පුවත්පත් කලාව ඇරඹුණු 17වන සියවසේ සිට ම පුවත්පත් කලාව හා සාහිත්‍යකරුවා අතර පැවැත ඇත්තේ අත්‍යන්ත, අන්‍යොන්‍ය බන්ධුතාවකි.
ඉතිහාසගත තොරතුරු අනුව ක්‍රි.ව. 1605දී ජර්මනියේ දී එළි දැක ඇති රෙලෙයිෂන් (Relation) පුවත්පත ලොව මුල් ම පුවත්පත යි. එතැන් සිට අද දක්වා පුවත්පත් කලාව පැමිණ ඇත්තේ දුර ගමනකි. ඒ ගමනේ දී ඊට හවුල් වී ඇති සාහිත්‍යකරුවෝ බොහෝ වෙති. මුල් කාලීන ඉංග්‍රීසි පුවත්පත් කලාවේ පියා ලෙස සැලකෙන ඩැනියෙල් ඩිෆෝ (Deniel Depoe) ඉන් එක් අයෙකි. The Pennsylvania Gazzette පුවත්පතේ ප්‍රකාශකයා ද වූ අමෙරිකාවේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් (Benjamin Franklin ((1706 – 1790) ද එබඳු පුරෝගාමියෙකි. ජෝසප් ඇඩිසන් (Joseph Addison) සහ රිචඩ් ස්ටීල් (Richard Steel ) 17වන සියවස අග භාගයේ සහ 18වන සියවස මුල් භාගයේ කියැවෙන එබඳු තවත් නම් දෙකකි. ඔවුන් දෙදෙනාගේ සමයේ පුවත්පත සමඟ, කාව්‍යානුසාරයෙන් රචනා කරන ලද විශේෂ ප්‍රවෘත්ති ඇතුළත් තනි කඩදාසියක මුද්‍රණය කරන ලද “බැලඩ්” (Brodside Ballads) නම් ප්‍රකාශනයක් යුරෝපීය ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ බව පුවත්පත් කලා ඉතිහාසයේ සුවිශේෂී සඳහනකි. මෙකී ප්‍රකාශනයේ ඇතුළත් එම “පුවත් කවි” ජනතාව අතරට ගෙන යන ලද්දේ ගම්නියම්ගම්වල සරමින් ගායනා කරමින් බවට ඇති තොරතුරු, පුවත්පත් කලාව හා කවිය අතර අතීතයේ සිට පැවැත ඇති බන්ධුතාවට කදිම නිදසුනකි.
ශ්‍රී ලංකා පුවත්පත් කලා ඉතිහාසයේ ද පුවත්පත් කලාවේ නිරත වූ සාහිත්‍යකරුවෝ රැසක් වෙති. කොග්ගල ප්‍රාඥයා ලෙස විරුදාවලි ලත් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ඒ අතුරෙන් එක් ප්‍රමුඛයෙකි. එතුමන්ගෙන් පුවත්පත් කලාව පෝෂණය වූවා සේ ම, පුවත්පත් කලාවෙන් එතුමන්ගේ සාහිත්‍ය ගමන් මඟ ආලෝකවත් වන්නට ඇති බව නිසැක කාරණාවකි. අනතුරුව එසේ වඩාත් ඉස්මතු ව පෙනෙන නාමයක් වන්නේ දයාසේන ගුණසිංහ නාමය යි. දයාසේන ගුණසිංහ සිංහල කවියේ ද, සිංහල කෙටිකතාවේ ද හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කළ කවියෙකි. ගරු කටයුතු පුවත්පත් කලාවේදියෙකි.
රඹුක්කන කීර්ති එස්. කුමාර මෑතකාලීන පුවත්පත් කලා ක්ෂේත්‍රයේ නිතර අප ඇස ගැසුණු නාමකායකි. එසේ ම ඔහු ද කවියෙකි. 2026 වසරේ එළි දක්වන ලද ” කඳුයාය ආපසු හැරී බැලුවේ ම නැත” කාව්‍ය සංග්‍රහය ඇතුළුව සංඛ්‍යාත්මකව කාව්‍ය සංග්‍රහ අටක් පළ කර ඇති කවියෙකි.
1983 වසරේ පළ කර ඇති ඔහුගේ පළමුවන කාව්‍ය කෘතිය – වේදනා – සාමූහික ප්‍රයත්නයක පලයකි. ඉන් අනතුරුව 2023 වසරේ “ඇඩ්‍රස් නෑ අම්මෙ අපට”, “උඹට වඩා මං රතු යි”, “මිනී කපන්නාගේ දියණිය යන කාව්‍ය සංග්‍රහ ත්‍රිත්වය ද, 2024 වසරේ “ශාර්වරී” සහ “වරෙන් හීන් සැරේ” නමින් කාව්‍ය සංග්‍රහ ද්විත්වය ද වශයෙන් ඒ දෙවසර තුළ තරමක් අධි වේගයෙන් කාව්‍ය සංග්‍රහ පහක් ප්‍රකාශයට පත් කර ඇත.
කීර්ති එස්. කුමාර කවියාගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයත්, ඊළඟ කාව්‍ය සංග්‍රහයන් ත්‍රිත්වයත් අතර ඉක්ම ගොස් ඇති කාලය දශක හතරකි. ඒ, වත්මන් ශ්‍රී ලාංකිකයාගේ පරමායුෂයෙන් හරි අඩක් තරම් දීර්ඝ කාලයකි. නැවත අත්පත් කර ගැනීමට කොහෙත් ම හැකියාවක් නැති කාලයකි.
වැහි සීතල දරාගත නොහැකිව
ඉස්තෝප්පුවේ කොණක
බිරිඳ සතු
එකම සාරිය පොරවාගෙන
රෙදිවැල
(පි.18)
මේ කීර්ති එස්. කුමාර කවියාගේ නවතම කෘතියේ “කෙටි කවි පහක්” මැයෙන් යුතු කවි අතර වන සිව්වන කවිය යි.
මේ පද කැටියෙන් කවියා, පහළ මධ්‍යම පාන්තික හෝ ඊටත් පහළ අඩියකට වැටී ඇති කුටුම්බයක සීතල රාත්‍රියක් ඉතා මැනැවින් අප ඉදිරියේ සිත්තම් කරයි. කාව්‍ය නායක සැමියාගේ ප්‍රකාශයට අනුව ඔහුගේ බිරියට ඇත්තේ එක ම එක සාරියකි. කවියේ කොතැනක හෝ එවැන්නක් පවසා නැති නමුදු එය ඔහුගේ හදවත දවාලන කරුණකි. ඒ අග්නිය, දරාගත නොහැකි රාත්‍රි වැහි සීතල බඳු ය. ප්‍රකෝටිපතියන් පමණක් නඩත්තු කෙරෙන සමාජාර්ථික වටපිටාවක් ඇති සමාජයක මඟුලටත්, මරණෙටත් එකම වස්ත්‍රය අඳින මෙවන් පවුල් ඇත්තේ එකක් දෙකක් නොවේ.
එබඳු කුටුම්බයක අඹුසැමියන් (සහ දරුමල්ලන්) මේ උහුලමින් සිටින්නේ දරාගත හැකි සීතලක් නොවේ. ගේ හරියක පොරෝනාවක් හෝ නැත. විකල්පයක් ලෙස හෝ පිළිසරණක් කරගත හැකි බිරියගේ එකම සාරියත් ඉස්තෝප්පුවේ කොණක ඇති රෙදිවැල විසින් ඒ වන විටත් පොරවාගෙන හමාර ය. අනෙක සාරිය ඇත්තේ ඉස්තෝප්පුවේ කොණේ රෙදි වැලේ වනා නම් මේ මොහොතේ එහි ස්වභාවය වියළි නොවේ. මෙහි සීතල යනු ද, රෙදිවැල සාරිය පොරවාගෙන යනු ද එම වදන්වල නියමාර්ථය නොවේ. අනියමාර්ථයන් ය.
එසේ ම මේ කාව්‍යානුභූතිය විදාරණය කරන්නේ අපේ සමාජයේ බොහෝ ඇත්තන් කට ඇර කියන්නට අකැමැති සත්‍යයකි. සැබෑ සමාජ හරස්කඩකි. කවියාගේ කෘතියේ සංගෘහිත කවි 37 අතරින් මේ කවිය ප්‍රදීපායමාන වන්නකි.
රණේ අද ඉක්මනින් එනව ද
තියෙනවා රහසක් කියන්නට
අමුත්තෙක් ඇවිදින්
මං කිව්ව දේ වටහ ගත්ත ද
තොරණ හන්දියෙ තෝසෙ කඩයෙන්
උලුඳු වඩයක් අරන් එනව ද
වැඩියෙ මුදලක් අතේ ඇත්නම්
මසාල තෝසෙකුත් මට ගෙනෙනව ද
අකල් වැස්සට වහලෙ තෙමුණට
වියරුවෙන් වගෙ සුළඟ හැමුවට
දැන් ඉතින් මට දුකක් නෑ
පුහුල් දෝසිත් ග්‍රෑම් පණහක්
ඔබට හැකි නම් අරන් එන්නකො
වැඩපොළෙන් එනකොට කීය වේවි ද
ඉටු නොවුණු හීන සැබෑ කරමින්
නුහුරු හැඟුමක් දැනෙනවා මට
රිදී පාටින් හීන දැක දැක
රණේ අපි කොයිතරම් ඇඬුව ද
වලාකුළු මතින් පාවී ඇවිදින්
සුදු නෙළුම් මලක් ගෙන
සුදු ඇත් පැටවෙක් සිහිනෙන් නොදුටුවාට
තනියක් නෑ දැන් කුලී මාලිගාවට
(පි. 24, 25)
ඉහතින් උපුටා දක්වා ඇත්තේ අප කවියාගේ කාව්‍ය කෘතියේ “පැදකුණු කළා සිනා” හිසින් යුතු කවිය යි. මෙය විවාහප්‍රාප්ත යුවතියකගේ මාතෘත්වයේ මංගල්‍යයය හෙවත් කුළුඳුලේ ගැබ් ගැනීම තේමාව කරගත් කවියකි. ඇය ඒ බව සැක හැර දැනගන්නා විට ඇගේ වල්ලභයා වැඩපොළට ගොසිනි. එය ඔහුට දන්වන තුරු ඇයට ඇත්තේ නොඉවසිල්ලකි.
එය ඇයට නොඉවසිල්ලක් වන්නේ ඔවුන් දෙදෙනා ම බොහෝ කාලයක් ඒ වෙනුවෙන් අපේක්ෂා සගගතව සිටි බැවිනි. කවිය ඒ බව රසිකයාට අඟවන්නේ “රිදී පාටින් හීන දැක රණේ අපි කොයිතරම් ඇඬුව ද” යන පද්‍ය පාදයන්ගෙනි. අනතුරුව තුමූ ම ඊට ප්‍රතිඋත්තර බඳින්නේ, කුස තුළ වැඩීම අරඹා ඇති අලුත් ජිවියා “අමුත්තෙක් ඇවිත්”යන ව්‍යංගයෙන් හඳුන්වමිනි.
ගැබිණි සමය යනු කාන්තාවකට අමුතු හැඟීම් හා ආශා ඇති කරවන සමයකි. විවිධ රසයන් කෙරෙහි ඇති වන ඒ රුචිය (Craving) නම් දොලදුක යි. තොරණ හන්දියෙන් උලුඳු වඩේ ගෙනෙන්නැ’යි කරන ආයාචනය යනු ඒ හැඟවුම්කාරකය යි.
සමගාමීව, දාරකාපේක්ෂාවෙන් පසු වන යුවතියකගේ මානසික පූර්ණත්වය පැවසීමට කවියා මෙහිදී යොදා ගන්නා සංකේත ද ඖචිත්‍යයෙන් යුක්ත ය.
එසේම පතිපතිනි ලෝකයේ ආදර බැඳීම, සෙනෙහස, ලෙන්ගතුකම, විශ්වාසය සිහින් හුයක් සේ කවිය අභ්‍යන්තරයේ ගලා යන අයුරු කදිම ය.
මෙම කවියේ කාව්‍ය නායිකාවට මෙය අති මහත් ප්‍රමෝදයක් වුවත්, නූතන වෛවාහක සමාජයේ දක්නට ඇති චිත්‍රය මීට හාත්පසින් ම වෙනස් වූවකි. ජන හා සංඛ්‍යාලේඛන දත්ත අනුව මේ වන විට ලංකාවේ උපත් අනුපාතිකය (Fertility rate) වේගයෙන් පහළ බසිමින් පවතී. එය සාමාන්‍ය මට්ටමේ පැවතීමට 2.1ක් පමණ විය යුතු වුවත්, මේ වන විට පවතින අගය 1.9කි. වර්ෂ 2019 වන විට 319.010ක් වූ ලංකාවේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 2024න් පසුව 214,570ක් වීම, මේ කවියෙන් කියැවෙන අකල් වැස්සට තෙමෙන කුලී ගෙදර බඳු ආර්ථික කාරණාවලට පමණක් ලඝු කිරීම සමාජ විද්‍යාත්මක වගකීමක් පැහැර හැරීමකි. විවාහ වී මේ වන විට යම් කාලයක් ගත වී ඇති යාළුමිත්‍රාදීන් වූ තරුණ ජෝඩු විස්සකින් 19ක් ම මෙතෙක් දාරක සම්පත්තියට හිමිකම් කියන්නට අසමත් වී ඇති පුවතක් ද මෑත කාලීනව අසන්නට සිදු වූ බැවිනි.
සෙමෙන් ඇවිත් ඇඟේ එතී
මගේ සිත ම පැහැර ගති
නා දලු වන් ලවන් පෙති
පොඟවා ගති එරන්දතී
මලින් මලට පනින ගමන්
බඹරෙකු සේ හරිමි ගිමන්
තනා මැඳුරු සිහින විමන්
මම ද ලිහමි හැඟුම් රැහැන්
ළමැද දෙතන පුඩු ඇයගේ
බිලිඳුට හිමි කිරි සුවඳේ
තොදොල් කතා මඳ සුළගේ
උහුල්ලමින් හද පිබිදේ
පින්න මලට වට පිනි දිය
අන්න බලන් එහි කොමළය
තින්ත උරන කඩදාසිය
සේ ම තෙතයි ඈ මුදු ළය
අඳුරු ගැබේ සඳ එළියේ
කුමුදු පිපෙයි පොකුණු දියේ
නෙළූ පසුව කුමුද රැයේ
සිත පිබිදෙයි හිමිදිරියේ
(පි. 20)
“සිත පිබිදෙයි හිමිදිරියේ” මැයෙන් මේ කාව්‍ය සංග්‍රහයේ සංගෘහිත මේ කවිය මාතෘත්වය හා සරාගය අතර පවතින ද්වන්දාත්මක ස්වරූපය (The duality of motherhood and eroticism) නිරූපණය කරන්නකි. දෙතන සහ කිරි මාතෘත්වය හා බැඳුණු දෑ වුවත්, පුරුෂ දෘෂ්ටියෙන් ඒ පුරුෂයාගේ උත්තේජකයකි. ඔහුගේ සරාගය ඉදිරියේ මාතෘත්වයේ පූජනීයත්වය යටපත් නොවිය යුතු වූවකි. ස්ත්‍රිය දර්ශනය වීමෙන් පුරුෂ මනසේ ඇති වන චලනය, “ළමැද දෙතන කිරි සුවඳේ – බිලිඳුට හිමි කිරි සුවඳේ” යන්න සමඟ මාතෘත්වය ඉදිරියට පමුණුවන කවියා භාෂා මෙවලම ඇසුරෙන් කරනු ලබන්නේ එම පූජනීයත්වය ඉස්මතු කිරීම කි.
අපමණ ඇවිටිලි කෙරුවත්
ලෙයින් ලියා පෙම්පත් එව්වත්
නුඹ දන්නවා ද සම්පත්
අපෙ පවුල් ගහේ බර පොඩ්ඩක්
ලොකු අක්කා දීග ගියේ නෑ තාමත්
ලොකු අයියා හා ඒ පවුලත්
පදිංචි මහගෙදර ම ය අදටත්
මද්දුම අයියණ්ඩි දොරවක පන්සලේ
මහණ වෙලා උගන්වනව පිරිවෙනේ
අප්පච්චි දවස ගානේ ම ගල් වැඩපොළේ
මං ගාමන්ට් කෙල්ලක් බ්‍රැන්ඩෙක්ස් එකේ
ඔබ උගත් තරුණයෙක්
හැමදේට ම වඩා මට පවුලෙ අයයි වැදගත්
ඔබේ ආදරවන්ත හදවතින්
මා නිදහස් කරන්න
මට සමාවෙන්න
“රේල් පීලි” හිසින් යුතු මෙම කවිය අප කවියාගේ කෘතියේ අන්තර්ගත අතිශය සරල සුලබ මාතෘකාවක් විෂය කර ගත් නිර්මාණයකි. අනුභූතීය සරල වූව ද ඊට යොදා ඇති මාතෘකාව ප්‍රබල රූපකයකි. මෙහි කාව්‍ය නායිකාව ප්‍රේමයෙන් බැඳුණු ග්‍රාමීය පවුල් පසුබිමක් ඇති යෞවනියකි. ඇගේ කුටුම්බය බොහෝ කුටුම්බ මෙන් සමාජාර්ථික වශයෙන් නිදහස් වූවක් නොවේ. එබැවින් ඈ දවස ගෙවන්නේ ස්වකීය ප්‍රේමය සම්බන්ධයෙන් ද ඇති අභ්‍යන්තර මානසික ගැටුමකට මුහුණ දෙමිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙන් ම, ඊට විසඳුමක් වශයෙන් ස්වකීය ප්‍රේම සබඳතාවට තිත තැබීමට ඈ කල්පනා කරයි. එහිදී හැඟීම්වලට යට නොවීමට ඈ දරන ප්‍රයත්නය රූපණයට කවියා ඇගේ මුවට නංවන්නේ අව්‍යාජ බසකි. එම බස කාව්‍ය නායිකාවගේ සංයමයත්, ගුණගරුක බවත් ඉස්මතු කිරීමට ද ඉවහල් වී ඇති බසකි. එබැවින් කවියේ ඇති අනුවේදනීය බවට ද සපයන්නේ මහඟු පිටුවහලකි.
එහෙත් අන්‍ය දෘෂ්ටි කෝණයකින් බලන අයෙකුට ඇගේ මේ අව්‍යාජ බව සිය ප්‍රේමවන්තයාගේ අනුකම්පාව දිනා ගැනීමේ උපායක් ලෙස පෙනී ගියහොත්, අප ඒ දෘෂ්ටියට හරස් කැපිය යුතු නොවේ. එබඳු සමාජ කියවීම් ද අප්‍රමාණව ඇති බැවිනි.
මෙම කෘතියේ සෙසු නිර්මාවල ද මෙබඳු සාධනීය ලකුණු අඩු වැඩි වශයෙන් දක්නට ඇතත්, වත්මන් රසිකාගාරය කීර්ති එස්. කුමාරගෙන් මීට වඩා ඉදිරිගාමී කවියක් අපේක්ෂා කරන බව ඔහු අවධානයට ගත යුතු කරුණකි. ධාරණාවකි. එවිට කවියා පුවත්පත් ලෝකයේ සැරිසරන කලාපය ඔහුගේ ඒ ගමනට යම් ඝර්ෂණයක් ඇති කර ඇත්තේ ද යන්න තුමූ විසින් ම විමසා බැලිය යුත්තකි. එහිදී දයාසේන ගුණසිංහ ප්‍රවීණ පෙර ගමන්කරුවා දෙස හැරී බැලීම ඔහුට වඩාත් වටී.
එබැවින් ඊට පාර කැපීමක් වශයෙන්, විසිවන සියවසේ බිහි වූ රුසියානු සාහිත්‍යයේ ප්‍රමුඛ පෙළේ ලේඛකයකු මෙන් ම විචාරකයකු වූ වික්ටර් ෂක්ලොව්ස්කි (Victor Borisovich Shklovsky) විසින් වර්ෂ 1917දී ප්‍රකාශයට පත් කර ඇති “කලාව උපකරණයක් ලෙස (Art as device) නිබන්ධනයෙන් පැහැදිලි කරන ලද්දා වූ සංකල්පයේ උද්ධෘතයක් මෙහි ගෙනහැර දක්වමි.
“මිනිසුන් දිනපතා දකින, අත්විඳින දේ පුරුද්දකට ගොස් ස්වයංක්‍රීයව ග්‍රහණය කර ගැනීමට පෙළඹේ. සාහිත්‍යකරුවාගේ කාර්යභාරය විය යුත්තේ එම හුරුපුරුදු ද අසාමාන්‍ය ලෙස හෝ නුහුරු ලෙස ඉදිරිපත් කරමින් ලෝකය නැවත අලුතින් දැකීමට පාඨකයා පෙළඹවීම යි.”
කීර්ති එස්. කුමාර මාධ්‍යවේදීයා, කවියා එවන් ගැඹුරුතර අලුත් කවියක් සමඟින්, රසිකාගාරයේ දී හෙට දවසේ හමුවනු ඇතැයි යන බලාපොරොත්තුව අප රඳවා ගන්නා බව, එතෙක් ඔහුට ආශීර්වාදාත්මක ව දන්වා සිටිනු කැමැත්තෙමි.
රන්ජිත් මල්ලියාවඩු
කෘතිය – කඳුයාය ආපසු හැරී බැලුවේ ම නැත
ප්‍රකාශනය – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
ප්‍රකාශිත වර්ෂය – 2026
