නන්දා නම් කැපුම…
අසූවට පය තියෙන කොටත් ලංකාවේ සමාජය තුවාල සහිතව හිටියේ. නන්දා කියන්නේ ඒ තුවාල සහිත ලාංකික සමාජයේ කැපුමක්. ඒ කැපුම (cut) අස්සෙන් අපි දැක්ක ඒ වෙලාවේ ලාංකික පරම්පරාවක වේදනාව. යහපත් ලෝකයක් වෙනුවෙන් තිබ්බ අනුරාගය.
නන්දා එක වෙලාවක ලංකාවේ ආත්මය අවදිකරන්න බය නැතුවම තමන්ගේ හඬ දුන්න. එයාගේ ‘හඬ’ ඒ වෙලාවේ හුදෙක් සංගීතමය හඬක් විතරක් නෙවෙයි. ඒක අවියක් වගේ දෙයක් උනා. උපකරණයක් වගේ දෙයක් උනා. යම් නිද්‍රාශීලි බවකින් ඇහැරවන්න ඒ හඬ එයා පාවිච්චි කළා.
වචනවලින් කරන්න පුළුවන් සන්නිවේදනය විතරක් උනාට හඬට පුළුවන් වචනවලින් ඔබ්බට ගිහිල්ල මිනිස් අවිඥාණයට රිංගන්න. ඇත්තටම උනේ නන්දා පවනේ හඬ විතරක් නෙවෙයි ලංකාවේ ඒ වෙලාවේ දේශපාලන විරෝධයේ හඬ බවට පත් උනා. වචනවලින් ඔබ්බට ගිහිල්ල මිනිස් ආත්මය අල්ලගත්ත (captivated).
ගැහැණු හඬක් නිසා ඒකට වෙනම ශක්තියක් තිබ්බ. මහ පොළොවෙන් එන මවකගේ හඬ, ගැහැණියකගේ ඉල්ලා සිටීම, ස්ත්‍රී පෙළඹවීම, අයුක්තියට එරෙහිව සටන්කිරීම යන සියල්ලම ඒ හඬේ තිබ්බ.
ඒ කියන්නේ අර ආශාවට ඇද වැටෙන්න කියල මුරගාන වෙළඳ දැන්වීමේ තියෙන ගැහැණු හඬ හෝ පොප් සංගීතයේ තැවරිලා තියෙන වසඟයේ හඬ වෙනුවට නන්දා ගෙනාවේ අමු යථාවේ හඬක්. ලාංකික සමාජය වෙනත් කොහේ හෝ අලුත් මාවතක යා යුතුයි අලුත් සාධාරණත්වයේ මඟක් සොයාගත යුතුයි කියන නිරෝගී හඬක්. ඉල්ලා සිටීමක්. අවදි කිරීමක්.
හඬක් කියන්නේ වස්තුවක් (voice as object). නන්දා ඒක විනෝදය වෙනුවෙන් කැප නොකර වෙනත් අර්ථයක් ලංකාවේ ඒ වෙලාවේ පැළ කරන්න උපයෝගී කරගත්ත.
මම හිතන්නේ නන්දා අපිට මතක තියෙන්නේ ඒ විදියට…
පෙරදා මහ රෑ අඳුර තරණය කරනු පිණිස ඔබ කැපකළ ඒ හඬ වෙනුවෙන් උපහාරය…
මහේෂ් හපුගොඩ
ශෝකයට පැහැයක් නැත
ඒ මහා හදිසි ශෝකයකි. නිවුස් ඇලර්ට් හරහා ළඟා වන්නට නියමිතව නොතිබුණකි.
අපේ පරම්පරාවට කුඩාවුන් හැටියට ශ්‍රවණය කරන්නට සිදු වූයේ මවුපියන් අසන ගීතය. ඒවා ආයේ කැසට් මාදිලියෙනි. එහෙමත් නැතිනම් රේඩියෝව ඇතුළෙනි.
කුඩාම කුඩා කළ තාත්‍තාත්, අම්මාත් සමඟ මොණරාගල සිට කළුතර බලා එන ගමන පුරා කාරයේ තිබූ අමුතු යන්ත්‍රයකට, කුඩා කැසට්පට ඔබා එතුළින් මිහිරි ගී කියන ගැහැනුන්,මිනිසුන් එළියට ගන්නා’යුරු මම මවිතව බලා සිටියෙමි. ඒ සා දුරක් පුරා නැවත-නැවත ඇසුණු ගී අතර නන්දා මාලිනියත් උන්නේය. ඒ ගීතවල තිබූ අමුතු ශෝකී තානය කුඩාවකු වූ මගේ සිත් ගත්තේ මන්දැයි අදටත් වටහා ගත නොහැකිය. කැසට් යුගයෙන් රූපවාහිනියට පැමිණෙන විටත් අම්මාත්, තාත්තාත් සුසර කරන බොහෝ නාලිකාවල ඈ සිටි බව මතකය. ඇගේ හඬේ තිබූ අමුතු මතක හිටින ස්වභාවය හේතුවෙන්ම කුඩා කෙල්ලකව සිටි මට මේ සියල්ල ඇස් පියාගෙන සිහියට කැදවීම පහසුය.
සන්ෆ්ලවර් සලාදය, බ්ලූ ෂැඩෝස් සහ අතුල අධිකාරිගේ ගී අසන නහයට නාසන කාලයේ නන්දා මාලනී, ටී.එම්, චන්ද්‍රලේඛා ඇතුළු පිරිවර අපි කවුරුත් වෙනතක ලෑවෙමු. නන්ස්ටොප් ගීතාවලි ගෙන කනේ රුවා ගත්තෙමු.
අයියා උසස්පෙළ කරන කාලයේදී නැවතත් අපේ ගෙදරින් නන්දා මාලනී ඇසෙන්නට පටන් ගති. කැසට්පටවල ඇගේ ගී පටිගත කරගෙන විත් රතු රවුම් අකුරින් ගීතවල නම් ලියන’යුරු බලා උන්නෙමි.
මේ කාල වකවානු සියල්ලම මුළුල්ලේ රූකාන්ත ගුණතිලක අපේ වීරයා වී සිටි බව කිව මනාය. සෑම කාල පදාසයක් ඇතුළතම රූකාන්ත තමන්‍ට හිමි ස්ථානය ස්ථාවර කරගෙන තිබුණි. සෙසු සෑම ආසාවක්ම පැවතියේ රූකාන්තට උඩින් සහ පහළිනි.
නන්දා මාලනියව ඇහුණු සහ උවමනාවෙන් අසන්නට පෙළඹුණු කාලය, වකවානු දෙකකි; ලෝක දෙකකි. ඒ අනෙකෙකුගේ කන හරහා ආ යමක් ශ්‍රවණය කරනවා සහ ස්වයං උවමනාවකින් ඇසීම යන කාරණා දෙකයි. ඇගේ කටහඬේ තිබූ ස්ථීරසාර සහ එකම විට ඇසෙන ශෝකී තානය මේ ගීත වෙතට ප්‍රවේශය සැපයුවා විය හැකිය.
උසස්පෙළට සිංහල ඉගැනීමත්, උපුල් ශාන්ත සන්නස්ගලගේ සිංහල ටියුෂන් පංති යාමත්, රසාස්වාදය ඉගැනීමත් මේ ප්‍රවේශයට වෙනත් දොර කවුළු හැර දුන්නා ද විය හැකිය. ගීත ඇතුළත ඇති සාහිත්‍ය සහ එහි හැඩය එකල අප පුදුමයට පත් කළ තවත් එක් කාරණාවකි.
වෙනත් අයගේ කවි කියවා විස්මපත්ව; භාෂාවෙන් මෙහෙම දෑ කළ හැකිදැයි ඇස් උඩ තියාගත් ඒ යුගය අදට වඩා තරමක් අහිංසක එකකි.
අපේ පරම්පරාවට උරුම යුග කිහිපයක අග සහ මුල සිටීමේ වාසනාව හේතුවෙන් කිහිපයක් දේ පටන් ගැන්මේ සිට අවසානය දක්වා අත්දකින්නට අපට හැකි විය. මේ දළ මතක සහ ස්ථීරසාර මතක අතර යළිත් නන්දා මාලිනිය උඩට පැමිණේ. ඕ ගී ගයන්නේ ද ඒ කාල කිහිපයක් හරහා යමිනි. එහෙත් කටහඬක මිහිර වෙනස් නොවීම යනු අනෙකකි. බාගදා ඒ වෙනස්වීම් අපට නොදැනෙන තරමේ සියුම් ඒවා වූවා විය හැකිය.
ප්‍රේමය ගැන කියන්නට වචන සොයන විට වචනත්, හඬත් ගෙන නන්දා මාලනිය පැමිණෙන්නේ වික්ටර් රත්නායකගේ පමාව නොතකමිනි. අපට වික්ටර් රත්නායක ප්‍රේමය ගැන ගයනවා හසු වූයේ බොහෝ පමා වීය. ඒවාට නොයෙක් හේතු තිබෙන්නට පුළුවන. අපේම නොසැලකිලිමත් උඬගු බව මේ සියල්ලටම උඩින් තිබෙන්නට ඇත.

උදාවූ සෑම ශෝකයකටම පසුව නන්දා මාලනිය; රුවල් ඉරී ගිය නෞකාවේ ගයමින් පාළු කාමරයට පිවිසෙයි. අඳුර කීතු කරමින්
“නොගිලී දළ රළ පෙළ අතරින් මා හා යා නොහැකිය ගොඩබිමකට” කියන්නේ වී හෙයින් කාමරය පුරා කුඩා එළියක් දැල්වෙයි.
මා ලියූ සෑම ශෝකී කවියකම කලකට පෙර උදාවී, මැකී ගිය ඒ ශෝකී මොහොතවල් සියල්ල සහ නන්දා මාලනීගේ ගැයුම පසුබිමක්ව, දිය සලකුණක්ව තිබෙනවාට සැකක් නැතැයි මේ අද සිතෙයි. සැබැවින්ම බොහෝ දේ අපට සාක්ෂාත් කරගැන්මට ලැබෙන්නේ පහන් නිවී ගිය පසුය. ආලෝකය යට කිසිවක් පැහැදිලිව දැකගත නොහැක. ඒ, ආලෝකය විසින් සියල්ල අපට පෙන්වන බැවිනි. යමක් වටහා ගැනීමට පෙන්වීම ප්‍රමාණවත් නොවේ. යමක් වටහා ගැනීමට ඔබ කොහේ හෝ නැවතිය යුතුය. ඉතින් මරණය විසින් ඔබව නවත්වා යම්, යම් දේ පෙන්වා සිටිනු ඇත.
මගේ ළමා කාලයත්, තරුණ කාලයත්, මැදි වයසත් අතරතුර සිහින් සේද නූලක් සේ ඇදී ගිය ගීත බොහොමයක් ගැයූ ඈ ගැන ශෝකබරිත පෘතග්ජන සිත සැලුණේ හෙයින් මෙය ලීවෙමි, රූපයක් අමුණමි.
කාංචනා අමිලානි
නන්දා ගැයූ ගීතයක්
සමහර ගායකයින් මිය ගියාට පස්සේ ඔවුන් කවුද කලේ මොනවද කියලා සතා සිවුපාවෝ ගස් කොළං ඇළ දොල සුළඟ පවා දන්නවා. ඒ එම සෑම දෙයක්ම ඔවුන්ගේ ගීත වලට හසුවුන නිසාම නෙමෙයි ඔවුන්ගේ ගීත ගලා නොගිය තැනක් රටේ කොහෙවත් ඉතුරු වෙලා නැති නිසයි. ඉන්දියාවේ ලතා මංගේෂකාර්ගේ මරණයත් ශ්‍රී ලංකාවේ නන්දා මාලනීගේ මරණයත් ඒ වගේමයි.
නන්දා ගැයූ මහා ගීත කන්දරාව එහි මිහිර, සාර්ථකත්වය සහ අපට කළ බලපෑම ගැන අපට කෙටියෙන් කිව හැක්කේ එම ගීත නොවන්නට මීට වඩා වෙනස්ව ගලන ගඟකි ජීවිතය අපේ වෙන්න තිබුනා කියලයි.
ඒ අතරින් විශේෂයෙන් නන්දා ගැන මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් බොහෝ අය සිංහල ගායකයින් වර්ගකරණයේදී නන්දාව ඇතුළත් කරන්නේ ශාස්ත්‍රීය සංගීතයට වැඩි ඥාතීත්වයක් තියෙන අමරදේව, වික්ටර් රත්නායක, අමරා- දයාරත්න, සුනිල් එදිරිසිංහ සහ සනත් නන්දසිරි වැනි ‘තැන්පත්’ ගායකයින්ගේ ධාරාවටයි. එතරම් පරිපූර්ණ නම් නොවුන ‘සුභාවිත ගීත’, ‘සම්භාව්‍ය ගීත’, ‘විදග්ධ ගීත’ වගේ නම්වලින් ද ඒ වර්ග කිරීම් කරනවා. කොහොමහරි ඒ කී ධාරාවේ බොහෝ ගායකයින්ගේ ලක්ෂණය නම් ඔවුන් එතරම් රැඩිකල් පර්යේෂණවලට තමන්ගේ සම්ප්‍රදායෙන් පිට පැනීමට මැලිවීමයි. ඔවුන් මිනිසුන් ඔවුන්ව හඳුනගත් ඉහළ අනන්‍යතාවයක් ඇති සම්ප්‍රදාය තුළ වැඩි වැඩ නොකර නැවතුණා. ඒ නිසාමදෝ නූතන සිංහල ගීතයේ වඩාම පර්යේෂණාත්මක සහ රැඩිකල් ලක්ෂණ පෙන්වන්නේ ශාස්ත්‍රීය සංගීතයට වඩා බටහිර හෝ පොප් සංගීත සම්ප්‍රදායන් තුළයි. පර්යේෂණ ලෙස අදහස් කළේ සංගීතය, පද රචනය සහ ගායනය ආදී සෑම ආංශකින්මයි.
නමුත් කතාව නන්දාට එන විට ඇයව ගායිකාවක් ලෙස සාමාන්‍යයෙන් හඳුනා ගන්නා ‘ඉහළ’ සම්ප්‍රදායෙන් පිට පනින්න කිසි විටෙක නන්දා බිය වන්නේ නෑ. උදාහරණයකට, ‘යනවා නම් අනේ මං අරන්’, ‘නෝනා නාන්න නන්’,’නිදහස් බයිලා’, ‘යදමින් බැඳ විලංගුලා’, ‘විරිදු’, එලයියා එලාඩෝ ආදී ගීත මතක් කරන්න පුළුවන්. ඒ වගේම, විශේෂයෙන් දේශපාලනිකව, සමාජ සම්මතය සමඟ ගැටෙන්නට බිය නොවන නන්දා පවණ වැනී ගීත ව්‍යාපෘති හරහා පවතින රජයේ තහනමට ලක් වීමට තරම් එඩිතර වෙනවා. එතනදී ආර්ථික අවදානම වගේම සමහරවිට ජීවිත අවධානම පවා ඇය ගන්නවා. එකත් එකටම නන්දාගේ පර්යේෂණාත්මක ප්‍රවේශයට සුනිල් ආරියරත්න වගේ වෙනස්ව හිතන රචකයන්ගේ දායකත්වයද ලැබුණ බව පැහැදිලියි. ඊට අමතරව නන්දා අරලිය ලන්ද වැනි ගීත එකතු හරහා නවක ගීත රචකයන්ගේ ගීත අත්හදා බැලුවා.
මෙතනදී අතුරු කාරණයක් ලෙසට සටහන් කළ යුතු දෙයක් තියෙනවා .සමහර අර කියපු ‘විදග්ධ’ ගායකයින් ගීත නිර්මාණයේදී දේශපාලනිකව සහ ආකෘතිමය වශයෙන් රැඩිකල් නොවුනට වරක් ඔවුන් විවේචනය කළ සන්ෆ්ලවර් වැනි සංගීත කණ්ඩායම් වලට ගීත විකිණීමේදී පුදුම විදිහට රැඩිකල් හෝ පර්යේෂණාත්මක උනා. එතන ගැටළුව ඔවුන් සන්ෆ්ලවර් සමග ගායනය කිරීම නෙමෙයි ,ඔවුන්ගේ සම්මත ප්‍රතිපත්තිවලට එරෙහිව වෙළඳපොළ ජයගැනීමේදී ප්‍රතිපත්ති වෙනස්කර පර්යේෂණාත්මක වීමයි. නන්දා එතනදී වෙළඳපොළට වඩා දේශපාලනික වුණා.
සාරිය තුල ඉන්න සාමාන්‍ය ගැහැණියකට ද මෙවැනි වෙනස්කම් කළ හැකි බවත් සම්ප්‍රදාය ඊට බාධාවක් කර ගත යුතු නැති බවත් නිර්භය ගැහැණන් උදෙසා නන්දා අපට තවත් අතුරු පාඩමක් ඉතුරු කර ගියා.
ධනංජය කරුණාරත්න
‘කාසෙට්ටිවත්තෙන් මතුවූ ජාතියේ යශෝරාවය’
මේ උදෘතය මට මතක විදිහට තිබුණේ නන්දා මාලිනිය ගැන ලියැවුණු කල්පනා සඟරා කලාපයක.උදෘතය ගුණදාස ලියනගේ කර්තෘතුමාගේ වෙන්න ඕනේ.
මම ඒ හෙඩින් එකට කැමතියි.මගේ ලෝකයේ ඇයගේ හඬ ස්ථානගත වෙන්නේ එතැන.
ඒ මේ මොහොතේ ඇය ගැන පළවෙන විවේචනාත්මක ලිපි වල අර්ථයෙන් කියැවෙන ඇය ගැයූ ගී වලින් කොටසක් නිසා නෙවෙයි.
ඒ අප කුඩා උන්ව සිටි කල අප උදා ගුවන් විදුලියේ ඇගේ හඬින් ඇසූ ජයමංගල ගාථාවන්ගේ සිට පිළිවෙලින් ඇසුණු අපේ ලෝකය ආලෝකයට විවර කළ රට ජාතිය ආගම ගැන හැඟීම් ඇතිකරපු ඇගේ මව්වත් ගී ස්වරය නිසා.
බුද්ධානුභාවේන,
බුදු සාදූ මම සමන් වැලක් වෙන්නම්,
මල් මල් හීනය හීතල උදයේ,
ගලන ගඟකි ජීවිතේ..
මුණිසිරිපා සිඹිමින්නේ…
තුං තුඹ මල්..
සකුරා මල් පිපිලා,
සාරි පොඩිත්තක් ඇඳගෙන,
රුවන් වලා දුහුල් කඩින්..
අම්මාවරුනේ….වගේ ගීත ගොන්නක් ඒ අතර තියෙනවා. ඉන් පස්සේ අපි යොවුන් වියට එනකොටත් තරුණ වියට එනකොටත් ඇගේ ගී අපේ ජීවිත උණුසුම් කලා.ලන්ඩනයේදී ගැයූ ගී, හේමන්තයේදී, තාරුකා ඇස්, කුංකුම පොට්ටු, අරලිය ලන්දට වගේ කැසට් ගණනාවක එකිනෙකට නොදෙවෙනි ගී ගොන්නක් ඒ අතර තියෙනවා.
ලංකාවේ සුවිශේෂී ගායනවේදීන් සමඟ යාව බැඳුණු ගීත රචක නාමාවලියක් තියෙනවා.පණ්ඩිත් අමරදේව, මහගම සේකර, වික්ටර් රත්නායක, ප්‍රේමකීර්ති ද අල්විස්, ගුණදාස කපුගේ, රත්න ශ්‍රී විජේසිංහ වැනි ඒ සුසංයෝගයන්හිදී, නන්දා මාලිනියගේ නම යුගළ ගත වෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමඟ.පෙර කී ගායක රචක යුගලයන්ට වඩා මෙතැනදී එක් සුවිශේෂී වෙනසක් පවතිනවා.ඒ මහාචාර්ය ආරියරත්න හුදු ගීතරචකයෙකුට වඩා කලා සාහිත්‍ය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේශකයෙක් වීම සහ එකී පර්යේශනයන්ගේ නිර්මාණශීලී ප්‍රකාශිකාව බවට නන්දා මාලිනිය පත්වීම. මේකෙ වෙන කිසිම ගායක රචක යුගළයක දකින්නට නොමැති ලක්ෂණයක්. ඉතින් ඒ පර්යේෂණ සාර්ථක වෙද්දි ප්‍රශංසාත් අසාර්ථක වෙත්දි රුදුරු විවේචනත් දරාගන්න උනේ සහ වෙමින් තියෙන්නේ නන්දා මාලිනියට…ඒත් ඒ කිසිම දෙයකින් ජාතියේ යශෝරාවය ඇයම බව කිසිවිටත් නිෂේධනය වන්නේ නෑ.
දේශයේ ගී ලොවේ මාතාවනි, ඔබට නිර්වාණයම වේවා!
ආචාර්ය අරුණ ලොකුලියන
අසන්න ඇය ගයන්නී…..
1971 අප්‍රේල් කැරැල්ල ඇතිවුණේ අප්‍රේල් පස්වැනි දා JVP විසින් දිවයින පුරා පොලිස් ස්ථාන ඇතුළු රාජ්‍ය ආයතන රැසකට පහරදීමෙන් බව සඳහන් වෙනවා. ඒ පහරදීම් සඳහා සංඥාව ලෙස ගැනුනේ ගුවන් විදුලියෙන් නන්දා මාලිනීගේ ‘සකුරා මල් පිපිලා’ ගීතය වාදනය වීමේ වෙලාව බවට මතයක් තියෙනවා. එය බිහිවූ සමාජ දේශපාලන පරිසරය, එහි කැරලිකාර ස්වභාවය සහ පසුව එයට පැනවූ ගුවන් විදුලි වාරණය එයට හේතු වූවා දැයි කියන්න දන්නේ නැහැ.
‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගයේ සහ කැසට් පටයේ එන ‘මේ ජීවන ගංගාධාරයේ- දෙපස පිපී ඇති ප්‍රාර්ථනා මල්
නෙලා නොගන් මිතුරෙ…’ කියන ගීතයෙන් පටන් ගෙන ‘පවන’ සමස්ත ප්‍රසංගය සහ කැසට් පටය, 80 දශකය පුරාවට තරුණ සිත් විප්ලවීය ගුණයෙන් පිරවූ බවට සැකයක් නැහැ. නාට්‍යය සිනමාවට වඩා ගීතය පොදු මිනිස් සිතට ආමන්ත්‍රණය කළ හැකි මාධ්‍යයක්.
ගීත රචකයකුගේ, ගායකයෙකුගේ සහ ගායිකාවකගේ ගීතයක, පොදුවේ කලාකරුවෙකුගේ නිර්මාණයක දේශපාලන අදහස විමසන්න පුළුවන්. එහි ප්‍රතිවිපාක පිළිබඳව විවේචනාත්මකව බලන්නත් දැන් අපට පුළුවන්. නමුත් ඒකෙන් ස්වයංක්‍රීයව කලාකරුවා ඉතිහාසයේ වැරදි කාරයෙක් බවට පත්වන්නේ නැහැ. ඉතිහාසයේ එක්තරා කාලපරිච්ඡේදයක බිහි වූ එකී නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න අපට පුලුවන් කමක් නෑ.
නන්දා මාලිනී අපේ ජාතියේ යශෝ රාවයයි.
ප්‍රාර්ථනාවන් පිරුණු ලොවේ සිට
ගී ගයනා මට ප්‍රේම කරන්
යාබද අසුනේ හිඳ ගී අසනා
සහෘදයන් හට ප්‍රේම කරන්
දශක ගණනාවක් තිස්සේ අපව පිනවූ, අපව සැනසූ, ඒ රන් ස්වරයට අපගේ ගෞරවය සහ ආදරය. !
