මේ දවස්වල අනෙක් වැඩ අතෑරලා ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන හදාරනවා. ඒ අපේ සංවිධානය, කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය, ඇය වෙනුවෙන් උපහාර උළෙලක් සංවිධානය කරන නිසා.
ආචාර්ය විශාකා කුමාරි ජයවර්ධන උපත ලබන්නෙ 1931දි. ඩොනමෝර් සාමිවරයා ලංකාවට සර්වජන ඡන්ද අයිතිය ලබා දුන් අවුරුද්දෙදි.
ඇගේ පියා, ඒ පී ද සොයිසා, සෙනෙට් සභිකයෙක්. සමාජ ක්‍රියාකාරිකයෙක්. බුද්ධ ධර්මය පිළිබඳ ප්‍රාමාණික උගතෙක්.
ඇගේ මව Eleanor Hutton. බ්‍රිතාන්‍යයේ Durham නගරයේ රැඩිකල්, නිදහස්කාමී, අධිරාජ්‍ය විරෝධී පවුලක සාමාජිකාවක්. සංගීතවේදිනියක්.
ඇය පාසැල් අධ්‍යාපනය ලබන්නෙ කොළඹ කාන්තා විද්‍යාලයෙන්.
ස්වදේශික පියෙක්. බ්‍රිතාන්‍ය ජාතික මවක්. මිෂනාරි පාසැලක්. මේ අපූරු සංකලනය ඇගේ ඉදිරි ගමන් මගට බලපෑ බව නිසැකයි.
ඇය ලියූ බොහොමයක් ශාස්ත්‍රීය පර්‍යේෂණ නිබන්ධන අතර ප්‍රමුඛත්වයෙහි ලා සැලකෙන්නේ 1986දී ප්‍රකාශයට පත් කල Feminism and Nationalism in the Third World (තුන්වෙනි ලෝකයේ ස්ත්‍රීවාදය සහ ජාතිකවාදය) නම් ග්‍රන්ථයට.
මේ ග්‍රන්ථය ලියැවුනු 1980 දශකයේ මුල කුමාරිගේ පදිංචිය ඔස්ට්‍රියාවේ බ්‍රසල්ස් නුවර. ඒ ඇගේ ස්වාමි පුරුෂයා ලාල් ජයවර්ධන බ්‍රසල්ස් නුවර යුරෝපියානු ආර්ථික කොමිසමේ තානාපතිවරයෙක් වශයෙන් රැකියාව කල නිසා. මේ කාලයේ ඇය නෙදර්ලන්තයේ හේග් නුවර International Institute of Social Studies (සමාජ අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ) බාහිර කථිකාචාර්යවරියක ලෙස සේවය කරනවා. ඇය මේ පොත ලියන්නෙ බ්‍රසල්ස් නුවර සහ හේග් නුවර අතර දුම්රිය ගමනාගමනයේදි.
පොතට පදනම් වෙන්නෙ රටවල් එකොළහක; ඊජිප්තුව, තුර්කිය, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, චීනය, ජපානය, කොරියාව, පිලිපීනය, වියට්නාමය සහ ඉන්දුනීසියාව, සිද්ධි අධ්‍යයනයන් (case studies).
මේ කෘතිය තුන්වැනි ලෝකයේ ස්ත්‍රීවාදය දෙස බටහිර නොවන ඇසකින් බලන්නට ගත් උත්සාහයක්. යටත් විජිත රටවල අධිරාජ්‍ය විරෝධී සහ ජාතිකවාදී අරගල නැග එද්දී සහ අළුතින් මධ්‍යම පාංතිකයන් පිරිසක් බිහිවෙද්දී ස්ත්‍රීවාදයේ ගිණි පුපුරු මතු වූ ආකාරය මේ කෘතියට ප්‍රස්තූත වෙනවා. කුමාරි ඇගේ කෘතියේදී තර්ක කරන්නේ මේ ස්ත්‍රීවාදී ගිණි පුපුරු බටහිරින් ආනයනය කල සංකල්පයක් නොව එකී රටවල වාස්තවික තත්වයන් යටතේ මතුවූ ස්ත්‍රීවාදී මතවාදයන් බවයි. මේ කෘතිය පළ කල ඉක්මණින්ම ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍රවෙනවා. 1986 එක්සත් රාජධානියේ Feminist Fortnight සම්මානය ලැබෙන්නේ ඇගේ කෘතියට. Ms. සඟරාව කියන්නෙ එය 1970-1990 ස්ත්‍රීවාදී දෙදශකයේ බිහි වූ විශිෂ්ටතම කෘතීන් විස්සෙන් එකක් බවයි. විශ්ව විද්‍යාලවල ස්ත්‍රී අධ්‍යාපන පාඨමාලා වල අත්පොතක් වන මේ කෘතිය ජපන් භාෂාව ඇතුළු භාෂා කිහිපයකට පරිවර්තනය වී තිබෙනවා.
කුමාරි ගැන කතා කල හැකි, කතා කල යුතු මාතෘකා බොහොමයි. ඇයට උපහාර පිරිනමන උත්සවයක් මාර්තු 23වෙනි දින සවස හතරට කොළඹ විශ්ව විද්‍යාලයේ නව කලාගාරයේ පැවැත්වෙනවා. එදින වැඩ සටහනට සහභාගී වන්නැයි කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය සැමට ආරාධනය කරනවා.

