ඉරාන යුද්ධය සහ ලංකාවේ අභියෝගය !

Share post:

පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදුකළ මිලිටරි ප්‍රහාරය සමග මැද පෙරදිග ඇතිව තිබෙන යුදමය වාතාවරණය මේ වනවිට ලෝකය තුල මහත් ආතතිසහගත තත්වයක් නිර්මාණය කොට ඇත. ඇමරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස ඉරානයේ රාජ්‍ය නායක ලෙස සැලකෙන, එරට ආධ්‍යාත්මික නායක අයතොල්ලා කමේනි ජීවිතක්ෂයට පත්විය.

මෙම ලිපිය ලියන මොහොත වනවිට, මැද පෙරදිග කලාපය තුල යුද ගැටුම් ඇවිල යමින් පවතී. එක අතෙකින්, ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය ඉලක්ක කොට ගෙන අඛණ්ඩව මෙහෙයුම් සිදු කරමින් සිටී. අනෙක් අතට, ගල්ෆ් කලාපයේ යාබද රටවල තිබෙන ඇමරිකානු යුද කඳවුරු ඉලක්ක කොට‍ ගෙන ඉරානය ප්‍රතිප්‍රහාර දෙමින් සිටී. කලාපීය වශයෙන් ස්ථානගත වී සිටින ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් වන හිස්බුල්ලා සංවිධානය බඳු සටන්කාමී සංවිධාන ඉරානය වෙත සහයෝගය පල කොට ඇත.

අනීතික යුද්ධය

ඇමරිකානු-ඊශ්‍රායල යුද මෙහෙයුම සමග මතු වූ ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ එම ප්‍රහාරයේ නීත්‍යනුකූලභාවය පිලිබඳ ප්‍රශ්නයයි. අන්තර්ජාතික නීතිය තුළ වෙනත් රාජ්‍යයකට එරෙහිව මිලිටරි බලය යෙදවීම සම්බන්ධව පවතින ප්‍රධාන විධිවිධානය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2(4) වගන්තියයි. දෙවැනි ලෝක යුද්ධයට පසුබිම් වූ නාසි ජර්මනියේ ආක්‍රමණකාරී යුද්ධවලට පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරන විට ඊට මූලික වූ ඇමරිකාව ද ඇතුලු රටවල් අබියස වූ එක් ප්‍රශ්නයක් වූයේ එබඳු තත්වයක් යලි ඇති වීම වලක්වා ගන්නේ කෙසේද යන්නය. මේ අනුව අලුත බිහිකළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාල ප්‍රඥප්තියේ පදනම් මූලධර්මයක් ලෙස වෙනත් රාජ්‍යයන්ට එරෙහිව බලය යෙදවීම (use of force) තහනම් බවට සඳහන් කෙරෙන ප්‍රතිපාදනය ඇතුලත් විය.

මෙම නියාමයට තිබෙන ව්‍යතිරේක දෙකකි ; ලෝක සාමය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය සහිතව සන්නද්ධ ක්‍රියාමාර්ග ගත හැක. අනෙක් අතට යම් රාජ්‍යයකට ආත්ම ආරක්ෂාව සඳහා බලය යෙදවීමට අවසරය ඇත. ආත්මාරක්ෂාව සඳහා බලය යෙදවීම යන්නෙන් කැමති ලෙසකට රටවල්වලට පහර දීමේ පුලුල් අවසරයක් ලැබෙන්නේ නැත. පොදුවේ පිලිගැනෙන රීතිය වන්නේ යම් රටකට එරෙහි අත්‍යාසන්න මිලිටරි තර්ජනයක් තිබෙන විට, එය නිෂ්ක්‍රීය කිරීමට අවශ්‍ය හා සමානුපාතික බලය යොදාගත හැකි බවය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවූ පසුව විවිධ රටවල් යම් යම් අවස්ථාවල ආක්‍රමණික යුද්ධ සිදු කොට තිබේ. එබඳු බොහෝ අවස්ථාවල තම ආක්‍රමණික ක්‍රියා සාධාරණීකරනය සඳහා ඔවුන් ආත්මාරක්ෂාවේ අයිතිය නමැති අදහස අවභාවිතා කොට ඇත. නිදසුන් ලෙස 2003 වර්ෂයේ දී, එ.ජා. සංවිධානයේ අනුමැතියක් නොමැතිව එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කළ අවස්ථාවේ එවකට පැවැති බුෂ් ආණ්ඩුව ප්‍රකාශ කළේ ඉරාකය ජන සංහාරක අවි නිෂ්පාදනය කරන බවට තමුන් සතුව තොරතුරු ඇති බවත්, මෙම අවිවලින් තමුන්ට යම් මොහොතක එල්ල විය හැකි තර්ජනය නිෂ්ක්‍රීය කිරීම සඳහා ආත්ම ආරක්ෂාව වෙනුවෙන් තමුන් බලය යෙදවූ බවත්ය. 2022 දී යුක්‍රේනය ආක්‍රමණය කල අවස්ථාවේ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ද මෙබඳු තර්කයක් ඉදිරිපත් කළේය.

නමුත් මේ කිසිදු අවස්ථාවක, මේ රටවලට එරෙහි ‘අත්‍යාසන්න’ යුද තර්ජනයක් පැවැති බවට සාක්ෂි නැත. පසුගිය දා ඉරානයට එරෙහිව සිදුකළ ප්‍රහාරයටත් මෙය අදාලය. මේ අනුව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය පැහැදිලිවම අන්තර්ජාතික නීතියට පටහැණි, අනීතික යුද්ධයකි.

ආර්ථික අභියෝගය

අන්තර්ජාතික නීතිය උල්ලංඝණය කරමින්, ඒකපාර්ශවීයවාදී ලෙස එක්සත් ජනපදය සිදුකරගෙන යමින් තිබෙන හැසිරීම නිසා ඉරානයට පමණක් නොව ලෝකයේ සෙසු රටවල්වලටත් ආර්ථිකමය  ලෙස විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇත. මෙම අභියෝග ලංකාවටත් අදාලය.

ආර්ථිකමය වශයෙන් මතුවන ප්‍රධානතම අභියෝගය වන්නේ යුදමය තත්වය සමග ලෝක තෙල් සැපයුමට සිදුවිය හැකි බාධාවයි. මැදපෙරදිග යනු ලෝක බලශක්ති උත්පාදනයට අදාල ප්‍රධානතම ප්‍රභවය වන බොර තෙල් බහුල වසයෙන් තිබෙන කලාපයයි. ආක්‍රමණික යුද්ධයට ගොදුරු වූ ඉරානයත්, ඉරානයේ ප්‍රතිප්‍රහාරවලට ලක්ව සිටින අනෙක් ගල්ෆ් කලාපීය රටවලුත් ප්‍රධාන පෙළේ තෙල් නිෂ්පාදක රටවල් වෙති. තෙල් ප්‍රවාහනය සඳහා යොදා ගැනෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කරන බවට ඉරානය ප්‍රකාශ කොට ඇති අතර පසුගිය සතිය තුළ ලෝක තෙල් මිල බැරලයක් ඩොලර් 73 ක් වන ලෙසට සියයට නමයකින් ඉහල නැංගේය.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම දිගටම සිදු වුවහොත්, ඒ වගේම තෙල් නිෂ්පාදනයට අදාල යටිතල පහසුකම් ඉලක්ක කොට ගෙන මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූවොත් යුදමය තත්වය දිග්ගැස්සෙන තත්වයක් තුළ තෙල් බැරලයක මිල ඩොලර් සියය ඉක්මවා යනු ඇති බවට පුරෝකථන පළ වී තිබේ. මෙබඳු තෙල් මිල ඉහල යාමකින් සෘජුවම බලපෑමට ලක්වනු ඇත්තේ තමුන් සතුව විශාල වශයෙන් තෙල් සංචිත තබාගැනීමට තරම් වූ වත්කමක් නොමැති ලංකාව බඳු ගෝලීය දකුණේ රටවල්ය. ලංකාව වැනි රටවල ආනයන වියදමේ සැලකිය යුතු කොටසක් වෙන් වන්නේ තෙල් ආනයනය සඳහාය.

අනෙක් අතට තෙල් මිල ඉහළ යාමක් විසින් සෑම විටම තෙල් මිල ඉහල යන විට, පොදුවේ ලෝක වෙලඳපොලේ අනෙක් භාණ්ඩ මිල මත දාම ප්‍රතික්‍රියාවක් (chain reaction)ඇති කරයි. එනම් වෙනත් භාණ්ඩවල මිල ගණන්වල ඉහල යාමටත් එය හේතු වෙයි. මෙබඳු තත්වයක් ලංකාව වැනි රටවල ආනයන වියදම සැලකිය යුතු ලෙසකට වැඩි කරන්ට හේතු පාදක වනු ඇත. ආනයන සඳහා විදේශ විනිමය වියදම් කිරීමට සිදුවන අතර ලෝකයේ බොහෝ සංවර්ධනය වෙමින් තිබෙන රටවල් පවතින්නේ එබඳු තදබල බාහිර කම්පනයන් දරාගත හැකි මට්ටමක නොවේ.

නිදසුන් ලෙස, 2020 වර්ෂයේ කෝවිඩ් වසංගත සහ පසුව ඇති වූ රුසියානු-යුක්‍රේන යුද්ධය සමග ඇති වූ ගෝලීය ආර්ථික බලපෑම ලංකාව ඇතුලු රටවල් ගණනාවක ණයගැතිභාවය උග්‍ර කිරීමට හේතු පාදක විය. ආර්ථික අර්බුදයෙන් යලි හිස ඔසවමින් සිටින මොහොතක, දිට්වා සුලි කුණාටුවේ බලපෑමටත් ලක්ව සිටින අවස්ථාවක ලෝක ආර්ථිකයේ සිදුවන විශාල අර්බුදයක් ලංකාව බඳු රටකට විසාල අභියෝගයක් වනු ඇති බව පුරෝකථනය කළ හැක.

රාජ්‍ය තාන්ත්‍රික සංකීර්ණතා

ආර්ථිකමය පැතිකඩ අමතරව, පසුගිය දා ලංකාව ආශ්‍රිත මුහුදේ සිදු වූ ඉරාන යුද නෞකාවකට ඇමරිකාව විසින් පහරදී විනාශ කිරීම බඳු සිදුවීම් මගින් පෙන්වා දෙන්නේ දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ද ලංකාව වැනි රටවලට සංකීර්ණ තත්වයකට මුහුණ දීමට සිදුවන බවයි. ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධව ලෝකයේ රටවල් විවිධ ස්ථාවර ගෙන ඇත. ඊට විවෘතව සහය පල කරන්නේ රටවල් අතලොස්සකි.

යුරෝපයේ බොහෝ රටවල් යුද්ධය සම්බන්ධන සංශයසහගත ආකල්පයක් දක්වා ඇති නමුත් ඉරානයට සහය දීමක් ඔවුන්ගෙන් අපේක්ෂා කළ නොහැක. චීනය, රුසියාව වැනි ඉරාන හිතවාදී රටවල් ආක්‍රමණය හෙළා දැක තිබේ. අනෙක් අතට, මෙබඳු අධිරාජ්‍යවාදී යුද්ධවලට සම්ප්‍රදායිකව දැඩි ලෙස විරුද්ධ වූ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක් වන ඉන්දියාව ඇමරිකානු හැසිරීම අබියස මුණිවත රකින ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී.

මෙම පසුබිම තුල, රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලංකාව බඳු රටක් අබියස තිබෙන සංකීර්ණතාවය කුමක්ද? එක අතෙකින්, නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය ආදී පර්ෂදවල ඓතිහාසික වැඩ කොටසක් ඉටු කළ රටක් ලෙස, ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාව සඳහා පුරෝගාමී වූ රටක් ලෙස —  ඉරානයට එරෙහි සාපරාධී යුද්ධය අප විසින් ආචාරධාර්මිකව හෙළා දැකිය යුතුය. නමුත් අනෙක් අතට, එබඳු විවෘත හෙලා දැකීමක් සිදු කලහොත්, මේ මොහොතේ අන්තර්ජාතික නීතිය නොව, අවම සදාචාරය පවා නොතකා අතිශය දඩබ්බර ලෙස ඒකපාර්ශවීයවාදීව හැසිරෙන එක්සත් ජනපදය එදිරිවාදී ලෙස ප්‍රතිචාර දක්වන්ට ඉඩ තිබේ. ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින ලංකාව පසුවන්නේ එබඳු එදිරිවාදී ප්‍රතිචාරයක් දරාගත හැකි තත්වයක නොවේ.

විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ අනුව ඇති වී තිබෙන්නේ යම් ආකාරයක උභතෝකෝටිකයකි. මෙබඳු සංකීර්ණ පසුබිමක් තුල ගත හැකි වඩාත්ම ප්‍රශස්ත ආස්ථානය වන්නේ ලෝක සාමය වෙනුවෙන් විවෘත ස්ථාවරයක් ගැනීම සහ දුෂ්කර තත්වයන් යටතේ වුව අවම ආචාරධාර්මිකත්වයක් පවත්වා ගැනීමට උත්සාහ කිරීමය. මෙම සමබරතාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ලංකාව අවබෝධ කොටගෙන තිබෙන බව යුද්ධය ඇති වූ පසුව ආණ්ඩුව කටයුතු කොට තිබෙන ආකාරය දෙස බලන විට පෙනෙන්ට තිබේ.

මෙම අවබෝධය පිලිබඳ හොඳම ප්‍රකාශනය වූයේ පසුගිය දා ඇති වූ ඉරාන නෞකාව පිලිබඳ සිදුවීමයි. මෙම ප්‍රශ්නයේ දී එක අතකින් ආණ්ඩුව යුද්ධය සම්බන්ධව සිය මධ්‍යස්ථතාවය ප්‍රකාශ කළ අතර අනෙක් අතට යාත්‍රාවේ සිටි නාවිකයන්ට මානුෂවාදී ආධාර ලබාදීමට නොපැකිළ ඉදිරිපත් විය. ඒ අසල්වැසි ඉන්දියාව බඳු බලවත් රටක් පවා තම රටට ආ නෞකාවකට එරෙහිව දියත් වූ ප්‍රහාරය ගැන නිහඩව සිටින පසුබිමකය. ලෝකයේ ඇතිව තිබෙන ගැටුමේ පරිමාණය අනුව ගත්කළ, කුඩා රටක් සිදුකළ මේ ක්‍රියාව එතරම් විශාල එකක් නොවිය හැක ; එහෙත් එම පුංචි රට මුහුණ දී තිබෙන අභියෝග හා සංකීර්ණතාවල ප්‍රමාණයට සාපේක්ෂව ගත් විට, එය ‘විශාල’ ක්‍රියාවක් ලෙස ඉතිහාසගත වනු ඇත.

රමිඳු පෙරේරා

(ලේඛකයා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.)

Related articles

ලේ සහ සලේ !

පාක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් 4’ නාලිකාවේ විකාශය වූ වීඩියෝවෙන් පසු ව කළ ⁣පැමිණිල්ලට අදාලව කරුණු වාර්තා කරමින් පවරන...

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...