අහිමි වීමි මැද්දේ ගෙවන ජීවිතයක් අපි හැමෝටම තියෙනවා. දුවෙක්ට තාත්තා කෙනෙක් අහිමි වෙලා තියෙනවා. තාත්තා කෙනෙක්ට දුවෙක් අහිමි වෙලා තියෙනවා. පුතෙක්ට අමිමා කෙනෙක් අහිමි වෙනවා. අමිමා කෙනෙක්ට තමන්ගේ දුව අහිමි වෙනවා. තමන් ආදරය කරන කෙනා අහිමි වෙනවා. තමන් ආදරය කරන සුරතලා අහිමි වෙනවා. තමන්ගේ හොඳම යාළුවා අහිමි වෙනවා. ඒ අහිමි වීම භෞතිකව මරණයකින් වෙන්නත් පුලුවන්. නැත්නම් සඳහටම දාලා යනවා වෙන්නත් පුලුවන්. නැත්නම් අතැරලා දාලා යනවා වෙන්නත් පුලුවන්.
ජිවිතයට සදාකාලික පැවැත්මක් නැමැ තමයි. කොහොමවෙතත් අපි ජීවත් වෙන්නේ අහිමි වීම් රාශියක් මැද්දේ. “ද ලොස්ට් ඩෝටර්” ෆිල්ම් එකේ ඉන්න “ලේඩා” කියන කාන්තාවට ව්ශාල අහිමිවීමකින් පීඬා විඳිනවා. ඒ තමන්ගේ බඩින් වඳාපු දුවලා දෙන්නා ලේඩාව තනි කරලා. කොහොමත් දරුවෝ ලොකු වෙද්දි අම්මලා, තාත්තලාව තනි කරනවා. ඒක දැන් අසාමාන්‍ය නොවන සාමාන්‍ය තත්තවයක් වෙලා.
“ලේඩා” ඉන්නේ පසුතැවීමක වුණත් තමන් අම්මා කෙනෙක් කියලා නැවත මතක් කරලා දෙන එක්තරා අහඹු හමුවීමක් සිද්ධ වෙනවා. ඒ ලේඩා නිවාඩුවක් ගත කරන්න කියලා එන වෙරළේදි හමුවන නීනා කියන තරුණ මව. ඇයට ඉන්නවා පුංචි දියණියක්. මේ දැකීමත් එක්ක ලේඩාගේ අතීතය ආපස්සට පියඹනවා. ලේඩාට නීනාව දැක්කම මතක් වෙනවා, එයා තරුණ කාලයේ තමන්ගේ දුවලා දෙන්නා එක්ක හිටපු විදිය. හැබැයි අද ලේඩා වයසට ගිහින්. එයා ගාව හුරතල් වෙව් හිටපු දුවලා දෙන්නා අද නැහැ. ඇය දැන් තනියම. මෙි තනිකම එක්ක ලේඩා තමන්ගේ අඳුරුමය මතකයන් එක්ක ජීවත් වෙනවා. ඇයට දැඩිව මානසික බලපෑමට හසුවන අවස්ථාවක් තමයි නීනාගේ දුවගේ නිතරම අතේ තියෙන බෝනික්කා. මේ බෝනික්කා ලේඩා සොරකම් කිරීම. මෙන්න මේ අවස්ථාවෙි තමයි පැහැදිලි වෙන්නේ ලේඩාගේ මානසික තත්ත්වයේ බරපතළකම. නීනා කියන තරුණ අම්මාව හමුවීමත් එක්ක ලේඩා විශාල වශයෙන් මානසික අරගලයක් කරනවා.
“Elena Ferrante” ලේඛිකාව ලියපු “The Lost Daughter” නවකතාව පාදක කරගෙන තමයි 2021 දී Maggie Gyllenhaal මේ චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ඔස්කාර් සම්මානලාභී ඔලීවියා කොල්මන් තමයි ලේඩා චරිතයට පණ පොවන්නේ. ලේඩා කියන්නේ ඔලීවියාගේ දැකපු හොඳම රංගනයක්. ඔලිවියාගේ චරිතයට ආලෝකයක් සපයන නළු නිළි පිරිසක් චිත‍්‍රපටයේ රඟපානවා. ඒ “එඩ් හැරිස්”, “ජෙසී බක්ලි”, “ඩැකෝටා ජොන්සන්” සහ “පෝල් මැස්කල්” ත්‍රිත්වය. මේ නිළියන් තුන්දෙනාම වර්තමානයේ ඉන්න අති දක්ෂ නළු නිළියන්. වැනිස්, ඔස්කාර්, ගෝල්ඩන් ග්ලෝබ් ආදි සම්මාන උලෙළවල් රාශියක නිර්දේශ ලබා ගන්නට “ද ලොස්ට් ඩෝටර්” චිත‍්‍රපටය සමත්වෙලා තියෙනවා. නිදහස සහ පවුලේ බැඳීම් අතර ආතතියක ඉන්න ලේඩාගේ චරිතය හරහා අපි දකින්නේ පරමාදර්ශීකරණයෙන් ඔබ්බට ගිය මාතෘත්වය.
