ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සඳහා රජය නියමිත ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවත්, එමඟින් කිසිදු පාර්ශවයකින් ඊට විරෝධයක් එල්ල නොවන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති, ආචාර්ය දීපිකා උඩගම පැවසුවාය.
ආචාර්යවරිය මේ බව පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඊයේ (04) කොළඹදී සංවිධානය කරන ලද ප්‍රසිද්ධ සංසදයක් අමතමිනි. ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් යටතේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ද විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය සූදානම් වන බවට පැතිර යන තොරතුරු මුල් කරගනිමින් මෙම සංසදය සංවිධානය කර තිබිණි.
ආචාර්ය උඩගමට අනුව රජය 2024 සිය මැතිවරණ ප්‍රකාශනය මඟින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු වී ඇති නමුත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා පමණක් වෙන් වූ වෙන් වෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම නුසුදුසු ය. කෙසේ වෙතත්, සේවා කාලය දීර්ඝ කිරීමක් සලකා බලන්නේ නම්, එය ශ්‍රේෂ්ඨාධිකරණවල සේවය කරන විනිසුරුවරුන්ට පමණක් නොව සියලුම විනිසුරුවරුන් සඳහා අදාළ විය යුතු බව ද ඇය මෙහිදී පැවසුවාය.
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 65, 63 සහ 61 ලෙස නියම කර ඇත. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය මෙතෙක් නිල වශයෙන් තීරණයක් ගත් බව ප්‍රකාශ කර නැතත්, ප්‍රධාන වෘත්තීය කණ්ඩායම් කිහිපයක විශ්‍රාම වයස දීර්ඝ කිරීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
රජය අධිකරණ ක්ෂේත්‍රයේ සාමාජිකයන්ගේ විශ්‍රාම වයස පමණක් නොව තවත් ප්‍රධාන වෘත්තීය කණ්ඩායම් කිහිපයක ද විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සලකා බලමින් සිටින බව හෙළි වී තිබේ. විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින පාර්ශ්ව තර්ක කරන්නේ ලොව බොහෝ සෙසු රටවල ඉහළ උසාවිවල විශ්‍රාම වයස අවුරුදු 70ට වඩා වැඩි මට්ටමක පවතින බවයි. එමෙන්ම නීති ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍රවලදී අත්දැකීම් බහුලවීමත් සමඟ නඩු තීන්දු ලබාදීමේ පරිණතභාවය සහ ගුණාත්මකභාවය ඉහළ යන බව ඔවුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ, මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජාත්‍යන්තර හොඳම භාවිතයන් (international best practices) සමඟ ගැළපෙන අතර, එය අධිකරණයේ කාර්යක්ෂමතාව, ස්ථාවරත්වය සහ උසස් තත්ත්වයේ යුක්තිය පසිඳලීම සඳහා ඉවහල් වන බවයි. මහාචාර්යවරයාට අනුව මෙම පියවර මඟින් ඉහළ පළපුරුද්දක් ඇති විනිසුරුවරුන්ට වැඩි කාලයක් අධිකරණ පද්ධතිය තුළ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන අතර, එමඟින් අධිකරණ තීන්දු ගැනීමේ ස්ථාවරත්වය සහ ගුණාත්මකභාවය පවත්වා ගත හැකිය.
ඉහළම අධිකරණ මට්ටම්වලදී නිතර නිතර විනිසුරුවරුන් වෙනස් වීම අධිකරණ තීන්දුවල ස්ථාවරත්වයට බාධාවක් විය හැකි නමුත්, ඔවුන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ අභියාචනාමය අර්ථකථනවල සහසම්බන්ධතාවට (coherence) පිටුවහලක් වන බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම එය ජ්‍යෙෂ්ඨ අධිකරණ ක්ෂේත්‍රයේ පවතින දක්ෂයන්ගේ හිඟය මඟහරවා ගැනීමට සහ ප්‍රමාණවත් අත්දැකීම් සහිත විනිසුරුවරුන්ගෙන් උසාවි සමන්විත වීම තහවුරු කිරීමට උදව් වන බව ද ඔහු පවසයි.
නීති පද්ධතීන් වඩාත් සුමටව සහ ඵලදායීව ක්‍රියාත්මක වන ලෝකයේ නවතම ප්‍රවණතා සහ උදාහරණ උපුටා දක්වමින් මහාචාර්ය මහානාමහේවා පෙන්වා දෙන්නේ, අධිකරණ අත්දැකීම්වල වටිනාකම පිළිගනිමින් බොහෝ රටවල් ඉහළ උසාවිවල විනිසුරුවරුන් සඳහා ඉහළ විශ්‍රාම වයසක් පවත්වාගෙන යන බවයි.
නිදසුනක් වශයෙන්, ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විනිසුරුවරුන් සඳහා ස්ථාවර විශ්‍රාම වයසක් නොමැත. (ඔවුන්ට මරණය හෝ ඉල්ලා අස්වීම දක්වා සේවය කළ හැකිය). දැනට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරන වයස්ගතම විනිසුරුවරයා වන්නේ ක්ලැරන්ස් තෝමස් (Clarence Thomas) ය. 1948 ජූනි 23 දින උපන් ඔහු මේ වන විට 78 වැනි වියේ පසු වේ. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙතෙක් සේවය කළ වයස්ගතම පුද්ගලයා වන්නේ විනිසුරු ඔලිවර් වෙන්ඩෙල් හෝම්ස් (Oliver Wendell Holmes, Jr.) ය. ඔහු 1932 ජනවාරි 12 දින විශ්‍රාම ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 90 යි දින 309 ක් විය.
කැනඩාව, එක්සත් රාජධානිය, ජැමෙයිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නෝර්වේ සහ ඩෙන්මාර්කය වැනි රටවල් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70 හෝ ඊට වැඩි මට්ටමක නියම කර ඇති අතර, ෆින්ලන්තය සහ ස්වීඩනය වැනි තවත් රටවල් කිහිපයක් එය අවුරුදු 67 හෝ ඊට වැඩි මට්ටමක නියම කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
