හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී තිබූ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විහාරගල වතුයායට අයත් අක්කර 05ක ඉඩමක් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කර ඇත.
නියමිත පටිපාටියෙන් තොරව මෙම ඉඩම පවරාදීම සිදුකර ඇති බවත්, බදු කොන්දේසි කඩකිරීම හේතුවෙන් එම ඉඩම රජයට පවරා ගැනීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ. හෙක්ටයාර 2.0234ක මෙම ඉඩම 2023 මැයි 24දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත වසර 30ක් සඳහා බදු ඔප්පුවකින් පවරා දී ඇත. අක්කරයක් රුපියල් 50,000ක මුදලකට බදු දී ඇති මෙම ඉඩම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බදු කොන්දේසි පැහැර හැරීම හේතුවෙන් පසුගියදා බදු ගිවිසුම අවලංගු කොට පවරා ගැනීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ මීට පෙර සිටි සංගමයේ විධායක සභාව මගින් මේ ඉඩම ලබාගෙන ඇති බවයි. එහෙත් වර්තමාන විධායක සභාව පත්වීමෙන් පසු එම ඉඩම අනවශ්‍ය බව 2025 අගෝස්තු 28දා ලිඛිතව දැනුම් දී ඇති බව පැවසූ ලේකම්වරයා, 2025 සැප්තැම්බර් මාසය දක්වා අදාළ ඉඩමට නියමිත බදු මුදල් සියල්ල ගෙවා ඇති බව ද සඳහන් කළේය.

