චේත්‍යා විදානපතිරණ යනු නූතන සිංහල කවිය තුළ තමාටම අනන්‍ය වූ සියුම් සහ සංවේදී හඬක් මතු කරගන්නා කිවිඳියකි. ඇයගේ කවි සියුම්ව නිරීක්ෂණය කරන කෙනෙකුට එහි ඇති විශේෂතා කිහිපයක් හඳුනාගත හැකි වේ. මූලික ලෙස කවියේ ප්‍රකාශන ආත්මය වන භාෂා භාවිතයේ දී ඇය හසුරුවන අතිශය සරල එහෙත් ගැඹුරු අරුත් දනවන භාෂා විලාසයයි. අනවශ්‍ය ශබ්දාලංකාර පසුපස නොගොස්, එදිනෙදා ජීවිතයේ වචනවලට නව්‍ය අරුතක් දීමට ඇය සමත්ය. විශේෂයෙන්ම ස්වභාවධර්මයේ වස්තූන් සහ මානව හැඟීම් එකිනෙක මුසු කරමින් ඇය ගොඩනගන රූපක ඉතා ප්‍රබල වේ.
එසේම චේත්‍යාගේ කවි තුළින් බොහෝ විට ස්ත්‍රී අනන්‍යතාවය, මාතෘත්වය සහ ගැහැනියකගේ ආත්මීය නිදහස පිළිබඳ සංවාදයක් ගොඩනැගේ. සම්ප්‍රදායික රාමුවල සිර නොවී, ගැහැනියකගේ සියුම් වේදනාවන් සහ ඇය ලෝකය දකින ආකාරය ඇය ඉතා මානුෂීය ලෙස ඉදිරිපත් කරයි. ඇය දිගු වර්ණනාවලට වඩා කෙටි, තියුණු පද පේළි භාවිතයට වැඩි රුචිකත්වයක් දක්වයි. පාඨකයාට සිතීමට ඉඩක් ඉතිරි කරමින්, නිහඬතාවය පවා කවියක් ලෙස හැඟවීමට ඇය දක්වන කුසලතාවය විශේෂය.
ඇගේ නවතම කාව්‍ය එකතුව වන ʺඋල්පතක් රැගෙන ඇවිදිනා මගියʺ කෘතියේ යොදා ඇති නමින්ම ඈ තුල හුස්ම ගන්නා මානවවාදී හැඟීම් කොතරම් බරපතලදැයි හැඟේ. ඇය ප්‍රේමය පවා දකින්නේ මානවීය පසුබිමකින් ව්‍යුත්පන්න දෙයක් ලෙසිනි.
යස ඉසුරු මහ මැදුරු නැති තැන
මුවාවෙන්නට ගසක් නැති විට
උනුන් වෙනුවෙන් සුළං අව් වැසි
දරාගන්නා හැඟුම – ප්‍රේමය
ʺනිහඬ මිනිහෙක්ʺ කවිය ආත්මීය හුදකලාවක වෙසෙන සංවේදී මිනිසෙකු ගැන ලියැවුණු අපූරු නිර්මාණයකි. සංවේදී මිනිසුන් තමන් ජීවත් වන සමාජය විසින් තමන් වෙත පටවන්නා වූ බර දරාගනු නොහැකිව කෙතරම් නම් අසරණ වෙන්නේ ද? ඒ බර දේශපාලනික බරක් විය හැකියි. ආර්ථික බරක් විය හැකියි. නැතිනම ආදරය, සෙනෙහස වැනි හැඟීම් බරක් විය හැකියි.
නිහඬ මිනිහෙක්
ඇවිද යයි
ඇඟිලි තුඩු අගින්
පොළොව මත
දරාගෙන අහස කර මත
නමාගෙන සිටියි බිමට වත
මේ විශාල අහස තරම් වූ බරක් දරාගෙන පොළොවට පවා නොරිදෙන්නට ඇවිද යන මිනිසා කිසිවකට වෛර නොකරයි. සියල්ල අන්තරාවර්තීව දරාගනියි. අලුත් දිනයක ඔහු යළි පෙර සේම නැගී සිටියි. මේ කව කියවන විට අපේ මතකය නැගෙන්නේ ග්‍රීක මිත්‍යා කතාවල එන ʺසිසිපස්ʺය.
සිත පිරිමදියි ඔහු
දුක තුනී වන තුරු
නින්දෙන්
උදෑසන අවදි වී යළි
ඇවිද යයි
නිහඬ මිනිසෙක්.
චේත්‍යා ගේ කවිවල ඇත්තේ බාහිර රිද්මයකට වඩා අභ්‍යන්තරිකව ගලා යන මෘදු රිද්මයකි. ඒ මෘදු බව අපට ස්පර්ශ වේ. ඒ ඇඟිළි තුඩු අගින් නොව හැඟීම් ධාරණාවක් ලෙසිනි.
ʺකිරිල්ලියගේ අවනඩුවʺ නිර්මාණය ගැහැනියගේ සියුම් වේදනාවන් පිළිබඳ ප්‍රකාශයකි. අප ජිවත්වන සමාජය වැනි වැසුනු සංස්කෘතියක් සහිත සමාජයක විවාහය යනු දෘඪ බන්ධනයකි. එය සරළව ලිහා ගත හැකි බැඳීමක් නොවේ.
අපව තනිකර ඈත ඉගිලුණ
කුරුල්ලාගේ චපල ගති දැක
තුඩින් තුඩ ගා සුරැකි ආලය
නීතියෙන් කටු ගානු හැකි වෙ ද?
කරුණාවන්ත සංවේදී පරිපූර්ණ මිනිසුන් යනු සමාජය තෙතමනයයි. බොහෝ වියළි මිනිසුන් අතර එවැන්නෙකු යනු සුවිශේෂව දැනෙනා මිනිසෙකි. ʺඋල්පතක් රැගෙන ඇවිදිනා මගියʺ කාව්‍ය නිර්මාණයේ ඇය උපයුක්ත අනුභූතිය වන්නේ එයයි.
ආදරය උනන නිල් දිය නිලන
සිසිලසින් නිවන තෙතමනය රැඳුන
උල්පතක් රැගෙන ඇවිදිනා මගිය
මේ අහස යට ම මේ පොළොව මතම
ඔබ ඉන්න බව කියන පෙම්පතකි සුළඟ
එවන් මිනිසුන් වියළි සමාජයක් තුල තවදුරටත් වෙසෙනවා යැයි දැන ගැනීමට එවන් තෙතමනයක් සොයන මිනිසුන්ට මොන තරම් ආහ්ලාදයක් දනවන්නක්ද?
සමාජ නිරීක්ෂණය යනු කවියෙකු ගේ කාව්‍යාත්මක ලෝකයට පිවිසෙන එක් පිවිසුම් දොරටුවකි. කවියෙක් හෝ කිවිඳියක් තමන්ගේ කාව්‍යාත්මය හා සම්මුඛ වෙන මිනිසුන් හමුවන්නේ මේ දොරටුවෙන් ඇතුල් වූ පසුවය. චේත්‍යාගේ ʺඅම්මා කෙනෙකි කොළඹ බසයකʺ නිර්මාණයේ අපට හමුවෙන අම්මා ඇයට සම්මුඛ වන්නේ එහිදීය. ඇය කවිය නිමා කරණ ආකාරය බලන්න.
හුරු පුරුදු සුවඳක් දැනී
හැරී බලමි බසයෙන් බැස යන්න පෙර
ඒ මගේ අම්මාද? තවත් අම්මා කෙනෙක්දැයි
දරුවන් කොළඹ පැළ කර ගමට යන
ʺමේ යුවතිය ඇයම ද?ʺ
නිර්මාණය තුල ඇය අපට ගේන යථාර්ථීය ගැහැනිය අපූරුය. ඇය ඒ ගැහැනියට බාල සළුපිළි නොඅන්ඳවයි. පාට සායම් නොගල්වයි.
පුංචි නංගියෙක් අරගෙන
අම්මා ආ දිනේ ගෙදරට
ආදරේ මහ සමුදුර
බෙදාගන්නට බිය වුණ
රැහැයියෙක් වගේ වැලපුණ
ඒ කුඩා ළදැරිය මතකද?
ඇගේ ආදරේ තැන තැන
බෙදී යන බව දැන දැන
අරගල නොකර අත හැර
පැරදුම තුරුළු කරගෙන
කඳුළු අතරින් හිනැහෙන
මේ යුවතියත් ඇයම ද?
චේත්‍යා විදානපතිරණ කිවිඳිය තමන් ගේ කුළුඳුල් කාව්‍ය කෘතිය වන ʺනමක් නැති හිතවතෙක්ʺ තුලින් පෙන්වූ සූක්ෂමතා ගුණය, මේකෘතිය තුලින් වඩාත් තියුණු කරගෙන ඇති බව පැහැදිලිය. ඇගේ කවිය යනු මහ හඬින් කෑගසන එකක් නොව, රසිකයාගේ හදවතට ඉතා සමීපව රහස් පවසන, ජීවිතයේ සියුම් තැන් ස්පර්ශ කරන නිහඬ ආත්ම ප්‍රකාශනයකි. ඇය සියුම් නිරීක්ෂිකාවකි. සමාජයේ චලිතයන් දෙස බලා එයින් සියුම් සංවේදනාවන් පෙරා ගන්නියකි. හුදු ජනප්‍රිය ස්ත්‍රීවාදයෙන් බැහැරව නූතන සිංහල කවියේ ස්ත්‍රී හඬ වඩාත් ප්‍රකාශනශීලී කළ කිවිඳියක් ලෙසද ඇය හැඳින්වීම යුක්ති සහගතය.
