“ඒකි හඳ එළියට හිනාවුණා” කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට සඳඑළියක්

7

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

“ඒකි හඳ එළියට හිනාවුණා” කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට සඳඑළියකි.

ඒකි හඳ එළියට හිනාවුණා – කෙටි කතා එකතුව ලයනල් වික්‍රමආරච්චි නම් වෘත්තිය වෛද්‍යවරයා තුළ දක්ෂ කෙටිකතා කරුවකු කාලයක් පුරා වැඩෙමින් සිටි බව සනාථ කරන රසායනාගාර වාර්ථාවක් වැනිය. (රසායනාගාර වාර්ථාවක් යන යෙදුම මා ගන්නේ ඉතා සාධනීය අර්ථයෙනි) කෙනෙකුගේ ශරිර සුවතාව වටහාගන්නට රසායනාගාර වාර්ථව ඉතා වැදගත් ය. කලාකරුවා නිරන්තරයෙන් නිරීක්ෂනය කරයි, තෝරාගනියි, අනුමාන කරයි සංයෝග කරයි යනුවෙන් ඇන්ටන් චෙකෝව් පවසා ඇතිබව, මම මහචාර්ය සරත් විජේසූරිය විසින් රචිත “කතා රසය” තුළින් කියවා ඇත්තෙමි. ලයනල් වික්‍රමආරච්චිගේ කෙටි කතා සංග්‍රහය කියවීමේදි ඔහු විසින් කර ඇත්තේ ද සිය ජීවිත අත් දැකීම් නිරීක්ෂණය කර, අවැසි අත්දැකීම් තෝරාගෙන – සංයෝගකර අපූර්ව නිර්මාණයක් බිහි කිරීම බව සාක්ෂාත් වෙයි.

වික්‍රමආරච්චිගේ ගේ කෙටිකතා සංග්‍රහයෙන් කුළු ගන්වන සමාජ යතාර්ථයකි, එනම් දේශපාලකයන්ගේ අසමත් බව, පරිපාළනයේ අවිධිමත් බව නිළධාරින්ගේ අකාර්‍යක්ශමතාව හේතුකරගෙන සාමාන්‍ය ජනතාව කම්මලේ තැලෙන යකඩ බවට පත් වී අප්‍රමාණ ලෙස පීඩාවට පත් සිටීම හා සමාන්‍ය ජනතාව එම පීඩාව සාමාන්‍ය දිවි පැවැත්මේ කොටසක් ලෙස පිළිගැනීමට පෙළඹී තිබෙන බවය. ආගමික සංස්ථා සහ පවතින සමාජ සංස්කෘතික වටපිටාව පවා උක්ත ක්‍රමය පවත්වාගෙන යාමට උඩගෙඩි දෙන අතර සාහිත්‍යකරුවකු ලෙස එකී ක්‍රමය වෙනස්කිරීමට කතුවරයා තුළ ස්වයං ඇති පෙළඹවීමකින් (දෘෂ්ටිවාදයකින්) කතුවරයා සවිමත් ය. එකී දෘෂ්ටිවාදය රසිකයා වෙත සිය නිර්මාණ හරහා වක්‍රව ප්‍රේෂණය කරන ආකාරය අපගේ පැසසීමට ලක්වන බව පැවසිය යුතුය. වැදගත්ම කාරණය වන්නේ රචකයා අන්තගාමි නො වී කලාත්මකව, හීන් නූලෙන් එම කාර්ය ඉටු කිරිමට තරම් සියුම් දක්ෂතා පෙන්වීමයි.
අපි කෙටි කතා සංග්‍රහයෙන් කෙටි කතා දෙකක් පමණක් තෝරාගෙන ගෙන කෙටි විමසීමක් කරමු.

භාරකරු නම් කෙටිකතාව – භාරකරු නම් කෙටිකතාව – මෙම කෙටි කතාවට අනුව එක්තරා දුෂ්කර රෝහලක නේවාසික රෝගියෙක් මිය ගොස් ඇත. එම මරණය බාර ගැනීමට රෝගියාගේ භාරකරුවෙක් නොපැමිණේ. රෝගියා රෝහලට ඇතුලුකරන අවස්ථාවේ, භාරකරු ලෙස සිය බිරිඳගේ නම ලිපිනය ලබා දී ඇති නමුත් ඉන් එහා විස්තරයක් රෝහල සතුව නැත. රාජකාරි බාර වෛද්‍යවරයා එම රෝගියාගේ භාරකරු සොයා වෙහෙසෙයි.
මෙහි කතානායකයා වෛදයවරයෙකි. ඔහු රාත්‍රී සේවා මුරය වෙනුවෙන් රෝහලට පැමිණෙන විට එතෙක් සේවයේ වගකීම් දැරූ වෛදයවරිය සේවා මුරය අවසන්කර යමින් සිටියදි වාහනංගනයේදි මුණ ගැසෙයි. “තුනේ වාට්ටුවේ ඩෙත් එකක් තිබුණා අයියා වෙන මොනවත් විශේෂ දෙයක් නෑ” කියමින් පිටව යයි. රෝහලක සාමාන්‍යාකාරයෙන් සිදුවන මරණයක් බොහො විට වෛදවරුන්ට තිගැස්මක් නොගෙනනෙ බව වෛද්‍යවරියගේ ප්‍රකාශය සාධාරණියකරණය කරමින් කථක වෛද්‍යවරයා පවසන්නේය. එහෙත් වෛදයවරයා සමඟ රෝහල තුළට ගමන් කර රාජකාරී කරන්නට ගත් විටය රසිකයාට වැටහෙන්නේ එම ප්‍රකාශය එතරම් ම සත්‍ය ප්‍රකාශයක් නොවන වග. මරණය – සයිමන් පෙරේරා නම් මිනිසෙකුගේය. ඔහු මාස ගණනාවක් රෝහලෙන් ප්‍රතිකාර ගත් වයස්ගත රෝගියෙකි – කොටින් ම ඔහු රෝහලේ “ඉන්වෙන්ටරි අයිටම්” එකක් බව රොහල් කාර්‍ය මණ්ඩලය අතර විහිලු කතාවක් ද ඇත. දැන් මේ නැතිවී ඇත්තේ ඒ කී ඉන්වෙන්ටරි අයිටම් එකය. රෝහලේ ඉන්වෙන්ටරියේ ඇතුළත් යන්ත්‍රයක් ඇඳක් ට්‍රොලියක් මේසයක් රෝද පුටුවක් වැනි දෙයක් නොව නැතිවී ඇත්තේ ලේ ඇට මස් නහර සහිතව හුස්මගත් මනුස්සයෙකි. එහෙත් ඒ මනුස්සයාගේ ඉරණම කුමක් ද? රෝහලේ මෝචරිය වල් බිහි වී ඇත. සයිමන් පෙරේරාව මෝචරියට දැමීමට නොහැක. – කතාව මුලදී රෝහල ඉදිරිපිට මල් ශාලාවක් ඇති බව පැවසිනි. පසුව අප දැන ගත් පරිදි රෝහලේ මෝචරියක් නැත. මේ කාරණා දෙක අතර පැවතිය හැකි සම්බන්ධය ගැන රසිකයාට දැන් සැක නැත. මරණය ගෙන යාමට කෙනෙක් එනතුරු සයිමන් පෙරේරා නම් “ඉන්වෙන්ටරි අයිටම් එක” වාට්ටුවක අගුවේ ට්‍රොලියක තබා ඇත. ‍රෝහලෙ මරණ ගැන වෛද්‍යවරුන්ට එතරම් ගාණක් නැතැයි කී කථක වෛදයවරයා සයිමන් සිල්වා සීයාගේ මරණය නිසා සිය චිත්තාභ්‍යතරයේ සිදුකරන හුදකලා සටන රසිකයා වෙත ක්‍රමයෙන් දිග හැරේ. ඔහු වාට්ටුවට යන විට කලබලයෙන් මෙන් සීයා මල්ලට ඔබා ගන්නා දිනපොතක් දැක ඇත. වෛදයවරයා දිනපොත ගෙන්වාගෙන කියවන්නට වෙයි. දිනපොත හරහා ඒ සමඟම සයිමන් පෙරේරාගේ ජීවිත තොරතොරු රසිකයා ද දැන ගනීයි.

කෙටි කතාවේ සිද්ධි අතර අවස්ථා සම්බන්ධය රැක ගැනීමට, කතුවරයා යොදන මෙම උපක්‍රමය ඉතාමත් ම උචිතය. දින පොත සයිමන් පෙරේරාගේ අතීතය හා වර්තමානය රසිකයා හමුවේ හෙළි කරමින් මෙතෙක් රසිකයා පෙළු කුතුහලය වෙනුවට සානුකම්පාවක් උපදවන්නට සමත් වෙයි.
ඒ අතරේ රෝහලට වරින් වර පැමිණෙන රෝගීන් මුහුණ පාන සිද්ධින් නිසා, රෝහල් පද්ධතියේ අඩු පාඩු ද අක්‍රමිකතා ද අකාරක්ශමතාව ද කථකයාගෙ සමාජ දෘෂ්ටියද රසිකයා වටහා ගනී. එක් අවස්ථාවක දී, වාට්ටුවේ රූපවාහිනි තිරය මත “රටට මහත් විනාශයක් කළ” රූපවාහිනි චැනලයක ප්‍රවෘත්ති විකාශනය නවතා සමබර නාලිකාවකට මාරු කරන්නයැ යි විධානය කරන්නේ, වැරදි ප්‍රචාර මගින් සමාජය රෝගී වන බවත් කායික රෝග වලට පමණක් ප්‍රතිකාර කිරීමෙන් පමණක් කිසිදු සමාජයක් සුවපත් නොවන බව පිදෙල් කැස්ත්‍රෝ සහෝදරයා පවා විශ්වාස කළ බව ඔහු දන්නා බව පවසමිනි. සහෝදරයා යන යෙදුම ද කථකයාගේ දේශපාලන නැඹුරුව අපට කියාපාන්නකි. (විදර්ශන කන්නංගර සමඟ මෑතකදී සිදු කළ යු ටියුබ් සංවාදයේ දි ලියනගේ අමරකීර්ති මහචාර්‍යතුමා ද මේ ඊනියා පෞද්ගලික රූපවාහිනි නාලිකා පොදු සමජය මත සිදු කරන විනාශය පිළිබඳ අදහස් පලකළේය)
මෙම කෙටි කතාව තුළින් රසික සිත තුළ ප්‍රබල කම්පනයක් – සසල වීමක් ඇති කරන්නටත් සමාජය පිළිබඳව අලුතින් හිතන්නට රසිකයා පෙළඹවීමටත් කතුවර ලයනල් සමත් වෙයි. සැබෑ කලාකරුවකුගේ සමාජ වගවීම එය බව අපගේ ද අදහසකි.

කතාව අවසන් වන්නේ මෙසේය. ” සයිමන් පෙරේරා තාමත් නිසොල්මන්ව ට්‍රෝලිය මත වැතිර හිඳී. වසා ඇති රෙදි පට මෑත් කර මා සයිමන් පෙරේරාගේ මුහුණ දෙස බැලීමි. මේ සමාජය ඔහුට කළ මහා අසාධාරණය කෑ ගසා කියාවිදෝ’යි බියෙන් මෙන් ඔහුගේ මුව ඇරෙන්නට නොදී රෙදි පටයකින් තදින් බැඳ තබා ඇත.”

මෙම කෙටිකතා එකතුවේ ඇතුළත් “ගුණවති” නම් කෙටි කතාව පිළිබඳව ද යමක් සටහන් කරන්නට අවසර,
ගුණවති, නූතන පටාචාරවක් වැනිය. ඇගේ කුඩා දරුවා වන අලි ප්‍රහාරයකට ගොඳුරු වී මිය යන අතර, ගැමියන් පවසන්නේ, ගුණවතිගෙ සැමියාගේ නො සැළකිල්ල නිසා දරුවා අලි ප්‍රහාරයට ගොඳුරු වූ බවකි. ගමේ මිනිසුන්ගේ පදනම් විරහිත අපවාද විසින් දැඩි මානසික පීඩාවකට පත් කරන ලද ඇගේ සැමියා ද ගෙල වැල ලාගෙන මරණය වැළඳ ගන්නේය. ගුණවති ඒ සියළු වියෝවීම් දරාගෙන ජීව්තයට මුහුණ දෙන්නීය. සාත්තු කම්කරුවෙකු ලෙස බැඳුන රාජ්‍ය සේවයෙන් ඉසිඹු ලබන්නේ සාත්තු සේවිකාවක ලෙසය.

ගුණවති දෙස දේශපාලනික කෝණයකින් බලන්නේ නම්, එය හුදෙක් සමාජ සත්තා යතාර්තවාදයට නෑකම් කියන නිර්මාණයක් බව පැවසීමට කැමතිය. සමාජ සත්තා යතාර්ථවාදයෙන් මතු කරන “වැඩ කරන ජනතාවගේ සැබෑ ප්‍රශ්න” රසික ඇසට ඇඟිල්ලෙන් අනිමින් පෙන්වන්නේ, කථකයා විසිනි. මේ සැබෑ ප්‍රශ්න මොනවා ද? මහවැලි ජනාවාස පිහිටුවීමේදි පරිසර අධ්‍යනයකින් හැදෑරීමකින් හෝ විද්‍යාත්මක ක්‍රම වේදයකින් තොරව අනුගමනය කළ අක්‍රමවත් විධික්‍රමය, නිළධාරින්ගේ සහ දේශපාලකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉටු කරනු ව්‍යාපෘති, වන සංහාර නිසා මතු වූ වන අලි මිනිස් ගැටුම, ඒ නිසා මිනිසුන්ට සිදුවන ජීවත හානි, දේපල හානි පරිසර හානි වකුගඩු රෝග වැනි සෞඛ්‍ය ගැටලු මේ ආදී ලෙස ඉකින් එකට බැඳි ප්‍රශ්නාවලියක් ගුණවතිලගේ ජීව්තවල ඉරණම තීරණය කරන තැනට පත්වී ඇත.

මේ සියල්ලට ම පිළිතුර ද කථකයා සිය මනෝ රාජික වැඩ පිළිවෙල මගින් යෝජනා කර සිටියි. ප්‍රචාරවාදී නොවී ප්‍රබන්ධයකට මුවා වී සිය කාර්‍යය ඉටු කරනට ලයනල් වික්‍රමආරච්චි සමත් වී සිටින බවද සඳහන් කළ යුතුය.

එහෙත් සාමාන්‍ය ජනතාව මේ කිසිවක් තේරුම් ගන්නේ නැත. ඔවුන්ගේ ප්‍රශ්නය වන්නේ එදිනෙදා ජීවිතය රැක ගැනිමය. කථකයා ගුණවති සොයා යන ගමනේදි හමුවන ගැමියා අසන්නේ “වකුගඩු ලෙඩේට තවම බෙහෙතක් නැද්ද? යන්නයි” වකුගඩු රෝගය මේ ව්‍යවසනයේ එක් අතුරු ඵළයක් පමණක් බව දුප්පත් ගැමියා නොදන්නේය.

නිර්මාණකරුවගේ කාර්‍යය, ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඉදිරිපත් වීම නොව, ප්‍රශ්නය පෙන්වීම පමණක් බව, ලයනල් වික්‍රමආරච්චි අනුයන මග බව මෙම කෙටි කතාවෙන් ද පැහැදිලි වෙයි. එමගින්, වික්‍රමආරච්චි කෙටිකතාකරණයේ යෙදෙන්නේ තමා සතුව හිස් කොල සහ පෑන් පැන්සල් තිබෙන පලියට නොව, ඒ කලාව පිළිබඳව යම් දැනුවත් භාවයකින් බව කියවන්නාට ගම්‍ය වෙයි. ඒ පිළිබඳව අපගේ ද ගෞරවය එතුමාට පලකළ යුතුය.
කෙටි කතා කලාවේ දිගු ගමනක් යන්නට , ලයනල් වික්‍රමආරච්චි ලේඛකයාට සුබ ප්‍රාර්ථනා කරමි.

නිරෝෂ ප්‍රනාන්දු