ලේ සහ සලේ !

Share post:

පාක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් 4’ නාලිකාවේ විකාශය වූ වීඩියෝවෙන් පසු ව කළ ⁣පැමිණිල්ලට අදාලව කරුණු වාර්තා කරමින් පවරන ලද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් උසාවියක නඩු කටයුතු කෙරෙන එකම නඩුව වන ‘චැනල් 4’ නඩුව අද (11) යළි කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහි දී එම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටි සුරේෂ් සලේ අත්තඩංගුවට ගැනීමට හේතු වූ සාක්ෂි සම්බන්ධයෙන් පිටු 25 කින් යුත් සම්පින්ඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිිරීමට කටයුතු කරනු ලැබුවා.

කෙසේ නමුත්, එහි දී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතී නීතීඥ අනුජ ප්‍රේමරත්න, තමා සේවාදායකයා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සාක්ෂි සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විමසා සිටි අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට පිළිතුරු ලෙස පිටු 25 කින් යුක්ත ලේඛනයක් (බී වා‍ර්තාවක්) අධිකරණය වෙත ඉදිරිපත් කළ බව එහි දී සඳහන් කරනු ලැබුවා.

එහි දී මහේස්ත්‍රාත්වරයා එම සියලු කරුණු නොව කෙටියෙක් කරුණු ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් අතර, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාරණා තුනක් ඔස්සේ සුරේෂ් සලේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම ආරම්භ කරනු ලැබුවා‍.

ඉන් පළමුවැන්න ලෙස, ශ්‍රී ලංකා බුද්ධි අංශයේ දීර්ඝ කාලයක් සේවයේ නියුතුව සිටි, මීගමුව ප්‍රදේශයේ ඔත්තුකරුවෙකු සිට ඇති බවත්, එම ඔත්තුකරු හරහා සුරේෂ් සලේ විසින් මුස්ලිම් අන්තවාදීන් හට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ කටුවාපිටිය දේවස්ථානය පෙන්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබුවා‍.

දෙවන කරුණ ද දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පානදුර ප්‍රදේශයේ සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් මාර්තු මාසයේ දී මේ ආකාරයේ ප්‍රහාරයක් එල්ල විය හැකි බව යුද හමුදා බුද්ධි අංශයට දැනුම් දී ඇති බවත්, යුද හමුදා බුද්ධි අංශය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, ඒ අදාළ ඔත්තුකරු ම ප්‍රහාරයෙන් අනතුරුව මෙම ප්‍රහාරය පසුපස අවුරුදු 20 ක වත් අත්දැකීම් ඇති බුද්ධි අංශ නිලධාරියෙන් සිටිය යුතු බව සඳහන් කර ඇති බවත් දක්වා සිටියා.

කෙසේ නමුත්, ඔහු එසේ සඳහන් කිරීමෙන් අනතුරුව යුද හමුදා බුද්ධි අංශ මඟින් ඔහුව අතඩංගුවට ගෙන ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසයට භාරදී ඇති බවත්, ඉන් අනතුරුව සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමෙන් අනතුරුව බුද්ධි අංශ නිලධාරීන් යවා ඔහු සමඟ සාකච්චා කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ඔහුගෙන් තොරතුරු ලබා ගෙන ඇති බව ද සඳහන් කරමින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ, එකී ඔත්තුකරු අත්අඩංගුවට ගෙන සැකකරුවෙකු ලෙස සිටියදී ඔහුගේ නිවසේ අය බලාගැනීම, ඔත්තුකරුගේ පුතා වෙත යුද හමුදාවේ පරිගණක සම්බන්ධ රැකියාවක් සොයා දීම වැනි කටයුතු සුරේෂ් සලේ විසින් සිදු කර දී ඇති බවයි.

එහි දී මහේස්ත්‍රාත්වරයා යුද හමුදා බුද්ධි අංශයට ඔත්තුකරුවන් නඩත්තු කිරීමට හැකි බව සඳහන් කරමින් ඔහු සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගෙන සිටිය දී දිගින් දිගටම මේ ආකරයෙන් කටයුතු සිදු වූවේ ද යන්න පිළිබඳව ව විමසා සිටි අතර, එම අවස්ථාවේදී CID ය අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ, ඊට අදාළව සාක්ෂි ඇති බවත්, මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් ඉදිරියේ ද ඇතැම් අය විසින් ප්‍රකාශ කර ඇති බවත්, නීතිපතිවරයා විසින් එකී ඔත්තුකරු නිදහස් කිරීමට උපදෙස් ලබා දීමෙන් අනතුරුව සුරේෂ් සලේ ඔහුව කොළඹ හෝටලයකදී හමු වී ඔහුට ස්තුති කර ඇති බවත් ය.

මෙහි දී තුන්වන කරුණ ද දක්වමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2019 අප්‍රේල් මස 26 වන දින සහරාන් හෂීම් ගේ සහෝදරයන් දෙදෙනා ඇතුළු පිරිස කල්මුණෙ සයින්දමර්දු ප්‍රදේශයේ සුනාමි නිවාස සංකීර්ණයේ නිවසක සිදු කරගත් පුපුරා ගැනීම කළ ස්ථානයේ සිටියා යැයි කියන සාරා ජස්මින් ගේ DNA වාර්තා ඇගේ මවගේ DNA වාර්තා සමඟ නොගැලපුණ බවත්, අදාළ ස්ථනයෙන් හමු වූ මෘත ශරීර 16 තුළ සාරා ජස්මින්ගේ සිරුර හමු නොවූ බවත්, ඒ අනුව මේ සම්බන්ධයෙන් දෙවරක් DNA වාර්තා නොගැලපුණ අවස්ථාවේ දී ත්, සුරේෂ් සලේ හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්නට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තුන්වන DNA පරීක්ෂණයක් සිදු කරන ලෙස බලපෑම් කළ බවත් ය.

එම අවස්‍ථාවේ දී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස චෝදනා කරන්නේ, ලංකාවේ පොලිස්පතිට බුද්ධි නිලධාරියෙක් බලපෑම් කළ බව පවසමින් ද යන්න විමසා සිටි අතර, එයට පිළිතුරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පළමුව බුද්ධි සමාලෝචන රැස්වීම්වල දි මේ සම්බන්ධයෙන් දිගින් දිගටම බලපෑම් කළ බවත්, විමර්ෂකයන්ට නැවත DNA පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවයක් නොවූ නමුත්, ආරක්ෂක මණ්ඩලයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා, නැවත තුන්වන DNA පරීක්ෂණයක් කරන ලෙස බලපෑම් කළ බවත් දැනුම් දෙනු ලැබුවා.

මෙහි දී නැවත මහේස්ත්‍රාත්වරයා විසින් “බුද්ධි අංශ නිලධාරියෙකුට පුළුවන් ද ආරක්ෂක මණ්ඩලයට කට්ටියව කැඳවන්න ? සහ එවැනි අවස්ථාවක දී තර්ජනය කරන්න ?” යනුවෙන් පෙරළා ප්‍රශ්න කළ අතර, එයට ප්‍රති පිළිතුරු ලෙස එම බලපෑම් එවක ජනාධිපතිවරයා (එවක ජනපතිව සිටියේ ගෝඨාභය රාජපක්ෂයි) හරහා බලපෑම් කළ බවත්, ජනාධිපතිවරයා විසින් තුන්වන DNA පරීක්ෂණය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවත්, මෙම බලපෑම් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට හෘදයාබාදයක් පවා වැළඳුණු බවට ඔහු විසින් ප්‍රකාශ ලබා දී ඇති බවත් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසාන වශයෙන් සඳහන් කරනු ලැබුවේ, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පවා මේ පිළිබඳව ප්‍රකාශ ලබා දී ඇති බවයි.

කෙසේ නමුත්, ඉන් අනතුරුව සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න සිය සේවාදායකයා රඳවා තබා ප්‍රශ්න කිරීමේදී ඇති වී ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා දැනුවත් කළ අතර, ඒ සඳහා සුදුසු නියෝග ලබා දෙන ලෙස ද ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.

අවසාන වශයෙන් දෙපාර්ශවයේ ම කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මේ සම්බන්ධ තීරණ මාර්තු 25 දින ප්‍රකාශයට පත් කරන බවත්, අද දින අධිකරණයේ දී ඉදිරිපත් කළ කරුණු අතර තිබූ ආරක්ෂක මණ්ඩලයේ දී ජනාධිපතිවරයා කළැයි කියන දැනුම්දීම සම්බන්ධයෙන් එය නීත්‍යානුකූල ද නැද්ද යන්න මෙන්ම ජනාධිපතිවරයා හිතාමතා විමර්ශන කඩාකප්පල් කළා ද ? සාක්කි වසන් කළා ද ? යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කර, එම කරුණු ඊළඟ දිනයේ දී අධිකරණයට වාර්තා කරන ලෙසත් දැනුම් දෙනු ලැබුවා.

අද මෙම නඩුකරය සඳහා, අපරාධ පරීක්ෂණ නිලධාරීන් ගණනාවක් පෙනී සිටි අතර, සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු කණ්ඩායමක් ද අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මෙනෙවිය ද නඩුවේ එක හා දෙක විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ නිසාම් කාරියප්පර් ද පෙනී සිටිනු ලැබුවා.

Related articles

ඉරාන යුද්ධය සහ ලංකාවේ අභියෝගය !

පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදුකළ මිලිටරි ප්‍රහාරය සමග මැද පෙරදිග ඇතිව තිබෙන...

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...