ශානිට – රවීට – හේරත්ට – තරිඳුට එරෙහිව දැමූ නඩු ඉල්ලා අස්කර ගැනීමේ සම්පූර්ණ කතාව මෙන්න !

9

අධිකරණ බලය අවභාවිත කරමින් චැනල් ෆෝ විමර්ශනයට අදාළ ව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින විමර්ශනයේ පැමිණිලිකරුවන්, සාක්ෂිකරුවන්, විමර්ශකයන් සහ පැමිණිල්ල මෙහෙයවන්නන් ඇතුළු පිරිසකට එරෙහිව පෞද්ගලික නඩු පැවරීමේ අධිකරණ බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන ඩයස් බණ්ඩාරලාගේ අජිත් ශාන්ත කුමාර ජයතිලක මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) දැඩි ලෙස අවවාද කළේය.

අධිකරණය එසේ අවවාද කළේ මීඩියාඑල්කේ සංස්කාරක මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න, විශ්‍රාමික පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් සහ තවත් පිරිසකට එරෙහිව ඩයස් බණ්ඩාරලාගේ අජිත් ශාන්ත කුමාර ජයතිලක මහතා ගොනු කළ පෞද්ගලික අපරාධ නඩු 08ක් අද (08) කොළඹ, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේදී කැඳවූ අවස්ථාවේදී ය.

එම නඩු 8න් මුලින්ම කැඳවනු ලැබුවේ ශානි අබේසේකර මහතා සහ රවී සෙනවිරත්න මහතා වගඋත්තරකරුවන් කරමින් පවරා තිබූ නඩුවකි. එහිදී නීතිඥ නියෝජනයක් නොමැතිව තමන් විසින්ම කරුණු දක්වමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත කුමාර ජයතිලක මහතා සඳහන් කළේ ශානි අබේසේකර මහතා සහ රවී සෙනවිරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් බොරු සාක්ෂි ඉදිරිපත් කිරීම මගින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 188, 189, 190, 191, 192, 198, 200 සහ 209 යන වගන්තිවල සඳහන් වැරදි ද, අධිකරණ අපහාස පනතේ සඳහන් වැරදි ද, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ සඳහන් දඬුවම් ලැබිය හැකි වැරදි ද සිදු කර ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෞද්ගලික අපරාධ නඩුවක් ගොනුකරන්නේ කුමන පදනමකින්දැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රශ්න කළ අතර, පැමිණිලිකාර ශාන්ත කුමාර ජයතිලක මහතා සඳහන් කළේ ඔවුන් දෙදෙනා ඉදිරිපත් කළ ප්‍රකාශයේ අසත්‍ය කරුණු ඇතුළත් වන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුකටයුතු පවත්වාගෙන යෑමට, ඔහු විසින්ම සඳහන් කළ අධිකරණ අපහාස පනත අනුව මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රතිපාදන නොමැති බැවින් එම පනත යටතේ සඳහන් වැරදිවලට සැකකරුවන් ලෙස නම් කර ඇති පිරිසට සිතාසි නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය. ඉන් අනතුරුව දණ්ඩ නීති සංග්‍රහය යටතේ කළ වැරදි ගැන කරුණු දක්වන ලෙස දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා, ශාන්ත කුමාර ජයතිලක විසින් කළ කරුණු දැක්වීමෙන් පසු නියෝගය ලබාදෙමින් ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය අත්සන් කර ඇත්තේත්, ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටා ඇත්තේත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රාදේශීය බල සීමාවේ නොවන බවයි. එසේම පැමිණිල්ල මගින් සාධාරණ ලෙස කරුණු ඉදිරිපත් කර නැති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, ඉහත කරුණු දෙක මත සිතාසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

ඉන්පසු අයිසීසීපීආර් පනත යටතේ සිතාසි නිකුත් කිරීමට අදාළ ව විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා කරුණු දැක්වූ අතර, ඊට අදාළ ව නිසි හේතු දක්වමින් මහේස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

ඉන්පසු අජිත් ශාන්ත කුමාර ජයතිලක මහතා ගොනු කළ ඊළඟ පෞද්ගලික අපරාධ නඩුව කැඳවූ අතර, එහිදී ඔහු සඳහන් කළේ ශානි අබේසේකර මහතා සහ රවී සෙනවිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙන ලේඛන සොරකම් කර, හොර බඩු ළඟ තබාගැනීමක් කර ඇති බවයි. ඔවුන් අදාළ ලේඛන සොරකම් කරගෙන ඇත්ද යන්නට අදාළ සාක්ෂි ඉදිරිපත් කර තිබේදැයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටි අතර, ඊට අදාළ ව නිසි පිළිතුරක් ලබාදීමට පෞද්ගලික නඩුව ගොනු කළ ශාන්ත කුමාර ජයතිලක මහතා අපොහොසත් විය. ඔහු සඳහන් කළේ ශානි අබේසේකර මහතා සහ රවී සෙනවිරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක පිටපතක් තමන් ඉදිරිපත් කරන බවයි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බී/35882 නඩුවේ පැමිණිලිකරුවන්ට, සාක්ෂිකරුවන්ට, විමර්ශකයන්ට සහ පැමිණිල්ල මෙහෙයවන්නන්ට එරෙහිව පෞද්ගලික අපරාධ නඩු ගොනුකරමින් අධිකරණ බලය අවභාවිත කරමින් සිදුකරන ක්‍රියාදාමය අධිකරණයට නොවැටහෙන බව තමන් විශ්වාස කරන්නේදැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා, මීට පෙර මෙවැනිම පෞද්ගලික නඩුවක් ගොනු කර එය ප්‍රතික්ෂේප කළ පසු නැවත එවැනිම නඩු කිහිපයක් ගොනු කර ඇති බව පෙනී යන්නේයැයි සඳහන් කළේය.

අධිකරණ බලය අවභාවිත කරමින්, අධිකරණයේ කාලය නාස්ති කරමින් මේ කරන්නේ බරපතළ වරදක් බව සඳහන් කළ අධිකරණය මෙම නඩුවට අදාළ ව කරුණු තහවුරු කරන ලෙසත්, ඉන්පසු තමන් සුදුසු නියෝගයක් ප්‍රකාශයට පත්කරන බවත් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය

අනතුරුව පැමිණිලිකාර හිටපු ගුවන් හමුදා නිලධාරියා සඳහන් කළේ තමන් මෙම නඩුව ඉල්ලා අස්කරගන්නා බවයි.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා, විශ්‍රාමික පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් මීඩියාඑල්කේ යූටියුබ් නාලිකාවේ විකාශය කිරීමට අදාළ ව ද ඩයස් බණ්ඩාරලාගේ අජිත් ශාන්ත කුමාර ජයතිලක මහතා පෞද්ගලික නඩුවක් ගොනු කර තිබූ අතර, එහි සැකකරුවන් ලෙස මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, රවී සෙනවිරත්න, ශානි අබේසේකර සහ ප්‍රියදර්ශන හේරත් මහතා නම් කර තිබිණි. එම පෞද්ගලික නඩුව ගොනු කළ අවස්ථාවේ අනාවරණය වූයේ එහි මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ සහ පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් මහතාගේ ලිපිනය නොදනී ලෙස සටහන් කර ඇති බවයි. පෞද්ගලික නඩුවේ සිතාසි නිකුත් කිරීමට තීරණය කළහොත් මහේස්ත්‍රාත් හෝ අධිකරණය අදාළ අයගේ ලිපිනයක් සොයාගෙන සිතාසි බාර දිය යුතුදැයි මහේස්ත්‍රාත් මෙහිදී ප්‍රශ්න කළේය.

මෙම නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණ කටයුතු වාර්තා කිරීමට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අධිකරණයට ගොස් තම රාජකාරියේ නියැලී සිටි අතර, පැමිණිලිකාර ඩයස් බණ්ඩාරලාගේ අජිත් ශාන්ත කුමාර ජයතිලක විසින් මාධ්‍යවේදියා පෙන්වමින් තරිඳු ජයවර්ධන යන අය අධිකරණයේ සිටින බව දැනුම් දුන්නේය. ‘තමුන් මේ මාධ්‍යවේදීන්ටත් පෞද්ගලික නඩු දාලද?’ යනුවෙන් විමසූ කොටුව මහේස්ත්‍රාත්වරයා තමන් මේ නඩුවට අදාළ ව කිසිවකුට සිතාසි නිකුත් කර නැති නිසා අධිකණයේ වෙනත් කටයුත්තකට සිටින කිසිවකුගෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් නැති බව සඳහන් කළේය. අදාළ අපරාධ නඩුවේ අපරාධයක් කළැයි චෝදනා කරන අධිකරණ බල ප්‍රදේශය ගැන ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා, පැමිණිලිකාර ඩයස් බණ්ඩාරලාගේ අජිත් ශාන්ත කුමාර ජයතිලක මහතා අධිකරණ බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් අවවාද කළේය. අදාළ නඩුවේ චෝදනා ගැන කරුණු තහවුරු කරන ලෙස අධිකරණය දැනුම් දුන් අතර එම අවස්ථාවේ අදාළ පැමිණිලිකරු දැනුම් දුන්නේ මෙම නඩුව තමන් ඉල්ලා අස්කර ගන්නා බවයි.

උදය ගම්මන්පිල මහතාගේ පොතේ සඳහන් කරුණක් සාක්ෂියක් ලෙස දක්වමින් ශානි අබේසේකර මහතාට තවත් පෞද්ගලික නඩුවක් ඔහු විසින් ගොනු කර තිබිණි. ඒ නඩුව පවරා ඇත්තේ ද නිසි අධිකරණ බලයක් ඇති අධිකරණයක නොවන බව පිළිගත් අදාළ පැමිණිලිකාර හිටපු ගුවන් හමුදා නිලධාරියා එය ද ඉල්ලා අස් කර ගන්නා බව දැනුම් දුන්නේය.

මේ ආකාරයට ඔහු ගොනු කළ පෞද්ගලික නඩු 8න් එක් නඩුවක සිතාසි යැවීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණයෙන් නඩුව ඉවත දැමූ අතර, ඉතිරි නඩු 7ම ඔහු ඉල්ලා අස්කරගත්තේය.