නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ජූලි 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.
2008 වසරේදී සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳ වාර්තාවක් පසුගිය 15දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.
එහිදී මඩකලපුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ අදාළ නඩුව ඊළඟ දිනයේ කැඳවන අවස්ථාවේදී මෙම ඝාතනවල තෙවැනි සැකකරු ලෙස නම් කර සිටින පිල්ලෙයාන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.
මේ අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබිණි. ඊට අදාළ ව සිව් වරක් ඔහුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන තිබූ අතර, අවසන් වරට නිකුත් කළ රැඳවුම් නියෝගය පසුගිය අප්‍රේල් 03 දිනෙන් අවසන් වීමට නියමිතව තිබියදී ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන්, 2021 වසරේදී නඩුව ඉදිරියට පවත්වාගෙන නොයන බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරන ලද දැනුම්දීමක් මත මුදාහැරිණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පිල්ලෙයාන් මුදාහරින බවට පොරොන්දුවක් දී තිබූ බවට පිල්ලෙයාන්ගේ ලේකම් අසාද් මවුලානා කළ ප්‍රකාශයක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ජෝෂප් පරරාජසිංහම් ඝාතනයට අදාළ ව මඩකලපුව බන්ධනාගාරයේ සිටි පිල්ලෙයාන් බැලීමට පාස්කු ප්‍රහාරය ආසන්න දිනවලදී මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ගිය බවත්, 2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් පසු පිල්ලෙයාන් නිදහස් කරගන්නා බව ඔවුන් පැවසූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ. 2021 ජනවාරි 13 දින නීතිපති දෙපාර්තමේන්තුව මගින් මඩකලපුව මහාධිකරණයට දැනුම් දුන්නේ ජෝෂප් පරරාජසිංහම් ඝාතනයට අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන නොයන බවයි. ඒ අනුව එම ඝාතනයේ සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කෙරිණි.
2005 වසරේ දෙසැම්බර් 25, එනම් නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවති මධ්‍යම රාත්‍රී දේව මෙහෙය අතරතුර පරරාජසිංහම් මන්ත්‍රීවරයාට වෙඩි තබා ඝාතනය කරන ලද අතර, ඒ සම්බන්ධයෙන් සැක පිට පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබුවේ 2015 වසරේ, එනම් සිදුවීමෙන් වසර 10කට පසුව ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ 07 වැනි පිටුවේ 02 වැනි ඡේදයේ සඳහන් වන්නේ 2017 මාර්තු 10දා මඩකලපුව, අල්ලියාර් හන්දියේ ඇති වූ ගැටුම සම්බන්ධයෙනි. රාවුෆ් මවුලවිගේ කණ්ඩායම සහ සහරාන්ගේ කණ්ඩායම අතර මේ ගැටුම ඇති විය. එහිදී සහරාන් සහ ඔහුගේ සහෝදරයකු වූ රිල්වාන් පළාගියහ. සහරාන්ගේ තවත් සහෝදරයකු වූ ෂයිනි මවුලවි සහ සහරාන්ගේ පියා පොලිසිය මගින් ගැටුමට අදාළ ව අත්අඩංගුවට ගැනිණි. පිල්ලෙයාන් සහ සහරාන්ගේ කණ්ඩායම අතර සම්බන්ධය හැදෙන්නේ මෙහිදී ය. ඉන්පසු ෂයිනි මවුලවි ඇතුළු පිරිසට ඇප ලබාගැනීමට රුපියල් 250,000ක් ලබාදී ඇත්තේ යුද හමුදා බුද්ධි අංශය මගිනි. එනම් මහජන මුදල් ය.
බුද්ධි අංශවලට මුදල් ලබාදෙන්නේ ඒකාබද්ධ අරමුදලෙනි. මේ වියදම් විගණනයට යටත් නොවේ. එය බරපතළ කරුණක් බව පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලින් අනාවරණය වී ඇති තවත් වැදගත් කරුණකි. බුද්ධි මෙහෙයුම්වල රහසිගතභාවය තබාගනිමින් එම මුදල් විගණනයට යටත් කිරීමේ අවශ්‍යතාව තිබේ. ඇතැම් රටවල් එය සිදුකරයි.

