නන්දා මාලිනී 1943-2026

38

ලංකාව යනු ඉන්දියාව මෙන් මනා ලෙස වර්ධනය වූ, ස්වීය සංගීත සම්ප්‍රදායක් තිබුණු රටක් ‍නොවේ. පශ්චාත් යටත් විජිත ලංකාවේ සංගීතකරණයේ නියැලි කලාකරුවන් නියුක්ත වූ ප්‍රධාන කාර්යයක් වූයේ ස්වීය සිංහල සංගීත සම්ප්‍රදායක් නිර්මාණය කිරීමයි. ගායකයන් සම්බන්ධව ගත්කළ, මෙන්න මේ නිශ්චිත අවධියේ, පුරෝගාමී ලෙස නැගී ආ ගායක ගායිකා දෙපොළ ලෙස අමරදේව සහ නන්දා මාලිනී නම් කළ හැක. සිංහල සුභාවිත සංගීතය ලෙස හැඳින්වූ ප්‍රවණතාවයේ මුල් යුගයේ ප්‍රමුඛතම ප්‍රකාශකයන් වූ මේ දෙපොළ, කාලයත් සමග එක්තරා විධිහක ‘ජාතික සංකේත’ මට්ටමට එසැවුණහ.

එහෙත් අමරදේවගේ‍ නොමැති, නන්දා මාලිනීගේ තිබෙන එක් කැපී පෙනෙන ලක්ෂණයකි ; ඒ ‘70 හා ‘80 දශකවල ප්‍රබල තැනක් ඉසිලූ, ජනතාවාදී කලාව නම් ප්‍රකාශන මාදිලිය සමග ඇය පැවැත්වූ සම්බන්ධතාවයයි. විරෝධාකල්ප ගී යනුවෙන් ප්‍රසිද්ධ වූ ගීත ධාරාවේ පුරෝගාමී තැනක් නන්දා මාලිනී – සුනිල් ආරියරත්න දෙපොළ වෙත හිමි වෙයි. විරෝධාකල්ප ගීත ධාරාව තුල නන්දා මාලිනී කළ මැදිහත්වීම, ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගයේ සිට ‘පවන’ දක්වා දිව යන්නකි. 1980 ගණන්වල පළ වූ නන්දා මාලිනීගේ කැසට්පටවල වූ සිත් ගන්නා සුලු ලක්ෂණයකි ; පසු කවරයේ තිබෙන ගීත ලැයිස්තුවේ ඇතැම් ගීත ඉදිරියේ සලකුණකි, ඒ සලකුණ යට ‘ගුවන් විදුලිය විසින් වාරණය කළ ගී’ යනුවෙන් සටහන්ව ඇත.

මෙම විරෝධාකල්ප ගීත මතු වූ සමාජ-දේශපාලන සන්දර්භය සුවිශේෂී එකකි. මෙම ගීත ධාරාව මතුව ආවේ, 1977 දේශපාලන-ආර්ථික පරිවර්තනය විසින් ඇති කළ විපර්යාසය සිදු වෙමින් තිබුණු, සංක්‍රමණීය අවධියේය. 1977 දී බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව 1977ට පෙර, විශේෂයෙන්, 1956ට පසුව මෙරට ස්ථාපිත වූ සමාජ ගිවිසුම ප්‍රචණ්ඩ ලෙස ඉරා දමමින් සිටියේය. මෙම සමාජ ගිවිසුම ආර්ථික ජාතිකවාදය, සමාජවාදී අදහස් හා සිංහල ජාතිකවාදී ඌරුව යන සංඝටකවල සංයුක්තයක් විය.

ආර්ථිකය විවෘත කළ ජේ.ආර් ආර්ථික ජාතිකවාදය අවසාන කළේය. දේශපාලනය අන්තිම පාදඩ එකක් බවට පත් කළේය. සංවිධිත කම්කරු පන්තිය විනාශ කොට දැමුණි. සමාජවාදී අදහස් වෙනුවට, නග්න පරිභෝජනවාදය උත්කර්ෂයට නැංවුණු පුද්ගලවාදී සමාජ-ආර්ථික රටාවක් ඇති වෙමින් තිබුණි. මෙය එකල ගුණදාස අමරසේකරගේ ලේඛනවල විස්තර කරන ලද්දේ ‘ධනවාදී නර රකුස් සමාජයක්’ ලෙසටය. ඒ කියන්නේ, හුදු බඩ පුරවා ගැන්මෙන් එහාට නොසිතන, නර වෙස් ගත් රකුසෙක් බවට මිනිසා පිරිහෙලන සමාජයක් නිර්මාණය වෙමින් පැවතුණි. මෙම ව්‍යාපෘතියට ගැලපෙන ලෙස සිංහල ජාතිකවාදය ප්‍රති-අර්ථකථනයට ලක්විය.

ජේ.ආර්. ජයවර්ධනගේ මෙන්න මේ ව්‍යාපෘතියට පසමිතුරුව ස්ථානගත වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මෙරට සාම්ප්‍රදායික වාමාංශය සහ ජනතා විමුක්ති පෙරමුණයි. යට කී දෙපාර්ශවය සම්මත ක්‍රමවේදවලින් ජේ.ආර්ගේ ව්‍යාපෘතිය සමග අභිමුඛ විය. 1983 දී ජවිපෙ තහනම් කිරීමෙන් පසුව, ජේ.ආර්ගේ භාෂාවෙන් ජේ.ආර් ට උත්තර දීමේ ශෛලියකට ජවිපෙ මාරු විය. ජේ.ආර්ගේ ව්‍යාපෘතිය පිලිකෙව් කළ, යම් උගත්කමක් සහිත ගම්බද හා අර්ධ නාගරික ප්‍රදේශවලින් පැවත ආ තරුණ පිරිස්වලට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රති-ව්‍යාපෘතිය ආකර්ෂණීය එකක් විය. 1980 දශකය අග භාගයේ දකුණු ලංකාවේ ඇති වූ සන්නද්ධ නැගිටීම යනු මෙහි අග්‍ර ඵලයයි.

නන්දා මාලිනීගේ විරෝධාකාල්පික ගීත; විශේෂයෙන්, ‘පවන’ ප්‍රසංගය ඇතුලු පසුකාලීන නිර්මාණ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි සන්නද්ධ නැගිටීම සමග අතිපිහිත වූ බව නොරහසකි. එම නැගිටීමේ සංස්කෘතික-කලා ප්‍රකාශනය වන තරමට ‘පවන’ ගීත එය සමග අනන්‍ය වී ඇත. මෙම ගීත සාහිත්‍යය දෙස බලන විට, යට කී තේමා තුන එය යටින් දිවෙන ආකාරය මැනැවින් හඳුනා ගත හැක ; ආර්ථික ජාතිකවාදය සහ සමාජවාදය වෙනුවට, පාදඩ ලක්ෂණ සහිත ධනවාදී ක්‍රමයක් ඇති වීම ගැන තිබෙන විරෝධය සහ ඒ සමග කලවම් වූ, සිංහල ජාතිකවාදී නැඹුරුවක් සහිත සංස්කෘතික මනෝභාවය.

එදිරිවීර සරච්චන්‍ද්‍රගේ ‘ධර්මිෂ්ට සමාජය’ වැනි කෘතියක් කියවන විට, මෙම දෘෂ්ටිය එකල ආණ්ඩු විරෝධී බලවේග අතර බල පැවැත්වූ ආකාරය ගැන හොඳ අදහසක් ගත හැක. ‍මේ අනුව ගත්කල, නන්දා මාලිනී – සුනිල් ආරියරත්න වි‍රෝධාකල්ප ගී සමුච්චය, 1977ට පසුව මෙරට උඩු යටිකුරු කළ පාදඩ සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රවාහයට එරෙහිව මතු වූ සිංහල තරුණයාගේ කැරලිකාරී ප්‍රතිචාරයේ සංස්කෘතික හෘද සාක්ෂිය ලෙස නම් කළ හැක.
නන්දා මාලිනී – සුනිල් ආරියරත්න ප්‍රවණතාවයට අයිති විරෝධාකල්ප ගී සම්බන්ධ විවේචන පැති ගණනාවකින් මතුව ඇත. මේ අතර ප්‍රධාන විවේචන දෙකක් කැපී පෙනෙයි.

පලමුවැන්න, එම ගීතවල වූ, ‘දේශපාලනික’ ගතිය නොරිස්සූ, යම් ආකාරයක ශුද්ධ කලාවක් පිලිබඳ විශ්වාස කළ අය වෙතින් ආ විවේචනයයි. බැලූ බැල්මට මෙම විරෝධය තේරුම් ගත හැක. මහගමසේකරගේ වචන අනුව නිර්මාණය කළ ‘නිම් වලල්ලෙන් එපිට සඳ රැස්’ බඳු ගීතයක ඇති භාවමය සෞන්දර්යය ‘මුගුරක් ඇවැසි තැන මුගුරක් ගෙන නැගෙනු’ වැනි සිංදුවක නැත. අමරදේවගෙන් නන්දා මාලිනී වෙනස් වෙත හේතුවම, මේ දෘෂ්ටිය අනුව ගත්කල ඇයගේ දුර්වලකමකි. අපගමනයකි.

මීට ඇයගේ සිංදුවලින්ම උත්තර දී ඇත ; ‘80 දශකය යනු, සන්සුන් මනසින් අති පවර රස භාව විඳිය හැකි, ප්‍රතිරූප දේශයක් නොවේ. මේ මොහොතේ කාර්යය, ගයන්නට ලද හඩින් සැඩ පරුෂ වැකි කීමය. එම ඓතිහාසික කාර්යය අවසන් වූ මොහොතක, එනම් අප මිය ගිය පසුව, ඊලග පරපුරට භද්‍ර දේශයක, භද්‍ර රාජ්‍යයක වැස, අප වෙතින් පලා ගිය මධුර ගී විඳින්ට හැකි වනු ඇත.

මීට වඩා දේශපාලනික වශයෙන් පරිණත විවේචනයක් ද ඇයගේ ගීත සම්බන්ධව ‘80 දශකයේ දී ඉදිරිපත් විය. ඒ වාමාංශික විවේචනයකි. සුචරිත ගම්ලත් බඳු අය එහි ලා පුරෝගාමී විය. මෙය පොදුවේ ‘කලාව ජනතාව සඳහාය’ යනුවෙන් ඉදිරිපත් වූ, සෝවියට් දේශය විසින් අනුග්‍රහය දක්වන ලද සමාජ සත්තා යථාර්ථවාදය සම්බන්ධයෙන් එල්ල වූ වාමාංශික විවේචනය වෙතින් ගලා ආ විචාරයකි. කලාවේ ජනතාවාදය ; එනම් කලාව හුදු දේශපාලන නිෂ්ටාවක් සඳහා උපකරණාත්මක ලෙස පාවිච්චි කිරීම, ඒ තුල ඊට ලැබෙන ප්‍රචාරකවාදී, ‘අමු’ ගතිය මෙහිදී විවේචනයට ලක්විය.

ආපසු හැරී බලන විට, මෙම විවේචනයේ අර්ථයක් ඇති බව බැහැර කළ නොහැක. මේ යුගයේම පහළ වූ, දේශපාලන අන්තර්ගතයක් සහිත වෙනත් නිර්මාණ ; නිදසුන් ලෙස රත්න ශ්‍රී විජේසිංහ විසින් රචිත, ගුණදාස කපුගේ විසින් ගයන ලද ගීත සමග නන්දා මාලිනී – සුනිල් ආරියරත්න ගීත සංසන්දනය කළ විට මෙම අර්ථය වඩාත් පැහැදිලි වෙයි. ‘පවන’ සිංදුවල එන සටන් පාඨමය ගතිය ගුණදාස කපුගේගේ ‘කම්පන’ ගීත සමුච්චය තුළ නැත. ඒවා දේශපාලනිකය ; එහෙත් කලාත්මක-සෞන්දර්යාත්මක දෘෂ්ටියෙන් ගත්කල වඩාත් සුඛනම්‍යය, යම් සූක්ෂමතාවයකින් යුක්තය.

මෙය ඇත්තක් බව ඇත්තය. එහෙත්, ගුණදාස කපුගේගේ බොහෝ සිංදුවල‍ නොමැති මොකක්දෝ ආකර්ෂණයක් නන්දා මාලිනීග‍ේ ‘අමු’ සිංදුවල ඇත. ‘පාට එලලුවන් පුතණුව’ බඳු සිංදුවකට වඩා, ‘මගෙ‍ පොඩි පැටවුනි, තෙපිවත් මේ සොර මුලුවෙන් මා ගලවනු මැනවී’ යැයි කියන විට ; එහි ලේ නහර සිසාරා යන ගතියක් ඇත. කලාත්මක මිණුම් දඩු අනුව ගත්කල, සුවිශිෂ්ට විය නොහැකි වුවත්,‍ දේශපාලන ඉතිහාසය තුළ තබා බලන විට, නන්දා මාලිනීගේ හඩ විසින් ඉටු කළ කාර්යයෙහි සුවිශේෂීත්වයක්, අද්වීතීයත්වයක් ඇත. මෙම නන්දා මාලිනීමය ගුණය, සිංහල සංගීත ඉතිහාසය තුළ ඇය අනන්‍ය වූ උස් මුදුනක ස්ථානගත කරන්නකි.

අප මේ ජීවත් වන්නේ විසි එක් වන සියවසේ දෙවැනි දශකයේය.
ජේ.ආර්. ජයවර්ධන ජයගත්තේය. රෝහණ විජේවීර, පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එදිරිවීර සරච්චන්ද්‍ර සහ ‘80 දශකයේ විරෝධාකල්ප ගීත විසින් නියෝජනය කළ දේශපාලනය පරාජයට පත්විය.

සියලු දේ බෙහෙවින් පරිවර්තනයට ලක්ව තිබෙන මෙම අලුත් යුගයේ ; වාමාංශික දේශපාලනය වෙනුවට කොරියාවේ රස්සාවලට යාම තරුණ සිහිනය බවට පත්වූ මෙම ටික් ටොක් – ඉන්ස්ටග්‍රෑම් යුගයට සාපේක්ෂව නන්දා මාලිනී – සුනිල් ආරියරත්න විරෝධාකල්ප ගීත ප්‍රවණතාවය නොගැලපෙන සුලු ගතියක් පෙන්වන බව බැලූ බැල්මට පෙනෙයි.

එහෙත් මෙම නව යුගය ඊටම ආවේණික වූ නව ප්‍රතිවිරෝධතා ජාලාවක්, අසහනයන් මාලාවක් ජනිත කොට ඇත.
එම අසහනයන් වෙත දේශපාලන-සංස්කෘතිමය ප්‍රකාශනයක් සපයන කලාත්මක අභ්‍යාසය කුමක්ද? චින්තක ගීතදේව, අජිත් කුමාරසිරි වගේ ‘විකල්ප’ ධාරාවේ අය ඒ ප්‍රකාශනයද? පොදු සමාජය වෙත, එම අභ්‍යාසය මොන තරම් ගෝචරද? සමහර විට, නන්දා මාලිනීට කළ හැකි ලොකුම උපහාරය වනු ඇත්තේ, ඇයගේ සමාජයීය-කලා ව්‍යවහාරයේ වර්තමානය අදාලත්වය මොකක්ද කියන එක ගැන අප අතර බැරෑරුම් කථාබහක් ඇති කරගැන්ම විය හැක.
සියලු වෙනස්කම් තිබියදී, 2022 අරගලයට ආ ඇය ‘මගෙ පොඩි පැටවුනි – තෙපිවත් මේ සොර මුලුවෙන් මා ගලවනු මැනවී’ යැයි ගැයුවාය.

රමිඳු පෙරේරා