ජනාධිපති විශේෂ ව්‍යාපෘති අංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු සහ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ බව කියන සුගීෂ්වර බණ්ඩාර මහතාට පොදු දේපළ පනත යටතේ ඇප ලබාදීමට තරම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් වී නැතැයි තීන්දු කළ කොළඹ, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, සැකකරු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (08) නියෝග කළේය.
සැකකරුට ඇප ඉල්ලමින් පළමු අවස්ථාවේදීම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සාක්ෂි සම්පිණ්ඩනයක් ඉදිරිපත් කර නැතැයි ද, එය සුවිශේෂී කරුණක් ලෙස සලකමින් ඔහුට ඇප ලබාදෙන ලෙස ද මීට පෙර නඩු දිනයේදී ඔහුගේ නීතිඥවරයා ඇතුළු නීතිඥ කණ්ඩායම කළ ඉල්ලීම අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඊට හේතුව ලෙස අධිකරණය සඳහන් කළේ, පොදු දේපළ පනත යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු හෝ ඊට ඉහළ නිලධාරියෙකු විසින් අදාළ මුදල රුපියල් 25,000 කට වැඩි මුදලක් බවට සහතික කළහොත්, එවැනි අවස්ථාවක අසාමාන්‍ය කරුණක් ඉදිරිපත් නොවන්නේ නම් ඇප ලබාදීමේ බලය ඇත්තේ මහාධිකරණයට පමණක් බවයි.
මෙම සිද්ධියට අදාළ මුදල රුපියල් 25,000ට වඩා විශාල වශයෙන් වැඩි බවත්, ඊට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ හෝ ඉහළ නිලධාරියෙකුගේ වාර්තාවක් ලැබී ඇති බවත්, මේ වන විට ඊට අදාළ සාක්ෂි සම්පිණ්ඩනයක් ද ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, එවැනි අවස්ථාවක සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නැති නිසා සැකකරු මුදාහැරීමේ හැකියාවක් නැති බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත්, අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී සිද්ධියට අදාළව දෙවැනි වරටත් ප්‍රකාශයක් ලබා දී ඇති බවයි.
ඒ අනුව, ඔහු සිය පළමු ප්‍රකාශය ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්ට ලබා දෙන මුදල මෙම තැනැත්තාට ලබා නොදුන් බවත්, එය වෙනත් කටයුතු සඳහා ප්‍රයෝජනයට ගත් බවත් සඳහන් කර තිබුණද, ඊයේ ලබාදුන් වැඩිදුර ප්‍රකාශයෙන් එම මුදල වෙනත් පුද්ගලයෙකුට අත්පිට මුදලට ලබා දුන් බවත්, එය ගිණුම්ගත නොකළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. එම අවස්ථාවේදී අධිකරණය විමසා සිටියේ අදාළ මුදල් ලබාදුන්නේ යැයි කියන පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තාද යනුවෙනි.
ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, සැකකාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මුල් ස්ථාවරය වෙනස් කරමින් දෙවැනි වරට ප්‍රකාශ ලබාදුන්නේ ඊයේ (07) දිනයේ බැවින් මෙතෙක් එම පුද්ගලයාගේ ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වූ බවයි.
ඊට අමතරව, විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අංශයේ තවත් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, ඔවුන් දෙදෙනා එකිනෙකා නොහඳුනන බව එහිදී අනාවරණය වූ බවත් ය.
ඒ අනුව එම විශේෂ ව්‍යාපෘති අංශයේ කටයුතු කරන තවත් විශාල පිරිසකින් ප්‍රකාශ ලබාගැනීමට තිබෙන බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය. ජනාධිපති විශේෂ ව්‍යාපෘති අංශය කළ යුතු නිශ්චිත කටයුතු මොනවාද යන්න සම්බන්ධයෙන් සම්මත කරගත් යම් ලේඛනයක් තිබෙන බවත්, කෙසේ වෙතත් මෙම ව්‍යාපෘති අංශය දේශපාලන හිතවත්කම් මත තාවකාලික පදනමින් සහ වෙනත් ආකාරයට විවිධ පුද්ගලයන්ගේ නම් යොදා දේශපාලන කටයුතු සඳහා මුදල් භාවිත කර ඇති බවත් මේ වන තෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාරීන් තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විමසා සිටියේ, අදාළ මුදල් දේශපාලන කටයුතු සඳහා යොදාගත්තේ යැයි ප්‍රකාශ කරන්නේද, නැතහොත් කුමන කටයුතු සඳහා යොදවාගත්තේදැයි අනාවරණය වී ඇත්ද යන්නයි . ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කරන බව විමර්ශන නිලධාරීන් දැනුම් දුන්නේය.
ඒ අනුව මුදල් අවභාවිතයක් සිදුවී ඇත්නම් ඒ කුමන කරුණක් සම්බන්ධයෙන්ද යන්න ගැන පැහැදිලිව කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විමර්ශකයන්ට මෙහිදී දැනුම් දුන්නේය .
ඒ අනුව නඩුව වැඩිදුර කැඳවීම ලබන 22 වැනිදා දක්වා කල් තැබිණි. සැකකාර සුගීෂ්වර බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා සහ නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
