රඳවා තැබීමේ මධ්‍යස්ථාන තුළ සිදුවන සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් තරයේ හෙළා දැක තිබේ. මෙවැනි සිදුවීම් මගින් නීතියේ ආධිපත්‍යය බිඳවැටෙන බවත්, අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය පළුදු වන බවත්, රැඳවියන් මෙන්ම බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ ද ජීවිත දැඩි අනතුරකට ලක්වන බවත් අද (08) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී ඇත.
පසුගිය ජූලි 5 වැනිදා සිට 7 වැනිදා දක්වා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ. මෙම දරුණු ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් හත් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
දිවයිනේ සෙසු බන්ධනාගාරවලින් ද මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වීම සහ ව්‍යවස්ථාපිත අධීක්ෂණ ආයතන මුහුණ දෙන දුෂ්කරතා පෙන්වා දෙන නීතිඥ සංගමය, බන්ධනාගාර තුළ සිටින පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට සහ එම ආයතන ගරුත්වයකින් හා නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට වහාම පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
වරදක් සිදුකර ඇති බවට ඔප්පු වන රැඳවියන්, බන්ධනාගාර නිලධාරීන් හෝ වෙනත් බලධාරීන් ඇතුළු සියලුම පාර්ශ්වයන් වගකීමට බැඳිය යුතු බවත්, වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා සහයෝගය ලබා දිය යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් කියා සිටී.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් පත් කිරීමට රජය ගත් තීරණය නීතිඥ සංගමය අගය කරන අතර, මෙම පරීක්ෂණය ස්වාධීන, අපක්ෂපාතී, විනිවිදභාවයකින් යුක්ත මෙන්ම කඩිනම් එකක් විය යුතු බව අවධාරණය කරයි. මහජන විශ්වාසය රැඳී පවතින්නේ එම කරුණු මත බව ද ඔවුන් පවසයි.
