වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ විමර්ශනවලදී අනාවරණය වූ එම ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන වාහන 03ක් තවත් අපරාධ ගණනාවක් සඳහා යොදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ශිරන්ති රාජපක්ෂගේ සහ යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂාවට මේ ඩබල් කැබ් රථ 03 ලබාදී ඇත. WP PD 79…., WP PD 80…., WP GB 05…. අංක සහිත මේ ඩබල් කැබ් රථ 03 වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සමග සෘජුවම සම්බන්ධ බවට විමර්ශන අංශ මීට පෙර තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.
මේ වාහන 03ට අදාළ ධාවන සටහන් නොමැති වීම, තිබෙන ධාවන සටහන් විධිමත් නොවීම ඇතුළු ගැටලු රැසක් ද විය. මේ වාහන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඒවා වෙනත් අපරාධ සඳහා ද යොදාගෙන ඇති බවත්, පාර්ශ්ව ගණනාවක් ඒවා භාවිත කර ඇති බවත් ය.
මේ අතර වසීම් තාජුඩීන් ඝාතනය වූ 2012 මැයි 16 දින රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වූ WP LV 05…., WP PD 13….., WP KA 98….., WP KD 01….., WP PA 72….. අංක සහිත වාහන සම්බන්ධයෙන් ද විමර්ශන අංශ දීර්ඝ විමර්ශනයක් පවත්වා ඇති අතර, මේ වාහනවල ධාවන සටහන්වල ද බරපතළ ගැටලු ඇති බව හඳුනාගෙන තිබේ.
