අද ලසන්තගෙ බයිග්‍රොපි එකේ සිංහල පරිවර්තනය එළිදක්වන දවස

5

පළමු කතාව

2005 ඉරුදින පත්තරේ වැඩට ගිහින් ප්‍රෙබේෂන් පීරියඩ් එක එහෙම ඉවරවෙලා සේවය ස්ථිර කරන්න යද්දි පුංචි ඉන්ටර්විව් එකකට මුහුණ දෙන්න වුණා. එවකට ඉරුදිනේ විශේෂාංග කර්තෘ මාර්ක් ඉන්දික සමරසේකර යටතේ තමයි මම වැඩ කෙරුවෙ. මාර්ක් අයිය කිව්ව නියමිත දිනේට තියෙන සහතික එහෙම අරගෙන කියපු වෙලාවට ඉන්ටර්විව් එකට එන්න කියල. මමත් ඉතිං තියෙන සහතික අඩුම කුඩුම ඔක්කොම ෆයිල් එකක දාගෙන අත් දිගට දාල කමිසෙ එහෙම නීට් එකට යට කරල කියපු වෙලාවට එදා ඔෆිස් එකට ගියා.

එතකොට ඉරුදින පත්තර කන්තෝරුව තිබුණෙ බොරැල්ලෙ වෝඩ් ප්ලේස් එකේ.මාර්ක් අයිය එක්ක මම ⁣දීපු වෙලාවට ඉන්ටර්විව් එකට ගියා. එතකොට තමයි මම දැනගත්තෙ මාව ඉන්ටර්විව් කරන්නෙ කවුද කියල. ඒ වෙන කවුරුවත් නෙවෙයි ලසන්ත වික්‍රමතුංග. මම ගෙනියපු සහතික ෆයිල් එක ලසන්ත වික්‍රමතුංග ඉස්සරහින් තිව්ව. ඒක දිහාවත් නොබල ෆයිල් එක අතින් ඈත් කරපු ලසන්ත පළවෙනි ප්‍රශ්නය ඇහුව.

“ඉරුදින පත්තරේ ගැන ඔයාට තියෙන අදහස කොයි වගේද…”
ඒ ගැන මහ ලොකු අදහසක් මට ඒ වෙනකොට තිබුණෙ නැතත් ඒ ටික දවස ඇතුලත ඉරුදින ගැන මගේ ඔළුවෙ ඇඳිල තිබුණු චිත්‍රය විස්තර කෙරුව.ලසන්ත දෙවෙනි ප්‍රශ්නයට ගියා.
“අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් කියල හිතනවද…”
“ඔව්…”
මට ඒ ප්‍රශ්නයට නම් හිත හිත ඉන්න දෙයක් තිබුණෙ නෑ.
“එහෙනං දිගටම අපි එක්ක වැඩ කරමු….”
ඉන්ටර්විව් එක ප්‍රශ්න දෙකකට සීමා වුණා.මම ඉරුදනේ ස්ථිර සේවකයෙක් වුණා.

දෙවැනි කතාව

දවස 2009 ජනවාරි 8 වෙනිද.ඒ දවස්වල මම නැවතිල හිටියෙ දෙල්කඳ හංදියෙ බෝඩිමක.එතකොට රත්මලානෙ කටුකුරුඳුවත්ත පාරෙ තිබුණු ඉරුදින කන්තෝරුවට මම ගියෙ ගම්සභා හංදියට ඇවිත් එතනින් 117 නුගේගොඩ රත්මලාන බස් එකේ නැගල බේකරිය හංදියෙන් බැහැල.එදා බ්‍රහස්පතින්දාවක් වෙච්ච හින්දා සුපුරුදු පරිදි සතියෙ වෙන දවස්වලට වඩා කලින් ඔෆිස් ගියා.117 බස් එක අත්තිඩිය හරියට කිට්ටු කරද්දී දඩ ට්‍රැෆික් එකක්.පාරෙ වෙනද නැති කලබලකාරී ගතිය නිසාම ට්‍රැෆික් එකේ හිරවුණු බස් එකෙන් කට්ටිය බැහැල සීන් එක මොකද්ද කියල විපරම් කෙරුව.මමත් ඉස්සරහට ඇවිදන් ගියා.
බෙල්ලන්විල පැත්තට යන ත්‍රීවීලර් එකක අන්කල් කෙනෙක් කියාගෙන ගියෙ ඉස්කෝලෙ ළග කාටද වෙඩි තියල දාලා කියල.ඒක ඇහුව විතරයි එතන ඉදපු සේරම පිම්මෙ දිව්වෙ සිද්ධිය වෙච්ච තැනට.එතෙන්ට කිට්ටු කරද්දි කඩයක් අයිනෙ ඉදපු කෙනෙක් කිව්වෙ පත්තරේ මහත්තයෙකුට කාර් එකක් ඇතුලෙ වෙඩි තියල කියල.සෙනඟ පීරගෙන ඉස්සරහට රිංගපු මට ඒ කාර් එක අඳුනගන්න ඒ හැටි වෙලාවක් ගියෙ නෑ.තවත් කිට්ටුවට ගිහින් බලද්දී දැකපු දෙයින් කකුල් දෙක ගැහෙන්න ගත්ත.ලසන්ත ඩ්‍රයිවින් සීට් එකේම ⁣ලේ පෙරාගෙන වැටිල.ජීවිතේ ගල් ගැහුණු මොහොතන් ඒක.ටික වෙලාවකින් වෙන වාහනේක දාගත්ත ලසන්ත කළු⁣බෝවිල ගෙනිච්ච.ඒ එක්කම ආපු ඉරුදිනේ වෑන් එකකට ගොඩවෙලා අපිත් විදලා ගියේ කළුබෝවිලට. එතන ඉදල හැන්දෑවෙ ඩොක්ටර් අනිල් ජාසිංහ ඇවිත් ලසන්ත බේරගන්න බැරිවුණා කියල කියනකම් අපි කළුබෝවිල හොස්පිට්ල් එකේ ගත කරපු කාලය මගේ ජීවිතේ ගෙවපු අසීරුම පැය කීපයක්.

බේරුමක් නැතිවුණෙ විස්තර අහල එන ටෙලිෆෝන් කෝල්වලින්.හැම ඇමතුමක් අවසානයේම ” ඔයාලත් පරිස්සමෙන් ඉන්න…” කියන අවවාදය තමයි. සමහරු නැති මරණ බියක් ඔළුවට දැම්ම. ඒ අතරෙ තාත්තගෙන් ආපු කෝල් එකට මරණ බියට වඩා රැකියා බිය ඇති වුණා. තාත්තා කිව්වෙ “ඔන්න ඔය මඟුල අතැඇරල දාල ගෙදර වරෙං…” කියල.

නන්නත්තාර හැගීමකින් තමයි අපි ඔක්කොම ආපහු රත්මලාන ඔෆිස් එකට ආවෙ.සන්ඩේ ලීඩර් පත්තරේ කට්ටියයි ඉරුදින පත්තරේ කට්ටියයි එකතුවෙලා සාකච්ඡා කෙරුවෙ මොකද්ද දැන් කරන්නෙ කියල.ලසන්ත නැති සන්ඩේ ලීඩර් පත්තරයක් හරි ඉරුදින පත්තරයක් ගැන හරි අපි කාටවත් අදහසක් තිබුණෙ නෑ. ඒත් අන්තිමට තීරණයකට ආවා ලසන්ත වෙනුවෙන් පත්තර දෙකම නොනවත්වා කරමු කියල.එක රැයකින් ඊළග ඉරිදා පත්තරේට අපි සූදානම් වුණා. කට්ටිය වැඩ ටික බෙදාගෙන කඩියො වගේ වැඩ කෙරුව. සිකුරාදා වෙනකොට පත්තරේ ගැහුව.
මම ලසන්තව ළගට දැකපු පළවෙනි වතාව තමයි එයා මාව ඉන්ටර්විව් කරපු දවස.එදා ලසන්ත මං එක්ක හිනාවෙලා කතා කෙරුව.මම ලසන්තව ළගට දැකපු අන්තිම වතාව තමයි 2009 ජනවාරි 8 වෙනිද අත්තිඩිය හංදියෙ කාර් එක ඇතුළෙ .එදා ලසන්ත කතා කෙරුවෙවත් හිනා වුණේවත් නෑ.

තුන්වෙනි කතාව

අද ලසන්තගෙ බයිග්‍රොපි එකේ සිංහල පරිවර්තනය එළිදක්වන දවස.

ප්‍රියන්ත කොඩිප්පිලි

2026/09/25