ප්‍රියංකර කවියක් සමග සිත්තරා සහ සම්බුදු පිරිනිවන

5


ප්‍රියංකර නිවුන්හැල්ලගේ අලුත් කවි පොත කියවමින් සිටින අතර ඔහු ලියන දමයන්ති-ප්‍රියංකර පෙම් කවි මාලාව සිංහල කවියෙහි මිහිරි ඵලයක් සේ මට දැනෙන්නට විය. ඔහු ලියූ අර “මට දුරද මල් පිපෙන හදවත” වැනි කවි කිහිපයක් මට මෙ’කවි කියවන විට සිහියට නැගේ. ජීවිතය පිළිබඳ පැණසර රූපකයක් නිමවන්නට දරණ තැතකට වඩා ජීවිතය ඇසුරින්ම ජීවිතය ලියන නිරායාසකාර කවිතාවක් – දිවි පෙවෙත ජීවිත පරිඥානයෙන්ම විනිවිඳින චින්තාවක් මේ කවි මාලාවෙන් මට පෙනෙයි. ඔහුගේ වෙනත් පොත්වලත් ඇති මේ දමයන්ති-ප්‍රියංකර පෙම් කවි සිංහල කවියෙහි රමණීය බව මොනවට පෙන්වයි.
ටිකක් දිග වුණත් මේ කවිය අපි කියවමු.
සිහිනයක පෙනී සිටි ඔබ
ජීවිතය ඉතා කෙටි විය හැකි යැයි ඉඟි කළ
ඒ පරීක්ෂණ ප්‍රතිඵල
අතට පත් දා රැයෙහි
සිහිනයක ඔබ පෙනී සිටියා
මා අබියස
අප නිතර හමු වූ
විද්‍යාගාරයේ මේසය මත
අත්ල පැහැදිලිව පෙනෙන ලෙස
අත තබාගෙන සිටියේ මම
බලා සිට මා දෙස
ඔබේ සීතල දෑසින්
තබා ඔබේ අත්ල
මා අත්ල මත
ජීවන රේඛා දෙක
හොඳින් ගෑවෙන ලෙස
මා දිවිය තව බොහෝ කල්
සුරැකෙන බව
සපත කර
නික්මී ගියා ඔබ
දශක තුනකට පසුවත්
සිහිනයෙන් මා වෙත එන විට පවා
ඔබ සිටියේ
මා කැමති
අහස් නිල් පැහැති සාරිය ඇඳගෙන
සිහිනයෙන් අවදි වූ පසු
නෙතග කඳුළක් පිසගෙන
අතීතය වෙත
පිය නැගූයෙමි මම
ප්‍රියංකර යැයි
සිහින් දෙදරුමැති කටහඬින්
ඔබ මා අමතන හඬ
මේ දැනුත් ඇසෙයි මට
ඒ සා මිහිරි කහෙඬකින්
කිසිවකු තවම
මා අමතා නැත
වදරින් හයිට් පොතේ දෙබසක
මළගිය ඇත්තෝ පොතේ පිටුවක
ප්‍රේමය පරාජය කළ
මිහිරිම පෙම්වදන් ඇත්තේ
අප දෙදෙන කතා කළ තැන්වල
සමුගන්න පෙර දවසක
යමුනා ගං තෙර ගීතය
ඔබ ගයන විට
නන්දාටත් වඩා ලස්සන විය
ඔබේ කටහඬ
ඉඳහිට රාත්‍රියක
දල්වා සිගරට්ටුවක් නරඹන’තර අහස
දකින කිසි තාරකාවකට
සමකළ නොහැක
ඔබේ නෙත් යුග
සිගරට්ටුවක් සේ වේගයෙන් ගෙවී යයි
ජීවිතය
පෙරත් මා
කවියක ලියූ විදියටම
පයිතගරස් ප්‍රමේයය කියවන විට පවා
ප්‍රේමාන්විතයි
ඔබේ කටහඬ
තවමත්
මට ඇසෙන හෙයින්
ප්‍රියංකර යැයි
ඔබ මා අමතන හඬ
තනියක් දැනෙන විට පවසමි
ඔබේ නම දමයන්ති
(පිටු. 35-37)
මේ කවිය මේ පොතේ උසස්ම නිර්මාණය සේ පෙන්වන්නට නෙමෙයි මා මේ සටහන ලියන්නේ. විශේෂයෙන්ම නිවුන්හැල්ලගේ මේ අලුත් පොතේ ඇතැම් කවිවල මා මේ කියන නිරාසකර කවිතාවක් ඔහු’තින් වර්ධනය වී ඇති ආකාරය දකින විට ඇතිවන්නේ සතුටකි. මා මීට වසර ගණනාවකට පෙර “නිහඬව ගලන මේ ගඟ” ගැන ලියූවේ “එකම කෝවක ඇයි මේ කවි ගලන්නේ” කියා ප්‍රශ්න කරමිනි. ඉන් මා අදහස් කළේ නිවුන්හැල්ල, තාක්ෂණික වශයෙන් උසස් හෝ මිනිස් ජීවිතය, යථාර්ථය පිළිබඳ නොයෙක් අර්ථ ගබඩාකරන රූපකමය අභ්‍යාස හෝ රණවීර වැනි කවිතාවක් හඹා යනවා වෙනුවට ඔහුගේ කාව්‍යාත්මය – අනන්‍යතාව මතු කෙරෙන නිවුන්හැල්ලමය කවිය ඔහු විසින් සොයා ගන්නට අවංක මහන්සියක් ගන්නේ නම් ඔහුගේ කවිය බොහෝ දර යනු ඇති කියා මට සිතුනු සැටිය. මේ පොතේ ඇතැම් කවිවල මට ඔහුගේ ජීවිත පරිඥානයෙන්ම කවිතා අර්ථ මතුවන සැටි පෙනේ.
මේ විසිපස් වසරක කවි සැමරුම් සහ එය ගලාගිය ආකාරය (අදාළ වැඩසටහන ගැන කිසිවක් නොදනිමි, මා මෙහි ඉඟි කරන්නේ එය සමාජ මාධ්‍යයේ පැතිර ගිය සැටිය) ගැන මට විශේෂ පැහැදීමක් හෝ උනන්දුවක් නැතත් මා නිවුන්හැල්ලගේ කවියටත් වඩා කවි පිළිබඳ ඔහුගේ විචාරාත්මක මැදිහත්වීම ගැන අපේ සාහිත්‍යකරුවන් අවංකව සිතා බලා කතිකාවට ගතයුතු බව කාලයක් තිස්සේ සිතමින් සිටිමි. ඔහුගේ භාවිතය පිළිබඳ කතාබහට ගැනීම අපේ සාහිත්‍ය පාඨනය පිළිබඳ කතිකාවට අවශ්‍යයෙන්ම වැදගත් බව මම කල්පනා කරමි. ඔහුගේ “මුතු අතර” සහ “තමාගේම ගීතය ගයන තණ ගිරවා” කෘති දෙක කලින් කියවා ඇතත් මාස කීපයකට පෙර ගෙන්වාගත්තේ ඒවා සහ විශේෂයෙන්ම ඔහුගේ ෆේස්බුක් කියවීම් ආදිය මුල් කරගෙන ඔහුගේ විචාර භාවිතය පිළිබඳ මගේ අවංක අදහස් ලිවිය යුතු බව සිතුනු නිසාය. නිවුන්හැල්ල සමහරවිට මෑත වසර කිහිපය තුළ සිංහල කවිපොත් ගැන වැඩියෙන්ම ලියූ විචාරකයා විය යුතුය. නමුත් මට ඔහුගේ කැපවීම සහ උනන්දුව ගැන ගෞරව කරන අතරේම ඒ විචාර භාවිත පිළිබඳ ඇත්තේ ඉතා කලකිරුණු සිතීමකි. ඔහු විසින්ම ලියන දේවල පරස්පර – වික්ෂිපත අදහස් සහ ඉතා ගැටලුකාරී භාවිත දිගින්දිගටම පළ කරයි. මේ සමාජ මාධ්‍ය අවකාශවලත් සාහිත්‍ය ක්ෂේත්‍රවලත් ඉදිරියට යන්නට කැමති අයට මේ ක්‍රමය විසින් අවංකව කතාකිරීම-ලිවීම නිහඬ කර ඇති නිසා නිවුන්හැල්ලගේ බොහෝ භාවිතයන් ගැන කිසිවෙක් කිසිවක් නොලියනු විය හැකිය. මට ඔහුගේ පරස්පර භාවිතයන් පිළිබඳ නොයෙක් වර ලියන්නට සිතී ඇතත් මා ෆේස්බුක් කමෙන්ට් වැනි කෙටි උත්තර මගින් ප්‍රශ්න දිගාවෙන සිටි ගැන දන්නා නිසා නිහඬව සිටියෙමි. ඒ අතර ඔහුගේ කාව්‍ය ජීවිතයට වසර විසිපහක් පිරීම නිමිත්තෙන්ම නොවුණත් ඔහුගේ ලිවීමේ ආකාර ගැන මගේ අවංක අදහස් ලියන්නට පටන්ගත්තෙමි. මගේ ඒ රචනය අතර – නිවුන්හැල්ලගේ විචාරාත්මක ව්‍යාකූලතා කෙරෙහි මගේ කලකිරීම් මැද – “සිත්තරා සහ සම්බුදු පිරිනිවන” පොත කියවන විට ඔහු තුළ ලියලා වැඩෙන කාව්‍යාත්මය සහ ජීවිත පරිඥානයෙන් මෝරා එන කවිකම් දැක ආදරය ප්‍රකාශ කරන්නටත්, තවත් බොහෝ දුර කවි මගෙහි පියමැන යන්නටත් සුබ ප්‍රාර්ථනා එක් කරමින් මේ සටහන ලියන්නට සිතුවෙමි.

ක්‍රිෂ්ණා නොවන මගේ වස්දඬු මුවින් එන
සත්සර මිහිර නිති ඔබ හද බැඳුණ බව
හිස රඳවමින් කී හැටි උර මඬල මත
අද මෙන් හෙටත් සිත තුළ රළ නගනු ඇත

සුදර්ශන සමරවීර