අභ්‍යන්තර ඇස සහ ආත්මීය බැඳීම: ප්‍රගීත් රත්නායකයන්ගේ ‘උත්තම පුරුෂ’

13

අභ්‍යන්තර ඇස සහ ආත්මීය බැඳීම: ප්‍රගීත් රත්නායකයන්ගේ ‘උත්තම පුරුෂ’ කලා කෘතියක් ඇසුරින් කෙරෙන දෘශ්‍ය සහ දාර්ශනික විමසුමක්.
ප්‍රගීත් රත්නායක ගේ ‘උත්තම පුරුෂ’ (First Person) නමැති නවතම චිත්‍ර ප්‍රදර්ශනයෙහි අන්තර්ගත කලා කෘතියක් පාදක කරගනිමින් මෙම විචාරාත්මක ලිපිය රචනා කරනු ලැබේ. මෙම විශ්ලේෂණයේදී, ඩොමිනික් ලෝප්ස් විසින් ඉදිරිපත් කරන ලද දාර්ශනික සහ සෞන්දර්යාත්මක සංකල්ප ආභාසයට ගන්නා ලදී.

‘උත්තම පුරුෂ’ (First Person – මම/අපි) සංකල්පය, කලාව, සාහිත්‍යය සහ දර්ශනය තුළ ප්‍රධාන වශයෙන් විස්තර කරනු ලබන්නේ පුද්ගලයාගේ ආත්මීය අත්දැකීම්, අභ්‍යන්තර චින්තනය සහ ස්වීය මනසින් ලෝකය අත්විඳින දෘෂ්ටිකෝණය මුල් කරගනිමිනි. මෙම සංකල්පය හරහා හුදෙකලා ‘මම’ (පුද්ගලයා) යන්න පමණක් නොව, එම ‘මම’ නැමති පුද්ගලයා තමා වටා ඇති සමාජය, පරිසරය සහ අන් අය (‘අපි’) සමඟ පවත්වා ගන්නා සංකීර්ණ මානසික හා චිත්තවේගීය බැඳීම මැනවින් අනාවරණය කෙරේ. විශේෂයෙන්ම, තමාගේ අභ්‍යන්තර මානසික අරගල සහ අනන්‍යතාවය පිළිබඳව පවතින සවිඥානික අවබෝධය කලාත්මක හා දාර්ශනික මානයකින් ප්‍රකාශ කිරීමට මෙම සංකල්පය මූලික වේ.

මෙම ප්‍රදර්ශනයට අයත් සුවිශේෂී කෘතියක් මා මෙම විචාරය සඳහා පාදක කරගෙන ඇත. මෙම සිතුවම දෙස බැලූ විට මතුපිටින් පෙනෙන්නේ අඳුරු රේඛා, වෘත්තාකාර හැඩැති රූප, ශරීර කොටස්, විශාල තනි ඇසක් සහ වලාකුළු වැනි අර්ධ වියුක්ත හැඩතලයි. එහෙත්, “දැකීම තුළින් යමක් ග්‍රහණය කර ගැනීම” (seeing-in) යන සංකල්පයට අනුව, අපගේ මනස මෙම දෘශ්‍ය අංගයන්ගෙන් ඔබ්බට ගොස් ගැඹුරු අර්ථයක් නිර්මාණය කරයි.

සිතුවම දෙස එක්වරම අපේ ඇස යොමු වීමේදී අපට ඉක්මන් අර්ථයක් වහාම ලබා දෙන්නේ සිතුවමේ මධ්‍යගතව පිහිටි විශාල කළු පැහැති රූපය සහ එහි ඇති තනි ඇස යි. ඇස, සිතුවමේ අර්ථය ග්‍රහණය කර ගැනීමේ ද්වාරය ලෙස පෙන්වා දිය හැකියි. නරඹන්නා පළමුව ඇස දකින අතර, පසුව එය වටා ඇති රූපක එකතු කරගෙන “මම” සහ ලෝකය අතර සම්බන්ධතාවය පිළිබඳ අර්ථය ගොඩනඟා දේ. ඇස යනු අර්ථය සෙවීමේ සහ අවබෝධ කර ගැනීමේ මූලික සංකේතයයි.

එම විශාල ඇස මගින් නිරූපණය වන්නේ ‘උත්තම පුරුෂයා’ හෙවත් පුද්ගලයාගේ අභ්‍යන්තර ආත්මයයි (The Self). එය නිරීක්ෂණය කරන, දැනෙන සහ ලෝකය අත්විඳින ‘මම’ යන්නයි. විශේෂයෙන්ම, මෙම සිතුවමේ ඇති විශාල ඇස හරියටම අපේම ඇසක ප්‍රතිබිම්බයක් බඳුය. කලාකරුවා ‘උත්තම පුරුෂ’ සංකල්පය ඔස්සේ මතුකරන එම දෘෂ්ටිකෝණය සමඟ නරඹන්නා වන අපව සෘජුවම සම්බන්ධ කරගැනීමට මෙම සුවිශේෂී ඇස ප්‍රධාන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරයි.

සිතුවමක් යනු හුදෙක් දෘශ්‍ය සංජානනයට දායක වන දෙයක් පමණක් නොව, එය බුද්ධිමය ක්‍රියාවලියක් ද වේ. මෙම සිතුවම්වල ඇස යථාර්ථවාදීව නිරූපණය කරනවාට වඩා එය වියුක්තව විශාල අභ්‍යන්තර අවයවයක් ලෙස නිරූපණය කර ඇත. ඒ අනුව මෙහි ඇස නිරූපණය කරන්නේ බාහිර ලෝකය දකින සාමාන්‍ය ඇසක් ලෙස නොව, “මම” නැතිනම් පුද්ගලයාගේ අභ්‍යන්තරය දෙස බලන “තුන්වැනි ඇස” හෝ මනසේ ඇසක් ලෙසයි. එය එක් අතකින් ආත්ම පරීක්ෂාව සංකේතවත් කරයි. “මම” යනු කවුදැයි වටහා ගැනීමට නම්, බාහිර ලෝකයෙන් වියුක්ත වී තමාගේම සිතුවිලි සහ හැඟීම් දෙස බැලිය යුතු බව එයින් කියැවේ.

අප මෙම සිතුවම දෙස බලා සිටින විට, සිතුවම ද අප දෙස බලා සිටින බවක් හැඟේ. මෙම සිතුවමේ ඇස මධ්‍යගතව හෝ ප්‍රමුඛව තැබීමෙන් මෙම අදහස තීව්‍ර වේ. ඒ අනුව සිතුවමේ ඇති ඇස අප දෙස විමසිල්ලෙන් බලා සිටී. මෙය “මම” (සිතුවම) සහ “අප” (නරඹන්නා) අතර සෘජු සම්බන්ධතාවයක් ඇති කරයි. එය අපට බල කරන්නේ අපගේම/තමාගේම පැවැත්ම ගැන සිතා බැලීමටයි. “මම ඔබ දෙස බලන විට, ඔබ ද මා දෙස බලා සිටී” යන දාර්ශනික අදහස මෙයින් මතු කෙරේ.

මෙම සිතුවම තුළ ඇති විවිධ රූප කොටස් තනි තනිව නොව, එකිනෙක මත ගොඩගැසී, එකිනෙක අතිච්ඡාදනය (Overlap) වෙමින් පවතී. එමගින් “මම” (Individual) යනු හුදෙකලා නොවී, “අපි” (Collective/Social) සමූහයක් සමඟ බැඳී පවතින බව නිරූපණය වේ. මෙම සිතුවමේ කොටස් එකිනෙකින් වෙන් කළ නොහැකි සේම, මිනිසෙකුගේ පෞද්ගලික පැවැත්මද ඔහු වටා ඇති සමාජීය හෝ මානසික බැඳීම්වලින් ද වෙන් කළ නොහැක. සිතුවමේ ඇති රේඛා සහ අත් පා එකිනෙකට පැටලී තිබීම, පුද්ගලයෙකුගේ “මම” කියන අනන්‍යතාවය ගොඩනැඟෙන්නේ ඔහු අත්විඳින “අපි” යන සාමූහික අත්දැකීම් හරහා බව පසක් කරයි.

ඒ අනුව “මම” යන දෘෂ්ටිය සරල එකක් නොවේ. එය සිතුවමෙහි ඇති ව්‍යාකූල රේඛා මෙන් සංකීර්ණ සහ බහුවිධ එකකි. සිතුවමේ ඇති අංගෝපාංග එකිනෙකාට මුක්කු ගැසී තිබීම, “අපි” යන සාමූහිකය නොමැතිව පුද්ගලයා (“මම”) ට පැවතිය නොහැකි බවත්, සාමූහිකය තුළ පුද්ගලයා (“මම”) ගේ අනන්‍යතාවය නැති වී යා හැකි බවත් යන ද්විත්ව අර්ථය දරයි.

මෙම සිතුවමේ ඇස ප්‍රධාන සංකේතයක් ලෙස භාවිත කිරීම කලාත්මක අලංකාරයක් සඳහා යොදන ලද්දක් පමණක් නොව, “First Person” යන තේමාවට අදාළ ගැටලු විග්‍රහ කර ගැනීමට යොදන ලද ප්‍රබල මෙවලමක් බව පැහැදිලි වේ. එය නරඹන්නාට ආරාධනා කරන්නේ තම අභ්‍යන්තරය දෙස බලා, තමා සහ අවට ලෝකය අතර ඇති අන්තර් සම්බන්ධතාවය ගැන නැවත සිතා බැලීමටය.

ජනක අම්බලම්පිටිය (FB)