සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය අතරේ අත්සන් කරපු ‘මැකා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම’

6

අන්සාර් අල්ලා හුතී සංවිධානය නැවත වතාවක් සෞදි අරාබියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් එක්කම, සෞදි ආන්ඩුව දැන් මේ ප්‍රශ්නය තනියම විසඳන්න බැරි බව තේරුම් අරගෙන තියනවා. ඒ නිසාම පහුගිය අගෝස්තු මාසයේ ඇතිකරගත්ත ගිවිසුම ප්‍රකාරව තුර්කිය සහ පාකිස්ථානයට, සෞදි අරාබියේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වෙන්න කියලා ඉල්ලීමක් කරලා තියනවා.

මේ ඉල්ලීම පිළිගත්ත පාකිස්ථානයේ සහ තුර්කියේ යුද හමුදා ප්‍රධානීන් ඉදිරි දිනවලදී සෞදි අරාබියේ රියාද් නගරයට ගිහින් ඉදිරි පියවර සාකච්ඡා කරන්න නියමිත වෙනවා. පහුගිය දවස් කිහිපය පුරාම අන්සාර් අල්ලා හුතී සංවිධානය සෞදි අරාබියේ තායිෆ් සහ යන්බු නගරවල වැදගත් ස්ථාන ඉලක්ක කරගෙන මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර එල්ලකලා.

සෞදිය මේ ප්‍රහාරවලින් පස්සේ මූලිකවම චෝදනා කළේ ඉරානයට. මොකද ඉරානය දිගින් දිගටම හුතී සංවිධානයට සහය ලබාදීම නිසා අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වෙමින් තියනවා කියලා. හැබැයි මෙතනදි සෞදිය අමතක කරන කාරණය තමයි වසර ගණනාවක් තිබුණු සෞදි-හුතී සටන් විරාමය පහුගිය මාසයේ ඉවරවුනේ කොහොමද කියන එක.

ඉරානයේ හිටපු ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කොමේනිගේ අවසන් කටයුතුවලට සහභාගිවෙලා නැවත වතාවක් යේමනයේ හුතී සංවිධානයේ පාලනයේ පවතින සනා නගරයට පැමිණෙමින් හිටිද්දි යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්ත ආන්ඩුවට අයත් හමුදා විසින් අදාල ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරනවා. මේ සිද්ධිය වුණු ගමන්ම බුද්ධි තොරතුරුවලින් කරුණු අනාවරණය කරගත්ත අන්සාර් අල්ලා හුතී සංවිධානය මේ ප්‍රහාරය සම්බන්ධ චෝදනාව එල්ලකලේ සෞදි අරාබිය පැත්තට. මේක තමයි මූලික වශයෙන්ම ගැටුම් ආයෙත් පටන්ගන්න හේතුවුණු ආසන්නම සිදුවීම.
ඒ නිසා සෞදියට මේ සිදුවීම අතහැරලා ප්‍රශ්නය ගැන කතා කරන්න බෑ. ඉරානය අන්සාර් අල්ලා හුතී සංවිධානයට ආධාර උපකාර කරනවා වගේම, සෞදිය යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්ත ආන්ඩුවට උදව් උපකාර කරනවා. ඒ මූලිකවම හුතී සංවිධානය පාලනය කරන අරමුණෙන්. මොකද හුතී සංවිධානයේ තියන යුද ශක්තිය සහ පිරිස් බලය එක්ක රතු මුහුදේ පාලනය සම්බන්ධයෙන් සෞදියට ගැටළුවක් තියනවා.

කොහොමවුනත් සෞදියට එරෙහිව හුතී සංවිධානය ප්‍රහාර එල්ල කරද්දි, පහුගිය අගෝස්තු 7 වෙනිදා සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය අතරේ අත්සන් කරපු ‘මැකා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම’ අනුව මේ ගිවිසුමට බැඳිලා ඉන්න රටක ආරක්ෂාවට තර්ජනයක් තියන වෙලාවට අනෙත් රටවල් ඒකාබද්ධව අදාල රටේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් විය යුතුයි. කොහොමහරි ගිවිසුම අත්සන් කරලා මාසයක් ගතවෙද්දිම ගිවිසුම ක්‍රියාත්මක කරන්න සිද්ධවෙලා තියනවා.

මේ විදිහට ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමකින් ඉස්ලාම් රටවල් තුනක් ඒකාබද්ධවීම ජාත්‍යන්තර මාධ්‍ය හඳුන්වන්නේ ‘මැද පෙරදිග නේටෝව’ කියලා. ඒ කියන්නේ මේ ගිවිසුම තවත් විශාල කරලා, ගිවිසුමෙන් බැඳෙන රටවල් ගණන වැඩි කරලා අදාල රටවල්වල ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මකවෙන පොදු ව්‍යූහයක් නැත්නම්, පොදු ආරක්ෂක බලයක් නිර්මාණය කිරීමේ වුවමනාව පෙනෙන්න තියනවා.

මේකේ එක අරමුණක් වෙන්නේ කලාපීයව වර්ධනය වන ත්‍රස්ත සංවිධානවලට ඒකාබද්ධව මුහුණදීම සඳහා පොදු බලවේගයක් නිර්මාණය කරන එක. අනිත් එක තමයි මැද පෙරදිග රටවල් ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි විදිහට අමෙරිකා එක්සත් ජනපදය මතම යැපෙන්න වීම වළක්වාගන්න එක.

මේ විදිහට තුර්කිය සහ පාකිස්ථානය එකතුවෙලා සෞදියේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න සූදානම් වෙන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51වන වගන්තියේ ඇති ‘ස්වකීය රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කිරීම’ යටතේ ක්‍රියාත්මක වෙන්නයි. ඒ නිසා මැද පෙරදිග නේටෝම මුලින්ම හුතී සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වෙන්න සූදානම් වෙනවා.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර