තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී 2018 ඔක්තෝබර් 02 දා ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු මැදිහත්වීමක් නොවූවද, රටේ නායකයා ලෙස තම පුරවැසියන් පිරිසක් කළ අදාළ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් බාරගන්නා බව සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසා තිබිණි.
ඇමරිකානු මාධ්‍ය ජාලයක් වන CBS හි මිනිත්තු 60 වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සල්මාන් කුමරු කශෝගී ඝාතනය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කර තිබිණි. සෞදි රජයේ විවිධ ආයතනවල සේවය කරන පිරිසක් මෙම ඝාතනය සිදු කර ඇති බව තහවුරු වී ඇතැයි ද ඔහු මෙහිදී පිළිගෙන තිබිණි. ‘කශෝගී ඝාතනය කිසිසේත්ම අනුමත කළ නොහැකි අති දුෂ්ඨ ක්‍රියාවක්. ඊට වගකිවයුත්තන්ට එරෙහිව උපරිමයෙන් කටයුතු කරනවා.’ එසේ කී ඔහු, පස්දෙනෙකුට මරණ දඬුවම නියම කරන තැනට වැඩ හැදුවේය. ඒත් ඒ සැබෑ ඝාතකයන් ද යන ප්‍රශ්නය ඉතිරි ය.
සල්මාන් කුමරුගේ මෙම වැඩසටහන විකාශය කිරීමෙන් පසු, ඊට කශෝගිගේ පෙම්වතිය වූ හේටිස් සෙන්ගීස් මෙසේ ප්‍රතිචාර දක්වා තිබිණි. ‘ඔහු නියම දේශපාලන සුත්තරකාරයෙක්. ඔහුගේ නියෝග මත සියල්ල සිදු වී තිබියදී සෞදියේ නායකයා ලෙස තමන්ට ඇති බලය ප්‍රයෝජනයට ගනිමින් ඔහු ලෝකය රවටනවා. ඔහු නොදැනුවත්ව ඔතරම් බිහිසුණු ක්‍රියාවක් කරන්න කිසිවෙකුට බැහැ.’
මේ අතර ජමාල් කෂෝගී ඝාතනය දේශපාලන වාසි සඳහා යොදානොගන්නා ලෙස මීට පෙර මොහොමඩ් බින් සල්මාන් කුමරු විදෙස් රටවල්වලට ද තර්ජනය කර තිබිණි. එංගලන්තයේ ලන්ඩන් නුවර මූලික කරගනිමින් පවත්වාගෙන යන, අරාබි භාෂාවෙන් මුද්‍රණය කෙරෙන asharq al-awsat පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සෞදි කුමාරයා වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ ජමාල් කෂෝගී ඝාතනයට අදාළව යුක්තිය ඉටු කිරීම තම රටේ කාර්යයක් බවයි.
කෂෝගී ඝාතනයට සෞදියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු සෘජුව සම්බන්ධ වී ඇති බව සදහන් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ද නිකුත් කළේය. ඊට අදාළව අතිශය විශ්වසනීය සාක්ෂි ඇති බවද එහි සදහන් කෙරිණි. මෙම වාර්තාවේ පිටු 100 ක් ඇත. කෂෝගී ඝාතනය අන්තර්ජාතික අපරාධයක් බවත්, ඊට වගකිවයුතු පාර්ශ්ව අනාවරණය විය යුතු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
ජමාල්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ සල්මාන් කුමරුගේ සමීපතමයන් පිරිසකටයි. ඔවුන් සල්මාන් කුමරු යටතේ පවතින විශේෂ ඒකකයක් නියෝජනය කළ පිරිසකි. රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වන සවුද් අල් කටානි ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජමාල්ගේ ඝාතනයට මොහොතකට පෙර, ඝාතකයන් සමග සම්බන්ධ වී ඇති බවයි.
කශෝගිගේ ඝාතනය ගැන කතාව කරළියට ගෙනාවේ වෙනත් කතාවකට පාර හදාගන්නට ය. බලය හමුවේ මනුෂ්‍ය ජීවිත සහ මිත්‍රත්වයන් අළු වී යන ආකාරයට උදාහරණ රැසකි.
මෙම ඝාතනය සිදු වූ විගස සෞදිය විවේචනය කළ පිරිස් සති කිහිපයක් තුළ එය වෙනස් කළහ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය පළමු ධුර කාලය අවසානයේ සිටි ඒ අවදියේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ තම රටේ පුරවැසියෙකු වන ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොකරන්නේ නම්, සෞදිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බවයි. ඊට පිළිතුරු ලෙස සෞදිය පැවසුවේ ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත ඉතිහාසයේ දැවැන්තම අවි ගනුදෙනුවකට අදාළ ගිවිසුමක් ඇතැම් විට අත්හිටුවීමට සිදු වනු ඇති බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් පසු ඒ ගැන කතකරන්නටවත් ගියේ නැත.
එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්න්මාන් අතර පැවති සාකච්ඡාවකදී ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් කශෝගී සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර තිබුණේ නැත. රාජ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වුයේ එය මැද පෙරදිග කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පමණක් බවයි. එහිදී ඇමරිකානු පුරවැසියෙකු සහ වොෂින්ටන් පොස්ට් පුවත්පතේ දේශපාලන තීරු ලිපි රචකයෙකු වූ ජමාල් කශෝගී සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලද බවද ඔහු පවසා ඇත.
මීට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සල්මාන් කුමරු සමග දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබිණි. එහිදීද කශෝගී සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකළ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබිණි.
මාධ්‍යවේදී ජමාල් කශෝගී මුලදී සෞදි රජ පවුලට ඉතා සමීපව කටයුතු කළ අයෙකි. ඉන්පසු ඇති වූ ගැටුමක් නිසා ඔහු ඇමරිකාවට පළා ගොස් තිබේ. ඇමරිකාවේ පදිංචිව සිටිමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ස්ථිර තීරු ලිපි රචකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු, මෙම තීරු ලිපි මගින් සෞදි පාලනය බරපතළ ලෙස විවේචනය කර ඇත.
පසුගිය ජූලි 13 දින ආරම්භ වී තවමත් ක්‍රියාත්මක සෞදි අරාබියට එරෙහි හූති ප්‍රහාර සහ ඒ පිළිබඳ සෞදියේ හොඳම මිතුරකු වන ඇමෙරිකාව කටයුතු කරන ආකාරය කියවාගත යුත්තේ මේ ඉතිහාස කතා ඔස්සේ ය. දැන් මේ ගතවෙමින් පවතින්නේ ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලයයි. 2019 සැප්තැම්බර් මාසයේදී සෞදියේ යටිතල පහසුකම්වලට සහ බලශක්ති නිෂ්පාදන ස්ථානවලට එල්ල වූ ප්‍රහාරවලට වඩා මෙවර ප්‍රහාර දරුණු ය. 2019 දී, සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ අබ්කායික්හි පිහිටි ප්‍රධාන බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට සහ කුරයිස්හි පිහිටි විශාල තෙල් නිධියකට ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල විය. එහි බලපෑම සෞදි අරාබියට පමණක් නොව ගෝලීය බලශක්ති වෙළඳපොළට දදැනිණි. හූතිවරු මෙහි වගකීම බාරගත්හ. එවකට ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් (පළමු ධුර කාලය) මෙම ප්‍රහාරය හෙළා දුටු අතර, ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව සූදානමින් සිටින බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. නමුත් අවසානයේදී ඇමෙරිකාව ඉරානයට ආර්ථික සම්බාධක පැනවූ අතර, හමුදාමය වශයෙන් ප්‍රතිචාර දැක්වූයේ නැත.
කෙසේ වෙතත් ඇමෙරිකාවේ මෙම මන්දගාමී සහ ලිස්සා යන ප්‍රතිචාරයෙන් සෞදි අරාබිය කනගාටුවට පත් විය. එනම්, ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට, ඔවුන්ගේ ප්‍රධාන ආරක්ෂක සහකරුවා වැඩ කළේ නැත.
2022 වසර වන විට සෞදි අරාබිය සහ හූතිවරුන් සටන් විරාමයක් වෙනුවෙන් සාකච්ඡා කරමින් සිටියේය. එය 2026 ජූලි දක්වා යම්-යම් අඩුපාඩු සහිතව වුවද, පවත්වාගෙන ගියේය. පසුව මේ ජූලියේදී යළිත් සෞදි අරාබියට ප්‍රහාර එල්ල විය. ඒ හූතිවරුන් විසිනි. මෙම ප්‍රහාර මගින් සෞදි අරාබිය මගහැරීමට බලාපොරොත්තු වූ ගැටුමකට නැවතත් ඇදදමන ලදි.
හූති මිසයිල ජූලි 13 දින සෞදි අරාබිය ඉලක්ක කිරීම ඇරඹීය. ජූලි 22 දින ඔවුහු රතු මුහුදේ සෞදි බොරතෙල් ප්‍රවාහනය කරන තෙල් නැව් ඉලක්ක කර, ප්‍රහාර එල්ල කළහ. පසුව ඔවුහු සෞදියේ යටිතලපහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ. අගෝස්තු 09 දින ජාසාන්හි තෙල් පිරිපහදුවකට එල්ල කළ ප්‍රහාරය එහි උපරිමයක් විය.
සැප්තැම්බර් 10 දින හූතිවරු ඉරාක හිතවාදී සන්නද්ධ කණ්ඩායම් සමඟ එක්ව හෝමූස් සමුද්‍රසන්ධියේ සිට රතු මුහුදට තෙල් අපනයනය කෙරෙන් තීරණාත්මක නැගෙනහිර – බටහිර නල මාර්ගයට ප්‍රහාර එල්ල කළහ. සැප්තැම්බර් 18 දින රියාද් ඉලක්ක කර ගනිමින් එල්ල කළ හූති බැලස්ටික් මිසයිලයක් සෞදි ගුවන් ආරක්ෂක බලකාය විසින් විනාශ කරන ලදි.
ගෝලීය තෙල් තොග ඉතා අඩු මට්ටමක පවතින අවස්ථාවක ය, මෙම ප්‍රහාර එල්ලවන්නේ. ලෝක තෙල් මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, ඇමෙරිකාවේ ගැසොලින් සහ ඩීසල් මිල 2022 වසරෙන් පසු ඉහළම අගයට පැමිණ ඇත. හූතිවරුන් මේ වන විට සෞදි ඉලක්කවලට පමණක් ප්‍රහාර එල්ලකරමින් සිටියද, ලෝක කන්ටේනර් ප්‍රවාහනයෙන් සියයට 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් රතු මුහුදේ බැබ් අල්-මන්ඩැබ් හරහා ගමන් කරන බව අමතක නොකළ යුතුය.
දැන් නැවතත් ට්‍රම්ප් දෙසට හැරිය යුතුය. වාර්තාවලට අනුව සෞදි අරාබිය සැබැවින්ම අපේක්ෂා කරන්නේ මේ සඳහා ඇමෙරිකාවේ සෘජු හමුදාමය මැදිහත්වීමකි. එහෙත් ජනාධිපති ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කර ඇත. ට්‍රම්ප්ගේ මෙම අකමැත්තට හේතු කිහිපයක් තිබිය හැකිය. ධවල මන්දිරය සහ පෙන්ටගනය මෙම ගැටලුව සුළු කොට තැකුවද, මෙතෙක් පැවැති යුද්ධය ඇමෙරිකානු හමුදාවලට දැඩි බලපෑම් එල්ල කර තිබේ. පෙන්ටගනයේ පරීක්ෂක ජනරාල්වරයාට අනුව ඇතැම් සංකීර්ණ මිසයිල නාශක පද්ධතිවල හිඟයක්ද මතුව ඇත. මැද පෙරදිග කලාපයේ රඳවා සිටින ඇමෙරිකානු නාවික හමුදා නෞකාවලට හදිසි නඩත්තු කටයුතු අවශ්‍ය වී තිබේ. මීට හේතුව යුද්ධයේ මුල් දිනවල, එනම් මාර්තුවේ බහරේනයේ පිහිටි පස්වැනි නාවික බලඇණියේ මූලස්ථානය ඇතුළු කලාපයේ ඇමෙරිකානු හමුදා කඳවුරුවලට දැඩි හානි සිදු වීමයි.
2025 මැයි මාසයේදී ඕමානයේ මැදිහත්වීමෙන් හූතිවරුන් සමඟ ඇති කරගත් ඇමෙරිකානු සටන් විරාමය බිදැමීමට ට්‍රම්ප් අකමැති බව පෙනෙන්නට තිබේ. අනෙක් අතට ඔහු ඉරාන යුද්ධයේ නව පෙරමුණක් විවෘත කිරීමට අකමැති විය හැකිය. යුද්ධය අවසන් වීමට ආසන්න බවට වන ඔහුගේ මතයට එවැන්නකින් සිදුවන්නේ දැඩි හානියකි. එසේම නොවැම්බරයේ මධ්‍යවාර මැතිවරණයට මුහුණදීමට ද ට්‍රම්ප්ට සිදු වේ. මේ අස්සේ යුද්ධය අමතක කරවීම ට්‍රම්ප්ගේ උපායමාර්ගයයි.
කෙසේ වෙතත් සෞදියට සහාය අවශ්‍යම මොහොතේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෝකයට කියන්නේ තමන් මිතුරාට උදව් නොකරන බවයි. ඒ වෙනුවට ට්‍රම්ප් එම මිතුරාගේ සතුරා සමඟ කතා කරමින් සිටී.
මෙය මොහොමඩ් බින් සල්මාන් කුමරු දැඩි අර්බුදයකට ඇද දමා තිබේ. පසුගිය දශකයකට ආසන්න කාලය තුළ සල්මාන් කුමරුගේ දැඩි අවධානය යොමු වූයේ අභ්‍යන්තර සංවර්ධනය වෙත ය. සෞදි සමාජය පරිවර්තනීය වෙනසකට ලකකිරීම, එහි ආර්ථිකය විවිධාංගීකරණය කිරීම සහ කාන්තාවන්ට අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා විශාල ලෙස ආයෝජන සිදුකෙරිණි.
2019 ප්‍රහාරවලින් පසු, සෞදිය ඇමෙරිකානු හැසිරීම ගැන යම් කනගාටුවක සිටියද, ඔවුහු තවදුරටත් මිතුරා විශ්වාස කළහ. දෙරට අතර නව ආරක්ෂක ගිවිසුම් ඇති වූයේ ඒ අනුව ය. 2025 නොවැම්බර් මාසයේදී සල්මාන් කුමරුගේ ඇමෙරිකානු සංචාරය මේ පිළිබඳ අලුත් අපේක්ෂා දැල්වීය.
ඇමෙරිකාව විසින් සෞදි අරාබිය නේටෝ නොවන ප්‍රධාන මිත්‍රයකු ලෙස නම් කළ අතර, F-35 ප්‍රහාරක ජෙට් යානා ගනුදෙනුවකට ද එකඟ විය. එහිදී නව උපායමාර්ගික ආරක්ෂක ගිවිසුමකට ද අත්සන් තැබීය. එහෙත්, වසරකටත් අඩු කාලයකදී සියල්ල ඇමෙරිකාවේ තමන්ගේ පවැත්ම සංකල්පයට යට වී ඇති බව සල්මාන් තේරුම් ගෙන ඇත. මේ නිසා සෞදිය වෙනත් ආදේශක සොයායමින් සිටී. ඊට උදාහරණයකි, පාකිස්තානය සහ තුර්කිය සමග සෞදිය එක්ව මෑතකදී ඇති කරගත් මෙකා ගිවිසුම. සල්මාන් දැන් කියනවා ඇත්තේ ට්‍රම්ප් තමයි ට්‍රම්ප් යනුවෙන් විය හැකිය.
