Yugant (1995)
අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට කලාත්මක සිනමාව නියෝජනය කළත්, එම නිර්මාණයන්ගේ ඉදිරිපත් කිරීම සහ සංකේතාර්ථ භාවිතය ඔස්සේ නැවුම් යමක් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමට ඇය සමත් වනවා. 1995 වසරේදී ඇය අධ්‍යක්ෂණය කළ Yugant චිත්‍රපටයද එවැනි නැවුම් ස්වරයක් රැගත් චිත්‍රපටයක්. විශේෂයෙන්ම නිර්මාණකාරිනියක් වශයෙන් අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් මෙය. Yugant ගොඩනැගෙන්නේ වෙන්ව ගිය විවාහක යුවලක් වටා. එම බැඳීමේ ඇති විවිද වූ හැල හැප්පීම් සහ පසුබිමින් සමාජයේ ඇති විවිද වූ වෙනස්වීම් එයට බලපෑමක් කරන ආකාරය මෙහි ප්‍රධාන වශයෙන් අවධානයට ලක්වනවා.
දීපක් සහ අනූ (අනුසුයා ) යනු මාස 18 කට පෙර තම විවාහක ජීවිතයෙන් වෙන්ව ගිය යුවලක්. නීතිමය වශයෙන් දික්කසාද නොවුනත් ඔවුන් තම අර්බුදකාරී විවාහයට නැවත අවස්ථාවක් දීම වෙනුවෙන් එකතු වනවා. දීපක් සහ අනූ එකතු වන්නේ අවුරුදු ගණනකට පෙර ඔවුන් මධුසමය ගත කළ ධීවර ගම්මානයේ සංචාරයක නිරත වෙමින්. දීපක් වෙළඳ දැන්වීම් අංශයේ රැකියාවක් කරන අතර අනූ වෘතිමය භාරත් නාට්‍යම් නර්තන ශිල්පිනියක්. වර්තමානයේදී මොවුන් දෙදෙනාම මැදි වයස් වෙත ගමන් කරන යුවලක්. මෙම නැවත එක්වීමේ සංචාරය ඇතුලත ඔවුන් දෙදෙනාගේ සම්බන්දයේ අතීතයත් වර්තමානයත් අතර දෝලනය වනවා. ඔවුන් දෙදෙනාම තම වෘතිය වෙනුවෙන් එක හා සමානවම අරමුණුසහගතව කටයුතු කරන දෙදෙනෙක්. එම නිසාම ඔවුන්ගේ සම්බන්දයට විවිද වූ අර්බුදයන් එකතු වනවා. මේ අතරවාරයේ ගල්ෆ් යුද්ධයේ ඔවුන්ගේ අවට පරිසරයට සිදු කරන බලපෑමද මෙහි පසුබිම් තේමාවක් ලෙස ගලා යනවා.
Yugant තුල අපර්ණා සෙන් විවාහ සංස්ථාව තුල සිදුවන ස්ත්‍රී පුරුෂ ගට්ටනය මැනවින් ඉදිරිපත් කර තිබෙනවා. දීපක් මතුපිටින් රැඩිකල් ප්‍රතිරූපයක් පෙන්නුම් කළත් ඇතුලාන්තයෙන් බහුතරයක් දකුණු ආසියාතික සමාජයේ සිටින පිරිමින්ගේ ඇති පුරුෂවාදී අදහස් ඇති දරණ පුද්ගලයෙක්. අනූ විවෘත අදහස් තිබෙන කාන්තාවක් සේම කාලයත් සමග විවාහ ජීවිතයේ ඇතිවූ පසුතැවීම් තුලින් තම අරමුණු අත්හැර ගත් කාන්තාවක්. මොවුන්ගේ නැවත එක්වීම තුලද මෙම විවාහ සංස්ථාව අසාර්ථක වීමට හේතු වුනු කාරණා විවිද අවස්ථාවන් තුල මතුපිටට පැමිණෙනවා. මෙහි අනූ එක්තරා අවස්ථාවක පවසන අන්දමට ” කාලය කෙතරම් ගෙවී ගියත් අපි ඇතුලාන්තයෙන් සැබවින්ම වෙනස්වී නැහැ “. මෙය මෙම චිත්‍රපටයේ සිටින චරිත වලට සේම සැබෑ ජීවිතයටද අතිශයින්ම වලංගු වන කාරණයක්. වැඩිහිටි මිනිසුන්ගේ ඇතුලාන්තයන් වෙනස් කිරීම කිසි සේත්ම ලේසි පහසු කටයුත්තක් නොවේ. මෙය චිත්‍රපටය තුල ප්‍රභලව ඉස්මතු කරන අංගයක්.
මෙම විවාහක යුවලගේ අර්බුදකාරී විවාහ ජීවිතයට පසුබිමින් අපර්ණා ගල්ෆ් යුද්දයේ බලපෑම එකතු කිරීම ඇතුලත half baked බවක් දක්නට ලැබුනා. ඇය එම පැතිකඩ චිත්‍රපටයට එකතු කිරීමට හේතු සාධක දකින්නට ලැබුනත්, එය චිත්‍රපටය තුල නිසි ලෙස ගොඩනගා නොතිබුණු බවක් දක්නට ලැබුනා. මෙය චිත්‍රපටයේ මා දුටු අඩුපාඩුවක්. ඒ සමගම දීපක්ගේ චරිතය ඉතා හොඳ මට්ටමකට ගොඩනගා තිබුනත්, අනූගේ චරිතය පුරුෂ චරිතයට සමානව ඉස්මතු නොවුන වගක් දැනුණා. නමුත් අපර්ණා මෙම අඩුපාඩුව බොහෝ සෙයින් වසා ගැනීමට සමත් වන්නේ ඇගේ බහුතරයක් චිත්‍රපට තුල දක්නට ලැබෙන කාව්‍යමය ස්වරය මෙයටද ඇතුලත් කර තිබෙන නිසා. විශේෂයෙන්ම A. Shashikant/Dilip Verma ගේ විශිෂ්ට කැමරා අධ්‍යක්ෂණය සහ Jyotishk Dasgupta ගේ සංගීත අධ්‍යක්ෂණයද එයට ප්‍රභල දායකත්වයක් ලබා දුන්නා.
දීපක් ලෙස අන්ජෝන් දත්තා මෙහි කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළා. දීපක්ගේ චරිතයේ ඇති විවිද වූ පැතිකඩවල් ඔහුගේ රංගනය ඔස්සේ ඉදිරිපත් වුනා. අනූගේ චරිතයේ ගොඩනැගීම තුල සැහීමකට පත් නොවුනත් එම චරිතය රඟ දැක්වූ රූපා ගංගුලි එයට හොඳ සාදාරණයක් ඉෂ්ට කරනවා. Yugant 1995 වසරේදී ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම බෙන්ගෝලි භාෂිත චිත්‍රපටයට සහ හොඳම කැමරා අධ්‍යක්ෂණයට සම්මාන ලබනවා.
Yugant අපර්ණා සෙන්ගේ විශිෂ්ටතම නිර්මාණයක් නොවුනත් සමස්තයක් වශයෙන් ඉතා හොඳ නිර්මාණයක් ලෙස නම් කරන්නට පුළුවන්.

