුව මෙම පිරිස වැරදිකරුවන් බවට පත් කරමින් දඬුවම් නියම කෙරිණි.

තවද මෙලෙස පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර නඩුවේදී චූදිතයන් වැරදිකරුවන් බවට පත්වීමෙන් පසු ඔවුන්ට නියම වන දඬුවම් අවම කරගැනීම සහ ලිහිල් කරගැනීම සඳහා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙන්ම චූදිතයන් විසින්ද අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු දක්වන ලදී. එහිදි නීතිඥ කනීල් මද්දුමගේ දැක්වූ කරුණු ගැන සැලකීමේදී 2, 7, 8, 10, 15, 18 සහ 19 යන චූදිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනීල් මධුමගේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 3 වැනි වගන්තිය උපුටා දක්වමින් කරුණු පැහැදිලි කළේය.  මෙම අපරාධය කුමන්ත‍්‍රණයක කොටසක් වන බැවින් සහ අදාළ පනත යටතේ වසර 5 ත් 20 ත් අතර සිරදඬුවමක් නියම කළ හැකි බැවින් අවම දඬුවමක් නියම කිරීමට හෝ ලිහිල් දඬුවමක් ලබාදීමට අධිකරණයට බලය ඇති බව පූර්වාදර්ශ නඩු තීන්දු කිහිපයක් පෙන්වා දෙමින් ඔහු තර්ක කළේය.

මීට අමතරව තමන් නියෝජනය කරන චූදිතයන්ගේ පෞද්ගලික සහ පවුල් පසුබිම පිළිබඳවද නීතිඥවරයා අධිකරණයේ අවධානය යොමු කළේය. එහිදි 2 වැනි චූදිත වයස අවුරුදු 61 ක් වන විවාහකයෙකු වන අතර දරුවන් 5 දෙනෙකුගේ පියෙකු වන බවත්  7 වැනි චූදිත වයස අවුරුදු 45 ක් වන අතර දරුවන් 5 දෙනෙකු සිටී අයෙකු බවත්  8 වැනි චූදිත වයස අවුරුදු 42 ක් වන අතර දරුවන් 3 දෙනෙකුගේ පියෙක් බවත්  10 වැනි චූදිත වයස අවුරුදු 53 ක් වන අතර දරුවන් 7 දෙනෙකු සිටින බවත් ඔහුගේ බිරිඳට කිසිදු රැකියාවක් නොමැති බවත් සඳහන් කළේය. තවද 15 වැනි චූදිත වයස අවුරුදු 59 ක් වන අතර විවාහ දෙකකින් දරුවන් 8 දෙනෙකු සහ 2 දෙදෙනෙකු සිටීන බවත් ඔහු රැඳවුම් භාරයේ සිටියදී එක් දියණියක මියගිය බවද සඳහන් කලේය.

තවද 9 වැනි චූදිතයා වු සාජිත් මවුලවි ප‍්‍රකාශ කළේ තමන්ගේ ආගමට සහ හෘද සාක්ෂියට අනුව මෙවැනි ප‍්‍රහාරයක් සිදු කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක‍්‍රියාවක් බවයි.  තමන්ට නීතිය කෙරෙහි පැවැති විශ්වාසය නිසා රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී නීති උපාධි ප‍්‍රවේශ විභාගයට පෙනී සිට ලංකාවෙන්ම පළමුවැනියා වූ බවත් මේ වන විට නීතිය හදාරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය. තමන් වැරදිකරු වී ඇති බැවින් දඬුවම් අඩු කරන ලෙස ඉල්ලීමට පවා ලැජ්ජා වන බවත් මෙම මහජන විපත නිසා වින්දිතයන් තමන් ගැන කෙසේ සිතනු ඇත්දැයි හැ⁣ඟෙන බවත් පැවසූ ඔහු නමුත් සිය හෘද සාක්ෂියට අනුව තමන් නිවැරදිකරුවෙකු වන බැවින් දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටින බව ප‍්‍රකාශ කළේය

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ චූදිතයන්ට ලබා දිය හැකි උපරිම දඬුවම් නියම කරන ලෙසයි. එක් දඬුවමක් අවසන් වූ පසු ඊළඟ දඬුවම ගෙවී යන පරිදි දඬුවම් නියම කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම බෝම්බ ප‍්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන් 13 ක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිරුනි පෙරේරා ප‍්‍රකාශ කළේ ඉදිරිපත් වූ සියලූ‍ කරුණු සලකා බලා අධිකරණයේ අභිමතය පරිදි සුදුසු දඬුවම් නියම කරන ලෙසයි.

මෙම නඩුව 2021 වසරේදී පවරන ලද්දක් වන අතර මෙහි වැරදිකරුවන් වූ සැකකරුවන් සියලූ‍ දෙනාම පාහේ අත්අඩංගුවට ගන්නා ලද්දේ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකුව සිටි සමයේ සිදුකළ විමර්ශන මත පදනම්වය.  මේ වන විට අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මෙම මහාධිකරණ නඩුවේ චූදිතයෙකු නොවීය. ආරම්භක අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් සුරේෂ් සලේ සහ රොහාන් ගුණරත්න යන අය මෙහි 1 සහ 2 සාක්ෂිකරුවන් ලෙස කැඳවීමට උත්සාහ කළද, එය සිදු නොවීය. මේ වන විට සුරේෂ් සලේ කොළඹ, කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින පාස්කු ප්‍රහාරයට කුමන්ත්‍රණයට කිරීමේ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටී. ඔහු යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසත්, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකි.

මේ අතර හිටපු පොලිස්පත් පූජිත් ජයසුන්දරට සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ‌ෙහ්මසිරි ප්‍රනාන්දුට එරෙහි නඩුවේදී මරණ දඬුවම ලබාදීමත්, මේ නඩුවේ චූදිතයන්ට මරණ දඬුවම ලබානොදීමත් කතාබහට ලක්වී තිබේ. ඊට හේතුව වන්නේ මෙහිදී නීතිපතිවරයා චෝදනා ගොනුකර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වීමයි. එම පනත යටතේ ලබාදිය හැකි උපරිම දඬුවම් වසර 20ක කාලයකට යටත් වේ.

පාස්කු ප‍්‍රහාරයට අදාළව දිවයින පුරා විවිධ අධිකරණවල තවත් නඩු 30 කට අධික සංඛ්‍යාවක් විභාග වෙමින් පවතින අතර නඩු 3 ක් අවසන් වී ඇත.  මෙම ප‍්‍රහාරයට අදාළ විමර්ශන ගොනුව තවමත් වසා දමා නොමැති අතර ඉදිරියේදීද විමර්ශන සිදුවනු ඇත.