නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

Share post:

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට පමණ රජය සල්ලි දීල තියෙනව. නමුත් අපි මතු කරන ප්‍රශ්නය විසදුණා කියලා අපි හිතන්නේ නැහැ. අපි මතු කරන කාරණය කෙසේ හෝ එහෙම නාට්‍යකරුවන්ට සල්ලි කීයක් හරි දෙනවාට වඩා ගැඹුරුයි. ඒ වගේම ඊට පසුගිය සෑම රජයක් හරහාම ආපු දිග ඉතිහාසයක් තියෙනවා. එය මේ රජයට පමණක් විශේෂයෙන් කරන චෝදනාවක් හෝ යෝජනාවක් ද නෙමෙයි. හැමදාමත් මතු කරපු ඒ ප්‍රශ්නය කළු සුදු ලෙස නැවතත් මෙන්න මේකයි.
පැහැදිලිවම නාට්‍යකරුවන්ට අනුග්‍රහය දැක්විය යුත්තේ අනිත් විෂයන් සහ ක්ෂේත්‍ර වලට වඩා කලාව පූජනීයැයිද කලාකරුවා වරප්‍රසාදිතයැයි ද කියන පැරණි අදහසින් නෙමෙයි, අනිත් සියලුම විෂයන්ට සමගාමීව නාට්‍ය ද රටේ සංවර්ධනයට සම්බන්ධ ජාත්‍යන්තර හෝ දේශියව හඳුනාගත් ප්‍රවර්ගකරණයක් යටතේයි. රටක කලාව අනිකුත් කිසිදු විෂයකට නොදෙවෙනි තරමට අධ්‍යාපනිකව, සංස්කෘතිකව සහ ආර්ථිකව සංවර්ධනයෙදී වැදගත්. විශේෂයෙන් එය රටක අධ්‍යාපනය හා අත්වැල් බැඳගෙන යන විෂයක් බැවින් අධ්‍යාපනයට නම් දෙවැනි නොවෙයි. එසේ සෑම විෂයක්ම ප්‍රවර්ධනයට,නගා සිටුවීමට අනුග්‍රහය දැක්වීමට සාධාරණ නිර්ණායකයන් රජය ආකෘති ගත කළ යුතුයි. එය රජයක කටයුත්තයි. ඉන්පසු ඒ ඒ විශයට අදාළ ව්‍යාපෘතිවලදී ඒ සඳහා අවශ්‍ය ඕනෑම කෙනෙකුට අනුග්‍රහයන් සඳහා ඉල්ලුම් කළ හැකි විය යුතුයි. එසේ අනුග්‍රහය දැක්වීමේදී ඊට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන හැමවිටම රජයේ භාණ්ඩාගාරයෙන්ම දිය යුතුයි කියා සිතීම වැරදියි. එය අර අම්මාගෙන් සල්ලි ඉල්ලගෙන නාට්‍ය කරන ක්‍රමය නෙමෙයි. විශේෂයෙන් ව්‍යාපාරික අංශය සහ දානපතියන් ආදිය සම්බන්ධ කරගෙන බොහෝ රටවල් ඊට යොදාගන්නා උපායමාර්ග බැලුවොත් ඊට විවිධ ක්‍රම සහ විධි තිබෙනවා.

එම අනුග්‍රහයන් නාට්‍යකරුවන්ට හෝ ඕනෑම කෙනෙකුට ලබාදිය යුත්තේ පවතින දේශපාලනයට හිතවත්කම් පෑම නිසාවත් මැති ඇමතිවරුන් ගැන වර්ණනා කිරීම නිසාවත් නෙමෙයි, නිශ්චිත එමෙන්ම දූෂිත නොවන පාරදෘශ්‍ය ක්‍රිරියාපටිපාටියක් හරහායි. සාමාන්‍යයෙන් මේ සඳහා දැනට ලෝකයේ බොහෝ රටවල් කරන්නේ දියුණු ආකෘතියකට අනුව සකස් කළ වෙබ් අඩවියක් හරහා ඉල්ලුම් කිරීමට සැලැස්වීමයි. අවශ්‍ය නම් මේ සඳහා ආදර්ශයක් ලෙස බලා ගැනීමට ඕස්ට්‍රේලියානු රජයේ කලාව සඳහා ප්‍රතිපාදන දෙන වෙබ් අඩවියක් මෙන්න: https://creative.gov.au. නමුත් මට හමුවී ඇති බොහෝ නිලධාරීන් අප විවිධ රටවල්වල ඒ සම්බන්ධ ඇති අත්දැකීම් ආදර්ශ සහ තොරතුරු මෙහෙම බෙදාගෙන ඒ සම්බන්ධ කතිකාවන් ඇති කරනවට ඒ තරම් කැමැත්තක් නැහැ.
ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් කලා වැනි විෂයන් වලට රජයෙන් අනුග්‍රහය දක්වන එකට කිසි විටෙක එවැනි විනිවිදභාවයකින් යුතුව දියුණු නිර්ණායකයන් හරහා නිර්මාණය කරපු ආකෘතියක් හෝ ක්‍රියාපටිපාටියක් තිබුණේ නැහැ. එසේ නොතිබීමට ප්‍රධාන හේතු දෙකක් තිබුණා.

එකක් නම්, ඇත්ත වශයෙන් මේ කලාව සංවර්ධනට පත් කරල ඇති අමාත්‍යාංශ හෝ නිලධාරීන්ට එවැනි දියුණු නිර්නායකයන් සහ ආකෘති නිර්මාණය කිරීමට අවබෝධයක් නැතිවීම. ඔවුන් බොහෝවිට අදාල නිලතලවලට පැමිණ ඇත්තේ පක්ෂවලට වැඩ කිරීම හරහා විනා විෂය සුදුසුකමකින් නෙමෙයි. නමුත් කලාව සංවර්ධනයට ආකෘති සහ නිර්ණායකයන් නිර්මාණය කිරීම කලා සංවර්ධනයේ විශේෂ විෂයක්.

දෙවැනි කරුණ නම්, කලාවට අනුග්‍රහය දැක්වීම් හිතා මතාම දේශපාලකයින්ගේ අතේ තියාගත් හැන්දක් කර ගැනීමයි. ඒ අනුව ඔබ අදාළ දේශපාලකයින් හෝ එම රජය සහ ඒ සම්බන්ධ නිලධාරීන් ආදීන් හොඳින් තියාගත යුතුයි. අවම වශයෙන් කට පියාගෙන නිහඩව සිටිය යුතුයි.

මේ අනූව ශ්‍රී ලංකාවේ බොහෝ විට අපට දකින්නට ඇත්තේ රාජ්‍ය අනුග්‍රහයට වඩා දේශපාලන අනුග්‍රහයයි. ඔබට පැහැදිලිය විය යුතුයි ඉහත ක්‍රම දෙකම අතිශය ලැජ්ජාසහගත ඉතාම දූෂිත ක්‍රම බව. වර්තමාන රජයට එන විට අප බලාපොරොත්තු වූවේ හැත්තෑ වසරක් පුරා ආ මෙම දූෂිත ක්‍රමය හඳුනාගෙන සම්පූර්ණයෙන් වෙනස්කර දියුණු ක්‍රම සහ විධි සහ නිර්නායකයන් නිර්මාණය කරීමයි. එසේ ක්‍රියා කරෙන්නට හැකි හෝ නොහැකි වීම කිසිසේත් මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි ඊට වඩා දැනුම සහ සාධාරණත්වය ස්ථාපිත කිරීමට ඇති අවශ්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක්.

ධනංජය කරුණාරත්න

Related articles

2009 සැප්. 02 – 2017 පෙබරවාරි 08 : ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයෙන් සහ අයුතු ඇතුළුවීමෙන් මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස් !

ඇත්ත යළිත් දිනුවේය. ඇත්ත ඉදිරියේ, සාධාරණත්වය ඉදිරියේ යළිත් ඔවුහු පරාජයට පත් වූහ. ජනතා සටන් ඉදිරියේ පාලකයන්ට සියල්ල අකුලාගෙන...

පරිවර්තන පහසුකම් හදන්නට පොලිස්පතිට ඇත්තේ තවත් මාසයක් පමණයි !

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පතිවරයාට කළ නියෝගයක් ලබන මාසයේ 08 වැනිදා වන විට ඉටු කළ යුතු ව තිබේ. එනම් අද...

‘චෙම්මීන්’ – තකලි ශිව ශංකර පිල්ලෙයි

ඉන්දියානු සාහිත්‍යය ඇසුරු කරනා වාරයක් පාසා මා හදවත විශ්මයටත් ආහ්ලාදයටත් පත් කරයි. පෞරාණික ඉතිහාසයක් හිමි ඉන්දියානු සාහිත්‍ය වරින්...

අම්බුළුවාව දූෂණ ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි : අපි වරදක් කරලා නෑ – පා.ම. අනුරාධ ජයරත්න

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කළ පනතකින් පිහිටවනු ලැබූ අම්බුළුවාව දිසානායක මුදියංසේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ...