ඒ අභිරහස් ප්‍රේමය ගැන සටහනක්
එය මොන වගේ පෙම් කතාවක් දැයි අපි නොදනිමු.එය කෙතරම් සඳ එළිය සේ අචින්ත්‍යද , සුරම්‍ය හෝ පාරිශුද්ධ දැයි අපි නො දනිමු. එය දන්නේ ඔවුන්ම පමණි.
ඔහු සිපගත්තේ ඇයගේ මියගිය වතයි. ඔවුන් පෙම්වතුන් වී සිටියේ නම් අප දුටු එකම ප්‍රේම රූපය එයයි. මියගිය පෙම්වතියගේ මලානිකව ගිය වත සිඹින, සැරයටියෙන් ආ වියපත් කවියා!
ලොවම අයිති කර ගත් මියගිය ගැහැණියගේ වත වුව සිප ගැනීමට බාහිර පිරිමියෙකුට යම් විශේෂ ධෛර්යයක් සහ අයිතියක් තිබිය යුතු නොවේද? ඔවුන් පෙම්වතුන් වී ඉන්නට ඇත. ඔවුන් හරහා ආ රහස් සුළං රැළි අපට ඒ ගැන කියා ඇත. ඇය දෑස් පියා ගන්නා විට ද ඔවුන් පෙම්වතුන් වී සිටියේද ? එය අපි නොදනිමු.
කවි ගීත කැබලි වලින් ද තවත් සුළඟ ගෙනෙන ආරංචි වලින් ද අපි ඔවුන්ගේ පෙම් කතාව නිර්මාණය කෙළෙමු. අපේ ප්‍රේමයේ ෆැන්ටසිය අපි ඔවුන් තුළින් දැකීමට ආසා කෙළෙමු. ඒ මධුර ගීත රසවින්දනය කළ කිසිවෙකුට එවන් මායාවකට ඇද වැටීම පාලනය කල හැකිද?
හැබැයි ඇගේ ශ්වේත වර්ණ වස්ත්‍රය පිරිමින්ගේ මොනර ප්‍රේමයට දුන් කොන්දේසි සංකේතවත් කළේය. මහඇදුරෙකුට වුව ද එය වර්ණවත් නො කර පෙම් කිරීමට නියම විය. එහෙත් එයද ප්‍රේමයේදී කෙතරම් ප්‍රායෝගික වී දැයි අපි නොදනිමු. එය ද දන්නේ ඇයයි ඇගේ ඒ ශ්වේත වර්ණ වස්ත්‍රයයි පමණයි. ගයන්නේ ගායිකාවකි, පෙම් කරන්නේ ගැහැණියකි!
ප්‍රේමය කාගේ වෙතත්, ඇගේ නමට පෙරේරා, ගෝකුළ හෝ ආරියරත්න වන් පිරිමි කැබලි නොවිය. ඇගේ පළමු නම මෙන් දෙවැනි නම ද ඇගේම විය. එය අහම්බයක් නොව ඇගේම තීරණයකි.
කෙසේ හෝ ඔවුන්ගේ ප්‍රේමය සංදර්ශනයක් නොවීය. ඔවූහූ තමන්ට නිල යුවලක් ලෙස ලැබෙන ආරාධනා පවා ප්‍රතික්ෂේප කළහ. දෙතැනක විසූහ. ප්‍රේමය එහි උපරිම සුවය ලැබීමට එක්කෝ හමු නොවිය යුතුය, නැත්නම් ‘අසම්මත’ විය යුතුය නැතහොත් අභිරහස් ලොවක හුදකලා විය යුතුය. ප්‍රේමය මැනිය හැක්කේ එයම යෝජනා කරන සදාචාරයකින් පමණි. එසේ වුවත් ප්‍රේමය යනු හරියටම කුමක්දැයි පෙම්වතුන්ට තේරුම් ගොස් අවසන් බවක් එයින් නො කියවෙයි. ප්‍රේමය ගීත වලදී හමුවන තරම් පහසුවෙන් හදවත් තුළ හමු නොවේ. සමහර ගීත ප්‍රේමයටත් වඩා හදවත් පසාරු කරන්නේ එබැවිනි.
ඇයට තිබුණේ ගී ගැයීමටය. ඔහුට තිබුණේ ඒ ගී ලිවීමටය. ඒ දෙක මැද තව අප නොදන්න බොහෝ දේ සිදුවන්නට ඇත. තමාගේ හොඳම ගී පොදිය ලියූ රටේ හොඳම කවියකු තමාට වඩාම ලං වූ මිනිසා බවට පත්වන විට ප්‍රේමයකට ඇද වැටීම වැළැක්වීමට තරම් ධෛර්යයක් ඒ ගැහැණියට තිබුණාද? එසේ වැළැක්වීමට අවශ්‍යද? ඔවුන්ගේ ගීත ඒ රහස් එළිදරව් කළාට වඩා ඒවා වසා දැමූ තිමිර පටල විය. නිර්මාණයක් තරම් ප්‍රේමයකට කවදාවත් අසාමාන්‍ය වෙන්න නො හැකිය. ගීතවල ඇත්තේ අපි ප්‍රේමය සැබෑවටම දැකපු ආකාරයට වඩා අපි ප්‍රේමය දකින්න කැමති ආකාරයයි. කවියන්ට පවා ප්‍රේමය හමුවන්නේ සැබෑ ලොවට වඩා කවිය තුළයි.
ඇගේ පියාට ඇය කුඩා කාලයේදීම ලිගු වෙනස නොසලකා පිරිමින් කරන වැඩවලට ඇයව යොදා ගැනීමට සිදුවිය. පියාගේ ශාපය නිසා නො වැඩුණු ළමා ගති ඉතුරු වී නැති විට ගැහැණිය වඩාත් පරිණත වෙයි. ස්වාධීන වෙයි. ඇගේ ගීතවල ඇත්තේ ඒ පරිණත බවයි. ‘සිඟිති ආදර දූපතක තනිවී’ කියන විටදි පවා අපට ඇසෙන්නේ ගැඹුරු පරිණත ප්‍රේමයක හඬයි. ගැඹුරු පැසුණු හඬ ඇයට පමණක් ආවේණික සුවිශේෂම ලක්ෂණයයි.
කෙසේ හෝ ඇය ඔහුගේ නිවසක් ගොඩනගා ඔහුගේ නමට දරුවන් හදා ඡායාරූපයකින්, මල්කලබකින් හෝ උපන්දින කේක් පිඩකින් ස්තුති කිරීමට අරගෙන ගොස් බැඳ දැමූ අඹුව නොවීය. ඇය එවැනිදේවල් වලින් ‘සෙට්ල්’ කළ නොහැකි පැසුන ගැහැනිය වීය. වරක් ඇය ද එවැනි සිහින ගමනක අඩක් ගොස් එහි හිස් බව දැන වැඩුන ගැහැණියකි.ඇගේ අන්තිම කැමති පත්‍රය ඇගේ ඒ පැසුනු බව කීවේය: සංදර්ශන, ගුණකථන, රාජ ගෞරව සහ මල් වඩම් අනවශ්‍යයි. ගැහැණියක් අතින් කියවුන මෙවැනි ප්‍රකාශ කොතරම් ඔබ දැක ඇත්ද? අවධානය හිස් යැයි ප්‍රතික්ෂේප කළ ගැහැනියකට ඔබ ලබාදෙන්නේ කුමක්ද? පැසුණු ගැහැණියගේ ප්‍රේමය බොහෝ පිරිමින්ට හසුරවාගත නො හැකියි. එවැනි ගැහැණු සහ මිනිසුන් ප්‍රේමයෙන් හුදකලා වීමට ඇති හැකියාව වැඩිය.
අවසානයේ ඔවුන් ඒ අභිරහස් ප්‍රේමයෙන් පැරදුනා ද දිනුවා ද? අපි එය නොදනිමු. ලාංකේය ගීත කලාවේ වඩාම බලපෑමක් කළ ගී උල්පත අභිරහස් ප්‍රේමයක් ලෙසට දැනට ඉතිහාසයේ ලියැවී ඇත. එහෙත් ඒ ගීත අපේ හදවත් කෙතරම් දුරට තුවාල කළේද එතරම් දුරට ඒ හදවත් ඔවුන්ගේ අභිරහස් පෙම් කතාව සොයාගෙන යෑම වැළැක්විය නොහැක. ඒ හදවත් ඔවුන්ට කිසි දිනක අනුකම්පා නො කරනු ඇත!
ඔවුන් එකිනෙකා හමු නො වන්න අපේ පෙම් කතා නම් මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණ බව පමණක් දැනට අපිට කිව හැකිය.
ධනංජය කරුණාරත්න

