සීඅයිඩිය හමුවේ සලේ – පිල්ලෙයාන් ගැන කරුණා අම්මාන් කට අරී !

21
(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

මෙහිදී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාර්ශ්වය සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අතර පැවැති සම්බන්ධය, ඔවුන් නැගෙනහිර පළාතේදී ඒකාබද්ධව සිදු කළ කටයුතු සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර ඇත. පිල්ලෙයාන්ගේ කණ්ඩායමට නවාතැන් පහසුකම් සැපයීමේදී සුරේෂ් සලේ විසින් සම්බන්ධ කළ පුද්ගලයන් පහසුකම් සපයා ඇති බවත්, ඒවාට අදාළ මූල්‍ය පහසුකම් සපයා ඇත්තේ ද ඔවුන් විසින් බවත් කරුණා අම්මාන් කරුණු සහිතව අනාවරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් යන දෙදෙනාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය දක්වමින් සිටියද, ඔවුන් දෙදෙනා අතර දීර්ඝ කාලීන විරසකයක් ද පැවැති බවට වාර්තා පළ විය.

මේ අතර පිල්ලෙයාන් පාර්ශ්වය මගින් පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වධකාගාරය සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන් කරන අදාළ ආරංචි මාර්ග, කොළඹ නගරය තුළදී ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට සහාය දුන් පිරිසක් පිළිබඳව ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව පවසයි.