පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කියන්නේ ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වුණු බිහිසුණුම සහ සංවිධානාත්මකම අපරාධය. එල්ටීටීඊ සංවිධානයටත් බැරිවුණා එකම වෙලාවක මේ වගේ සංවිධානාත්මක ප්‍රහාර මාලාවක් එල්ල කරන්න. ඉස්ලාම් අන්තවාදීන් අට දෙනකුට විතරක් මේ වගේ ක්‍රියාවක් තනියම කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මුල ඉඳන් අපිට තිබුණා. ඒ වගේම තමයි 2014 දර්ගා නගරයේ සිදුවීමේ සිට ගිංතොට, මාවනැල්ල, දිගන වගේ සිදුවීම් දේශපාලනය සහ 2015ට පෙර සිදුවූ යම් යම් අපරාධ ගැන විමර්ශන කඩාකප්පල් කිරීමට ගත්තු උත්සාහයන් ගැන බලද්දි ඉතාම පැහැදිලිව 2019 අප්‍රේල් 21 වැනිදාම මේක ගැන සැක කරන්න අපිට හේතු ගණනාවක් තිබුණා. මේක දේශපාලන කුමන්ත්‍රණයක්ද කියන එක ගැන අපි හෙව්වා. ඒ නිසා තමයි මේ ගැන හොයන්න පටන් ගන්නෙ. ඒකෙදි සෑහෙන කරුණු රැසක් අපිටත් හොයාගන්න පුළුවන් වුණා, අපේ සැකය තවත් වැඩිකරන. ඕනෙ කෙනෙකුට පුළුවන් අපි ගැන හොයන්න. අපි කොන්ත්‍රාත් කරනවද බලන්න. කිසිම ප්‍රශ්නයක් නෑ.

ශානි අබේසේකර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාල විමර්ශනයේ අධීක්ෂණ නිලධාරියා. ඔහුගේ ඉතිහාසය දිහා බැලුවොත් ජනාධිපතිවරු, අගමැතිවරු, පොලිස්පතිවරු කිව්ව දේවල්වත් ගණන් නොගෙන තමන්ගෙ රාජකාරිය කරපු ඉතිහාසයක් ඔහුට තිබෙනවා. ඔහු පගාව ගත්තා කියලාවත්, ඔහු වධහිංසා කළා කියලවත්, ඔහු කාන්තාවෝ දූෂණය කළා කියලවත්, ඔහු බීලා චාටර් වුණා කියලවත් කිසිම චෝදනාවක් නෑ. ඔහුට සහ ඔහු යටතේ ඉන්න අයට මුදල් දෙන්න ඇවිදින් ඒ්වා නොගෙන, එහෙම මුදල් දෙන්න ආවා කියලා අධිකරණයට කරුණු වාර්තා කළ සිදුවීම් පවා තිබෙනවා. ඒ වගේම තමයි 2019 අප්‍රේල් සිට 2019 නොවැම්බර් දක්වා පාස්කු විමර්ශන ඉතාම හොඳට කරගෙන ගියේ ඔහුගේ අධීක්ෂණයෙන්. ඉතින් ඔහු මේ වැඩේ හරියටම කරයි සහ විපක්ෂයේ සහ ආණ්ඩුවේ කිසිම බලපෑමකට යටත් නොවී නීතියට අනුව මේ විමර්ශනය හරියට මෙහෙයවයි කියලා අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම ඔහුගෙන් පහුගිය කාලෙ පළිගත්තු විදිහ අපි දැක්කා. ඔහුට විරුද්ධව අපහාස කරපු හැටි අපි දැක්කා. ඒකෙනුත් තේරෙනවා, ඔහු මේ වැඩේ හරියට කරයි කියන විශ්වාසය චූදිත පාර්ශ්වවලටත් තියෙනවා කියලා.

රාජ්‍ය ආරක්ෂාව බරපතල විදිහට අනතුරට පත්වුණේ මේ තොරතුරු හංගගෙන් ෆයිල්වල දාගෙන හිටපු එකෙන්. එහෙම තොරතුරු හංගගෙන ෆයිල්වල දාගෙන ඉඳීම නිසා සහ පටු දේශපාලන අරමුණු ඉටු කරගන්න කරපු වැඩ නිසා ජාතික ආරක්ෂාව බරපතල විදිහට අනතුරට ලක්වෙච්ච දෙයක් ගැන තමයි අපි කතාකරන්නේ. මේවා කතා නොකර ඉන්නවා කියන්නේ ජාතික ආරක්ෂාව හෙටත් අනතුරට ලක්වෙන්න පුලුවන් කියන එක. මේවා ගැන කතා කරන්න එපා කියන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා දකින්න කැමති අය.

විමර්ශන තොරතුරු මම කියපු හැම දෙයක්ම අධිකරණයට වාර්තා කරපුවා තමයි මම කිව්වේ. ඒ්වා හැර අනිත් කියපු තොරතුරු විමර්ශනය නොවුණු දේවල්. ඒ්වා අපි දිගින් දිගටම කියන්නේ ඒවා ගැන විමර්ශන කරවන්න තමයි. අනිත් එක තමයි මේ විමර්ශනයට අදාලව අධිකරණයට කරුණු වාර්තා කළ ඇතැම් තොරතුරු පවා අපි විමර්ශනයේ සංවේදීකම ගැන හිතලා තවම එළියට කියලා නෑ. එළියේ කියන්න පුලුවන් දේවල් විතරයි අපි එළියේ කියන්නේ. අපි කරන්නේ විමර්ශනවලට බාධා කරන එක නෙමේ, අපි කරන්නේ සහයෝගය දක්වන එක. අනිත් එක තමයි ලංකාවේ මෑත ඉතිහාසයේ වෙච්ච සාහසිකම අපරාධයේ සෑම තොරතුරක්ම දැන ගැනීමේ අයිතිය පුරවැසියන්ට තිබෙනවා. ඒ අයිතිය සාක්ෂාත් කරන එක ජනමාධ්‍යවේදියෙකුගේ ගකීමක්.   සමාජ මාධ්‍යයේ නඩු අහනවා කියලා චෝදනා කරන අය තමයි ඇත්තටම සමාජ මාධ්‍යයේ නඩු අහන්නේ. අපි නෙමෙයි.

විමර්ශකයන් දඩයම් කරන්න කරපු තවත් ලොකුම කුමන්ත්‍රණයක් තමයි කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ B 1411/22 නඩුව යටතේ කරපු විමර්ශනය. මේක පටන් ගන්නේ 2021 නොවැම්බර් 11 වැනිදා මාසෙදි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවෙදි කරපු කතාවකින්. ඔහු කියනවා කුලියාපිටියෙ සහරාන්ගේ බිරිඳගෙ දෙර සිදුවීමක් ගැන. ඒක කියලා දින කිහිපයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරලා හිටපු නිරෝෂිනී හේවාපතිරණ කියන නිලධාරිනිය නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත් කරන්න කියලා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ සම්බන්ධීකරණ නිලධාරී පාලිත සිරිවර්ධන මහත්මයා ලියුමක් යවනවා පොලිසියේ මානව සම්පත් කළමනාකරණ දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිට. ඉන් පස්සේ 2021 දෙසැම්බර් 02 වැනිදා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සම්බන්ධීකරණ නිලධාරීපාලිත සිරිවර්ධන මහතා පොලිස්පතිට යවනවා නිර්මාාමික පෙක්සමක් ඇවිත් තියනවා ඒක අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා විමර්ශන කරවන්න කියලා. පෙත්සමේ දිනේ සීල් එක තියෙන්නෙත් දෙසැම්බර් දෙකමයි. ඒ් අනුව විමර්ශනය බාර දෙනවා ඊට දින කිහිපයකට කලින් සීඅයිඩියට මාරු කරපු නිරෝෂිනී හේවාපතිරණ කියල නිලධාරිනියටම.  මේ බොරුව වැඩිකල් යන්න ලැබුණේ නෑ. ඒ කට හේතුව තමයි රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදි රොහාන් ගුණරත්න කියන පුද්ගලයාම කියනවා මේක බොරුවක් කියලා. පසුව තහවුරු වෙනව කුලියාපිටිය කතාව බොරුවක් කියලා. නිර්නාමික පෙත්සම් ගෙන්වාගෙන, තමන්ට ඔ්න අය දාගෙන ශානි අබේසේකරව දඩයටම් කරන්න ගියාට ඒක කර ගන්න බැරිවුණා.  එතකොට කුලියාපිටිය කතාව ශානිලාව දඩයම් කරන්න හදපු බොරු කතාවක්.

රාජ්‍ය බුද්ධි සේවය කරගෙන ගියපු කිසිම විමර්ශනයක් සීඅයිඩිය අතට ගත්තේ නෑ. ටීඅයිඩිය කරගෙන ගිය විමර්ශනත් සීඅයිඩිය අතට ගත්තේ නෑ. එහෙම ගන්න හැකියාවකුත් නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවර නියෝග අනුව 2019 අප්‍රේල් 21 වන විට ඔවුන්ට විමර්ශන පටං ගන්න පුලුවන් රුපියල් ලක්ෂ 50කට වැඩි සාපරාධී විශ්වාසය කඩකිරීම් සහ ඒ හා ආශ්‍රිත මුදල් ගනුදෙනු සම්බන්ධ වැරදි පමණයි. මිනීමැරුමක් ගනවත් ඔවුන්ට ඔවුන්ගේ වුවමනාව මත විමර්ශන ආරම්භ කරන්න බෑ. ජනාධිපති හෝ අමාත්‍යංශ ලේකම් හෝ පොලිස්පති ලිඛිතව ඒ ගැන විමර්ශනය කරන්න කියලා එව්වොත් පමණයි අපරාධ ඒ් ගැන විමර්ශනය ආරම්භ කරන්න පුලුවන්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාල කිසිම විමර්ශනයක් සීඅයිඩිය ඔවුන්ගේ වුවමනාව මත අරගෙන කරලා නෑ.

මේකත් පටු දේශපාලන අරමුණකින් කියන කතාවක්. බුද්ධි තොරතුරුනිලන්ත ජයවර්ධනමහත්තයාට ලැබුණේ 2019 අප්‍රේල් 04 සහ 05 දිනවල. නිලන්ත ජයවර්ධන මහතා ඒක ජාතික බුද්ධි ප්‍රධානීට යොමු කරනවා. ජාතික බුද්ධි ප්‍රධානී එය පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තට යොමු කරනවා. ඔහු එය ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඇතුළු හතර දෙනකුට යොමු කරනවා. නමුත් සීඅයිඩියට යොමු කළේ නෑ. ඒකට හේතුව සහරාන්ලා සහ ඔවුන්ගේ සංවිධානය ගැන ටීඅයිඩිය විශ්චිත විමර්ශනයක් කරගෙන ගිය නිසා. අප්‍රේල් 09 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සෙනෙවිරත්න මහත්තයා හිටියේවිදේශගතවෙනවා. අදාල තනතුරේ වැඩබැලුවේ නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහත්මයා. මේ අතර නිලන්ත ජයවර්ධන මහත්මයා පොලිස්පතිට මේ බුද්ධි තොරතුර ලිපියකින් යවනවා. ඒ්කේ පිටපතක් සීඅයිඩියට එවනවා අති රහස්‍යයි කියලා ගහලා. අති රහස්‍යයි කියලා රවී සෙනවිරත්න මහත්තයාගේ නමට ආපු නිසා වැඩ බලන නිලධාරියා එය කඩලා නෑ. අප්‍රේල් 16 නැවත රාජකාරියට ආපු වෙලාවේ රවී සෙනවිතරන් මහත්තයා මේක බලලා නියෝජ්‍ය පොලිස්පතිට යොමු කරලා තියෙනවා. නමුත් එතන ලේඛන යොමු කිරීම කරන නිලධාරිනියට මේක නියෝජ්‍ය පොලිස්පතිට යොමු කරලා තියෙන්නේ අප්‍රේල් 19. නියෝජ්‍ය පොලිස්පති මේක අධ්‍යක්ෂ ශානි අබේසේකරට යොමු කරන්නේ අප්‍රේල් 22. පළමු කාරණය තමයි මෙය ලැබුණත් පොලිස්පතිගෙන් ආපු නැති නිසා අලුත් විමර්ශනයක් ආරම්භ කරන්න බෑ. දෙවැනි කාරණය තමයි වනාතවිල්ලුවෙ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ විමර්ශනයට අදාලව සීඅයිඩිය සංකීර්ණ විමර්ශනයක් කළා. අප්‍රේස් මාසයේ බොහෝ ස්ථානවලට ගියා සැකකරුවන් හොයන්න. ඒ ගැන වැඩි දෙනෙක් දන්නේ නෑ. තුන් වැනි කාරණය තමයි 2020 අවුරුද්දෙදි නිර්ණාමික පෙත්සමක් ගෙන්වාගෙන මේ සිද්ධිය ගැනත් විමර්ශනයක් කලා. කරලා ශානි අබේසේකර හෝ රවී සෙනවිරත්න හෝ අතින් රාජකාරි පැහැර හැරීමක් වෙලා නෑ කියලා 2020දි සීඅයිඩිය තීන්දු කරනවා, 2022දි පොලිස් ිවශේෂ විමර්ශන ඒකකය තීන්දු කරනවා.

බුද්ධි තොරතුර සම්බන්ධයෙන් පූජිඅත් ජයසුන්දර මහතා හතර දෙනකුට ලිපිය යොමු කරනවා. ඒ හතර දෙනා යටතේ ඉන්න පිරිස 5000කටත් වැඩී. අඩුම තරමේ 5000ක්වත් මේ ගැන දැනගෙන ඉඳලා තියනවා.

අවම 5000ක්. බස්නාහිර පළාතේ සියලුම පොලිස් නිලධාරීන් දැනගන ඉඳලා තියනවා. එහෙම බැලුවොත් 20,000කට ආසන්න ප්‍රමාණයක පිරිසක් මේක දැනගෙන ඉන්න ඇති.

ඇත්තටම සාරා එතවදි මැරුණේ නෑ කියන්න හේතුව තමයි සාරාගේ සිරුර හමුවුණේ නෑ. අදාල ස්ථානයේ පැහැදිලිව සිරුරු 16ක් තිබුණා. ඒ්වා කාගෙද කියලා තහවුරු වුණා. නමුත් සාරාගේ සිරුරක් හමුවුණේ නෑ. පිපිරුම්වලින් පස්සේ සාරා ජීවතුන් අතර හිටියා කියලා හාදියාගේ සාක්කියෙන් කියෙවෙනවා. ඒ වගේම එතනින් බයික් එකක් පැනලා ගියා කියලා සාක්කි තියෙනවා. මේවගේ හේතු ගණනාවක් නිසා සාරා මැරුණේ නෑ කියන එක පැහැදිලිව කියන්න පුලුවන්.

ප්‍රහාරයෙන් මරණයට පත්වූ ගණන සම්බන්ධයෙන් රාජ්‍ය නිල සංඛ්‍යාලේඛනවල නිශ්චිත තොරතුරක් නෑ.  මේ විදිහට තමයි දැනට සංඛයා තිබෙන්නේ. අඩුම තරමේ කී දෙනෙක් මැරුණද කියලවත් නිශ්චිත තොරතුරක් නැතිකමම ඉතා බරපතළයි. ප්‍රහාරය ගැන සයොබලන්න මුලින්ම පත්කරපු විජිත් මලල්ගොඩ කමිටු වාර්තාවෙ තියෙන්නෙ ප්‍රහාරයෙන් සිදු වුණු මරණ සංඛ්‍යාව 259ක් කියලා. පොලිසිය වාර්තා කළේ මරණ 277ක්. ජනාධිපති විමර්ශන කොමිසමේ, ඒ කියන්නේ ජනක් ද සිල්වා විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් තිබුණු කොමිසමේ තැන් දෙකක සංඛ්‍යා දෙකක් තියෙනවා. 271ක් සහ 276ක් වශයෙන්. මහාධිකරණයේ තියෙන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු නඩුවෙදි ඉදිරිපත් වුණු සංඛ්‍යා ලේඛනවලට අනුව තියෙන්නෙ 268ක් කියලා. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවලට අදාළව 315ක් සහ 392ක් විදිහට ඉලක්කම් තියෙනවා. මේක බරපතළ කාරණයක්. අඩු තරමෙ මේ තරම් කාලයක් ගිහිල්ලත් අපිට මේ සංඛ්‍යා ටික හදාගන්න බැරි වෙලා තියෙනව නම් වින්දිතයන්ට මොනවද හිතෙන්නෙ. මම මේකෙ සෘජු වින්දිතයෙක් වුණා නම් මට මොනවද හිතෙන්නෙ.

සාකච්ඡා සටහන – ශාලික විමලසේන

(සිළුමිණ පුවත්පතෙනි.)

Related articles

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...

අපි ජීවත්වෙලා තියෙන්නේ හරක්කටාටත් වඩා ලොකු අපරාධකරුවන් එක්ක…

අපි මෙතෙක් ජීවත්වෙලා තියෙන්නේ කොයි විදියේ රටකට කියන එකට හොඳ උදාහරණයක් ඊයේ පෙරේදා අතර අපිට දැනගන්න ලැබුණා.ඒ තමයි...