‘ඇය කිසිවක් නොකළාය’

20

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ තමාට යාමට සිදුවන වෙලාව පැමිණි විට හෝ අනෙකෙකු යන වග දුටු විට ය. ඒ යන – එන අතර කාල අවකාශයේ අප සිදු කරන දෑ බොහෝ ය. ඉන් බොහොමයක් අප දැනුවත් සිදු කරන අතර ස්වල්ප වූ නොදැනුවත්කම් ද එකතුව ඇත. එනිසාම මිනිසාට ඇත්තේ අතෘප්තිකර ආශාවන් ය. එකී ආශාවන් පෙළගැස්මට නිමාවක් නැත. අප බහුතරයක් දකිනුයේ එකී ආශාවන් මුදුන්පත් කර ගැනීම ජීවිතය ලෙස ය. එයට දුෂ්ටත්වයද ඇතුළත්ව ඇත. අප සැවොම පවුල, ප්‍රේමය, ළමා විය, තරුණ විය, මහලු විය, අතීතය, වර්තමානය, අනාගතය, වේදනාව මේ කුමක් හෝ දෙයක් නිසාවෙන් දුෂ්ට ය. නමුදු එකී දුෂ්ටත්වය ඉබේ පහළ වන්නේ ඇත. ඒ සෑම දුෂ්ටත්වයකටම වේදනාත්මක යටගියාවක් ඇත.

වයස විසි හතරක් වන ජීවන ගමනේදී මා දුටු හුස්මලන වේදිකා අහුමුළු බොහෝ ය. එයින් බොහෝ වේදිකා මා හට සම්මුඛ වූයේ විවිධාකාරයේ වූ පොත් පෙරලූ කල ය. එනිසාම පොතකට ඇති වටිනාකම අමිල ය. එවන් වූ අමිල වටිනාකම් පොතකට ගැල්වීම පහසු නැත. එය ශික්ෂණය, අවබෝධය, ප්‍රතිභාව මෙන් ම සතතාභ්‍යාසය තුළින්ම පැන නැගෙන්නා වූ අපූරු ක්‍රියාවලියක අග්‍ර වූ ප්‍රතිඵලයකි. පහත ඡායාරූපයේ මගේ හදවතට සමීපව ඇති ‘Sage Nemesis’ ගේ ‘ඇය කිසිවක් නොකළාය’ යනු එවන් ආකාරයේ ආනන්දයක් මට උරුම කරලූ කෘතියකි. මෙය ඔහුගේ කුලුඳුල් නවකතාව ය. නමුත් අභ්‍යන්තර ජීවිතවල හර විවරණය කර ගැන්මට වෙරදරන පාඨකයා මෙම කෘතියට ග්‍රහණය වීම වළකාලිය නොහැකි ය.

Sage Nemesis ගේ කතා සංකල්පය පැළවෙන්නේ මේ මහපොළොවේ වූ කාන්තා චරිත ද්විත්වයක් ප්‍රමුඛ කොටගෙන ය. නමුදු ඒ හාත්පසින්ම එකිනෙකට වෙනස් වූ මතිමතාන්තර හා ආකල්පයන් හමුවේ ය. අත්‍රී මාගරීටා ස්පෙන්සර් සහ අසනි මේඝා සම්මුඛ වනුයේ අහම්බකාරක ලෙස ය. නමුදු එය අහම්බකාරක නොවන වග ඔවුන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක් දනී. එය පාඨකයා හට හෙළිවන්නේ කතාව අවසානයෙහි ය. මාගරීටා සහ අසනි අතර ඇති වන මිත්‍රත්වය බොහෝ විට රුකුල් සපයනුයේ මාගරීටා මරණාසන්න අවස්ථාවලින් මුදවා ගැනීමට ය. විටෙක අසනි පිළිබඳ පාඨකයා ප්‍රහර්ෂයෙන් මත් වේ. තවත් විටෙක කෝපාග්නියෙන් දැවේ. මෙහිදී මිනීමැරුම් කිහිපයක්ම උද්වේගකර මෙන්ම හානිදායක ලෙසින් සිදුවන අතර එය අසනි සහ මාගරීටාගේ ජීවනාලියට බෙහෙවින් ම බලපෑම් ද එල්ල කරයි. සිය මිතුරියට යහපත් පවුල් පරිසරයක් නිකේෂ් හා උරුම කර අසනි වසර දහයක කාලයක් ඔවුනගේ ඇස් මානයෙන් අතුරුදන්ව කාලය ගෙවන අතර මෙම කතාවෙහි දෙවන භාගය එතැන් පටන් ඇරඹේ. අසනි සම්බන්ධව පාඨකයා හට පැන නැගී තිබූ අටෝරාශියක් කතුහලයන් සංසිඳවෙනුයේ එතැන් පටන් ය. එහිදී ඇය කිසිවක් නොකළා යැයි ඔබට සිතෙන්නට පුළුවන. ඇය නොව ඇය පය තැබූ ගොහොරු සමාජය එය කළා යැයි මට පවා විටින් විට හැඟුණි.

කතාව ගලනය වන්නේ මාගරීටා සහ අසනිගේ දින සටහන් පොතෙහි පිටු පරිච්ඡේද ලෙස පෙරළෙමිනි. එකී සෑම පරිච්ඡේදයක්ම පාඨක හදවතෙහි භාව ලේප මිශ්‍ර බීජ සංකල්ප ප්‍රශ්නාර්ථ ලෙස වන ආත්මකථනයන්ගෙන් පැළ කර ඇත.
මතුපිට අතගෑ කතන්දරය මා ඔබට එසේ සටහන් කළ නිසා ඔබ මෙය ත්‍රාසජනක ගණයට අයත් ආදරය සම්මිශ්‍රිත වූ කතාවක් ලෙස සිතන්නට පුළුවන. ආදරය අප අසන දකින සෑම කතාවකම පාහේ ගැල්වී ඇත. මන්ද ආදරය ඇත්තේ කොතැනද එතැන ජීවිතය පවතින නිසා ය. නමුදු මා මෙම කෘතිය දකින්නේ slow burn thriller, psychological ශානරවලට වැඩි නැඹුරුතාවක් සපයන කතාවක් ලෙස ය.

මන්ද මෙය මන්දගාමී ලෙසින් ගලාවිත් හිටිහැටියේ ත්‍රාසජනක අවස්ථාවන් පාඨක හදමල මත පතිත කරන බැවිනි. එලෙසම කතුවරයා සංකේත භාවිතයෙන් මෙම කෘතියට ගෙන එන මනෝවිද්‍යාත්මක දර්ශනය ප්‍රබල ය. සැබැවින්ම ‘ඇය කිසිවක් නොකළාය’ යන්නෙහි සැබෑ වූ යථාර්ථවාදී කතාව ඇත්තේ එකී මනෝවිද්‍යාත්මක දර්ශනය තුළ ය. මෙම කෘතියේ එන ඇතැම් අවස්ථා හා සිද්ධීන් මගේ මනසට එකවර ගිල්වා ගන්නට මම මැළි වුණෙමි. මන්ද ඒවා පෙළගස්වා ගත යුත්තේ මගෙ හිතත් සමගම ගනුදෙනු කරමිනි. එනිසාම මෙම කෘතිය අවධානය මුළුමනින්ම රඳවාගෙන මනා ඉවසීමෙන් කියවිය යුත්තකි. එහිදී දිනසටහන්වල කතුවරයා යොදා තිබූ සෑම දිනයක් මතම පාහේ මම යළි යළිත් නෙත් රැඳවූයෙමි. එනිසාම මෙය මතුපිට පටු අර්ථයට වඩා පුළුල් වූ යථාර්ථයක් රැගත් කෘතියකි.

මෙම කෘතියෙහි එන සෑම චරිතයක්ම පාහේ ප්‍රධාන චරිත ද්විත්වය වටා සැරිසරන මෙන්ම ඔවුනට ප්‍රබල බලපෑම් එල්ල කරන චරිතයන් ය. නමුදු කිසිම විටෙකත් ඔවුන් ප්‍රධාන චරිත අභිබවන්නේ නැත. මෙහි ඇය යනු අසනි හෝ මාගරීටා යන දෙදෙනාගේම සුසංයෝගය ලක්ෂණවලින් හෙබි ප්‍රතිනිර්මාණයක් යැයි මට සිතුණි. එකී සියලු චරිතයන් එක්ව ගත් කල අපට කොහේ කොතනක හෝ හමුවුණු අයවලුන් ය. නැතිනම් අප වටා සැරිසරන අයවලුන් ය. නමුදු කතුවරයාගේ විශිෂ්ට ලිවීම වඩාත් ඉහළ තලයකට ගෙනැවිත් ඇත්තේ එම චරිත සියල්ල කැටිකොට ගත් අභ්‍යන්තරික හැඟීම් අනුසාරයයි. එහි ගලායාම අපූර්ව ය.

පුද්ගල මනෝභාවයන් ගෙනහැර පෑමේදී අසනි හා මාගරීටාගේ මනෝභාවයන් අවදි කරන ලෙසින් අසනිට හා මාගරීටාට සෘජුවම සම්බන්ධ වන චරිතයන් ද්විත්වයකගේද මනෝභාවයන් ගෙනහැර දැක්වූයේ නම් කතාවේ එළිය මීටත් වඩා තීව්‍ර වන්නට තිබුණා යැයි මට හැඟුණි. එලෙසම අභිනව රේඛා සහ ජීවන හැඩතල මතින් රූප භේද ගෙනහැර දැක්වීමේදී කතුවරයා තවත් සූක්ෂම වූයේ නම් කුතුහලය වඩ වඩාත් ඔප්නැංවීමට තිබූ බව පෞද්ගලිකව මට දැනුණි.
සංකේත භාවිතය ගෙනහැර දැක්වීමේදී කතුවරයා සතු විශිශ්ට ලිවීමේ හැකියාව ඉහළ තලයක ඇති බව මම දුටුවෙමි.

“මට රුක්වරුන් අමතකව ගියේය. රැජින මෙන් සටකපට නොවන, පෝන්වරුන් මෙන් පරිත්‍යාගශීලී නොවන, ඔවුහු අති සියල්ලන්ටම වඩා දුෂ්ටයෝ වෙති.
පෙර නිමිති රහිතව අනුකම්පා විරහිත සෘජු රේඛාවක් ඔස්සේ භීෂණය වපුරන ඔවුහු අනපේක්ෂිත නිහඬ ප්‍රහාරවලින් නටබුන් පමණක් ඉතිරි කොට රජුන් රැක පලා යති.

ඒ අන්ධකාරය තුළ දුෂ්ට රුධිරමය රනින් මා නහවනු ලබන්නේ යැයි ව
නිය පසුරු විහිදමින් චිත්තාවේගයෙන් මා වට කොට පහර දීමට සැරසෙන්නේ යැයි මට හැඟුණේ මන්ද?
ඔව්
රුධිරයේ රක්ත වර්ණය”

මෙහි ප්‍රධාන චරිතය නොහොත් මාගරීටාගේද අනුසාරය මුසුව එන අසනිගේ චරිතය නිෂ්ක්රීයත්වය පිටුපස පවතින සක්‍රීය රහසක් මෙන් ම කුතුහලය පිරි සිදුවීම් දාමයක් සංසරණය කරන අතර එකී කුතුහලය අවසානය තෙක් රඳවා ගැන්මට සමත් වී ඇත. එලෙසම කතුවරයා තම කතාවට ‘බ්ලැක්කැට් සංකල්පය’ අපූර්ව ලෙස අඩුත් නොවන වැඩිත් නොවන පදම් භාෂා ද්‍රාවණයකින් සිංහල සහ ඉංග්‍රිසි සම්මිශ්‍රණය වන ලෙසින් තවරා ඇත. තැනකදී දෙකකදී හැරුණු විට (උදාහරණ ලෙස අන්කල් වැනි වචන සිංහල වැකි අතරට ඉංග්‍රීසි අකුරින් යෙදීම අවශ්‍ය නොවේ.) අනෙක් සෑම තැනකම පාහේ එකී ඉංග්‍රීසි භාෂා ශෛලිය එම අවස්ථාවන් සංකල්ප රූ ලෙසින් මැවීමට මනා ලෙස ගැළපී ඇත. එම නිසාම මෙහි එන ඇය නොහොත් අසනි සහ මාගරීටාගේ සම්මිශ්‍රිත එකතුවෙන් ප්‍රතිනිර්මාණිත අසනි යනු බාහිර ලෝකයට ඇය වටා සිටින පාලකයන්ට කිසිදු සටනක් නොදෙන අවිහිංසක සිත්තරියකි. නමුදු ඇය පණ ලබන්නේ මාගරීටාගේ ජීවන වයලීනයෙන් ලබන දුරදක්නා නුවණෙනි. අසනි නිශ්ශබ්ද නමුදු සැලසුම් සගගත ය. එකී ප්‍රතිරූපය මනස සහ එය ගිලී පවතින සමාජ දේශපාලනික වටපිටාව හෙවත් අධිරාජ්‍යයන් පිළිබඳ සංකල්පය මතින් ප්‍රබල සමාජ පණිවිඩයක් සන්නිවේදනය කර ඇත. මා උක්තව සටහනක් කළ චෙස් සංකේත භාවිතයේදී මෙන් ඇය කැපී පෙනෙන සටන්කාමී චරිතයක් ලෙස නිරාවරණය නොවන අතර, අඳුරේ සිටිමින් ප්‍රතිවාදීන්ට තමා ඉලක්කයක් නොවන බව පසක් කර, අදෘෂ්‍යමාන මෙහෙයවන්නියක් ලෙස හිඳින්නියකි. එනිසාම ඇය තම සිතැඟි සඟවාගත් තැනැත්තියකි. ඇගේ තීරණ මාගරීටා මෙන් හැඟීම්බර නැත. තර්කානුකූල ය. එනිසාම සාමාන්‍ය නවකතාවක පරමාදර්ශී කාන්තා ලක්ෂණ අසනි කෙරෙන් මතු නොවේ. කතුවරයාගේ වෙනස එයට උත්සුක වී ඇත. පළිගැනීම සාධාරණීකරණය කළ නොහැකි මුත් තුවාලයේ වේදනාව හඳුනන්නේ එය වණයක්ව පවතින තැනැත්තා ය. අප විමසිය යුත්තේ පළිගැනීම හරි ද වැරදි ද කියා නොව පළිගැනීම උදාවූයේ ඇයි ද යන්න ය. මන්ද යළිත් පළිගැනීම් සිදු නොවන්නට නම් අප එයට පිළිතුර සොයා ගත යුතු ය. එනිසාම අසනිගේ චරිතය දුර්වල ලෙසින් හිඳින නිහඬත්වය හමුවේ නොකළ ලෙසින් ලෝකයක් වෙනසකට භාජනය කළ හැකි බව පෙන්වන අපූර්ව නිමැවුමකි. එනිසාම දූෂිතවාදී දේශපාලනය හමුවේ ඇය කිසිවිටෙකත් අසරණ නොවේ.

වර්තමානයේ පවතින ඒකාකාරී කතා කලාවෙන් මිදී වෙනසකට අත පොවන්නට නොබියව පැන මෙහෙයවූ සේජ්ගේ කතාව පැසසුම් ලැබිය යුත්තකි. ඔහු මෙය මතුපිටින් පමණක් අතගෑ කතාවක් නොවන බව කතුවරයා සතු කියවීමේ මෙන්ම අවබෝධයේ හසළ දැනුම විවරණය කළ ලෝ ප්‍රසිද්ධ නවකතාවලින් පවා සුපැහැදිලි ය. ඔහු එයට යොදාගත් බස්වහර පවා ආලෝක දහරා විහිදුවන රටා සහිත ය. එලෙසම එයට යොදාගත් පිටවැසුම ද කතාවේ අභ්‍යන්තරය හෙළිවන්නකි.

මෙම කතාව අංගසම්පූර්ණ නිමාවක් නොදේ. එයට හේතුව කතුවරයා යොදාගෙන ඇති සැඟව ගිය ලේඛක නාමය තුළම ඇත. සැබැවින්ම අංගසම්පූර්ණත්වය යනු කුමක්ද යන්න පාඨකයාට මෙහිදී ධාරණය කර ගැනීමට ඔහු ඉඩ සලසා ඇත. එනිසාම මෙම කතාව පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පාඨකයාට ඔහු විසින් භාර දී ඇත. නමුදු ඔහු ඉතිරි කොට ඇති නිශ්ශබ්දතාවයන්හි ගිලෙමින් ඔබට යටගියාව සොයාගත හැක. මම තවමත් එහි ගිලෙමින් හිඳින කුහුඹු ප්රාණියෙකි.

සේජ් මෙම කතාව පැළ කරනුයේ එකහෙළාම ජනප්‍රිය නොවන, අත්පොළසන් දී පොත් උඩ විසි නොකරන වෙනස් පාඨකාගාරයක ය. එනිසාම මෙම කෘතියට ලැබිය යුතු පාඨක අවධානය, විචාරක සටහන් මඳක් ප්‍රමාද විය හැක. නමුදු ‘ඇය කිසිවක් නොකළාය ‘ යන්න ඔවුහු දැනගත් කල එම පාඨකයින් ම අරුණෝදය යනු ග්‍රහණයක් ම වන වග තහවුරු කර ගනු ඇත.

මිතුනි යසාරා (මිතූ)