කරන්න ඕනෙ දේ මම කරන්නම් – කරන්නාගොඩ ඉහළ නිලධාරීන්ට කියලා !

20

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සම්බන්ධ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇප මත මුදා හරින ලෙස  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේය.

සැකකරු ලක්ෂ  25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ 03දා පෙරවරුවේ අල්ලස් කොමිසම විසින්  අත්අඩංගුවට ගනු ලැබිණි. වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා සිටියේ , 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ එවකට පැවති ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති බවයි.

2006 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය හට නිලධාරීන් බඳවා ගැනීමේ දී, බඳවා ගැනීම සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැතිව, විධායක අංශයේ ශිෂ්‍ය හට නිලධාරියෙකු වශයෙන් බැඳීම සහ එතෙක් පැවති ක්‍රමවේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් වැය කර සහභාගිවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ හට අවස්ථාව මෙම සැකකරු විසින්  සලසා දී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ නීතිඥවරිය මෙලෙස සඳහන් කළාය.

” ස්වාමීනි මේ විමර්ශනය පටන් ගන්නේ 2016 ජූලි 25 වන ලැබුණු පැමිණිල්ලකට අනුව සුදුසුකම් ඇති සිසුන්  නාවික හමුදාවේ සිටියදී  සුදුසුකම් නැති අය ශිෂ්‍යබට ලෙස බ්‍රිතාන්‍යයේ පැවති නාවික හමුදාවේ පාඨමාලාවකට යවලා. ස්වාමීනි සිද්ධියට අදාලව සිදු කරන ලද විමර්ශනවලදී 2016  ඔක්තෝබර් මස වන විටත් මෙම සැකකරු සිවිල් පුරවැසියෙක් ලෙසයි සිටින්නේ. ඒ සිටියදීම එංගලන්තයේ රාජකීය නාවික හමුදාවේ පාඨමාලාවකට  සැකකරුගේ නම යෝජනා කරලා තිබෙනවා.”

” මෙම පාඨමාලාව ඉතා ගෞරවනීය පාඨමාලාවක් නාවික හමුදාවට බැදී වසර දෙකක පුහුණු කාලයක් අවසන් කිරීමෙන් පසු දක්ෂතම ශිෂ්‍යයන් තමයි මෙම හමුදා පුහුණුවට ශිෂ්‍ය භටයන් ලෙස යවන්නේ. 2006 ඔක්තෝබර් වල සැකකරුගෙත් නම යවලා. මෙම පාඨමාලාවට බඳවාගන්නේ ඉතාමත් සීමිත පිරිසක් සීමිත අවස්ථාවක් තමයි හිමිවන්නේ. මෙම සැකකරු සිවිල් පුරවැසියක් ලෙස සිටියදී මෙම නාම ලේඛනයට ඇතුළත් කරලා ලහි ලහියේ එම පාඨමාලාවට යැවීමට මෙම සැකකරු කටයුතු කරලා.”

” උසස් පෙළින් පසුව ප්‍රතිඵල ලැබුණට පස්සේ තමයි අයදුම් කරලා තියෙන්නේ එංගලන්තයේ තමයි මෙම පාඨමාලාව තිබුණේ. ඒකට සහභාගී වෙන්නේ ඉහළ තලයේ නිලධාරීන් නාවික හමුදාවේ විධායක මට්ටම් වල සිටින සුදුසුකම් සහිත අය. ගණිතය විද්‍යාවවලින් විෂයයන් තුනක් සමත්ව තියෙන්න ඕනි සාමාන්‍ය පෙළ සඳහා ඉංග්‍රීසි විෂය මෙම පාඨමාලාවට බලපානවා. නාවික හමුදාවේ විධායක අංශ වලින් තමයි  බඳවාගන්නේ.

” නමුත් මෙම සැකකරු උසස් පෙළ කලා අංශයෙන් තමයි කරලා තියෙන්නේ. මෙම පාඨමාලාවට අයදුම් කරන සුදුසුකම් එම නිසා වෙනස් කරලා තියෙනවා. විද්‍යා හා කලාවලින් විෂයන් දෙකක් සමත්වීම යැයි පවසා පුවත්පත්වල දැන්වීම් පළ කරලා තිබෙනවා.

” මෙම සැකකරු විසින් යෝෂිත රාජපක්ෂගේ සහතික එංගලන්තයේ පැවති එම පුහුණුවට යැවීම සඳහා හුවමාරු කර තිබෙනවා. එම අදාල ආයතන සමඟ. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලට ද යෝෂිත රාජපක්ෂ සහභාගී වෙලා තියෙනවා. සුදුසුකම් වලින් තෝරාගන්නා ලද අයගේ සහතිකපත් විභාග දෙපාර්තමේන්තුවට යවා තිබුණද යෝෂිත රාජපක්ෂගේ සහතික ඒ සඳහා යවා නොතිබුණු බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූයේ. එසේ නොයවා ජ්‍යෙෂ්ඨ මණ්ඩලිකවරයා වෙත යවා තිබේ.

“ස්වාමීනි දෛවයේ සරදමක් වගේ සුදුසුකම් අඩු කරලා තමයි මෙම සැකකරු විසින් යෝෂිත රාජපක්ෂ මෙම පාඨමාලාවට යොමු කර තිබෙන්නේ. සිංහල වලට තිබෙන්න ඕනි සුදුසුකමක් නමුත් මොහුට තිබ්බේ සාමාන්‍ය සාමාර්ථයක්. ඒ බව ඉහළ නිලධාරීන්ට දැන්වූ පසු මෙම සැකකරු විසින් දිගටම අයදුම් පත් කැඳවන්න. කළ යුතු දේ මම කරන්නම් යනුවෙන් පවසා තිබූ බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.

තවද දෙවැනි වරටත් යෝෂිත රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම් වෙනස් කිරීමට අවශ්‍ය බැවින් 2006/12/6 වන දින පුවත්පත් දැන්වීමක් පළ කර තිබූ බවද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

මහේස්ත්‍රාත්වරයා

මේ සිද්ධිය සම්බන්ධයෙන් වරදක් කරලා තියෙනවා  කියලා කරුණු දක්වා තිබෙනවා. ඇප ලබා නොදීමට තිබෙන කරුණු මොනවාද? ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන්න.

අල්ලස් කොමිසම

” ස්වාමීනි මෙම සිද්ධියට අදාලව විමර්ශන පවතින්නේ අවසන් අදියරේ, තවදුරටත් සිද්ධියට අදාළව පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙනවා. එම නිසා ඇප ලබා නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා”

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ  ශවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියේ එවකට පැවැති යුද කටයුතු වාතාවරණය හමුවේ යුද හමුදාවට නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට නිලධාරීන් බඳවා ගැනීමේ අවශ්‍යතාවයක් තිබූ බැවින් මෙලෙස ක්‍රියා කළ ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා මේ ලෙස සඳහන් කළේය.

” ස්වාමීනි,මේ අල්ලස් කොමිසම විසින් සිදු කරන්නේ වැරදි වැටහීමක් ඇති කිරීම මෙම සිද්ධිය සම්බන්ධයෙන්.එවකට රටේ පැවැති අධික යුධමය තත්ත්වය හමුවේ හමුදාවට විශාල නිලධාරීන් පිරිසක් බඳවා ගනු ලැබුවා. ඒ අනුව යුද හමුදාවට 50,000ක පිරිසක් සහ නාවික හමුදාවට 25,000ක පිරිසක් සහ   ගුවන් හමුදාවට 15,000ක පිරිසක් බඳවා ගැනීමට කටයුතු කර ඇති බවයි.

තවද රටේ ජනාධිපතිතුමාගේ පුතා නාවික හමුදාවට ගියාම ජනතාව අතර තමන්ගේ දරුවා ද හමුදාවට යැවීමේ  අර්ථයක් නිරූපණය කරනවා. අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි, ගණිතය, දෙමළ, සිංහල ඇතුළු විෂයන් හයක් එකවර සමත් වී තිබීම පමණයි මේකට බැලුවේ

යෝෂිතට අවශ්‍ය සුදුසුකම් තිබුණා. ඔහු ජාත්‍යන්තරව ජාත්‍යන්තරව ද එහෙ රටේ කරන ලද පුහුණුවෙන් ” highest performance ” දක්වලා තිබෙනවා. අදාළ කාල සීමාවට තමයි ඔහු සේවයෙන් පවා ඉවත් වෙලා තිබෙන්නේ. මෙම සැකකරුට දරුවො නැහැ. බිරිඳ ඉන්න රෝගී තත්ත්වයෙන්. ඇයගේ වෛද්‍ය වාර්තාව සහ ඡායාරූප අධිකරණයට ඉදිරිපත් කරනවා.

මේ සියලු කරුණු සලකා බලා සැකකරු ඇපමත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා  සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් කරුණු අනාවරණය නොවූ නිසා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළා.

නඩුව අගෝස්තු 4 යළි කැදවීමට  නියමිතයි.