නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

Share post:

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ ඝාතනයන් ඇසුරෙන් නිර්මිත බව කියැවෙන FATHER (ෆාදර්), චමින්ද ජයසූරියගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. සුපුරුදු ලෙස ම මෙහි එන ඔස්මන් නමැත්තා ද, ඒ ආශ්‍රිත අනෙකුත් අපරාධකරුවන් ද සමාජ ක්‍රෑරත්වයේ සහ අසාධරණයේ අනායාසී ඵලයකි. අදාළ යුගයේ රැකියා විරහිත බොහෝ තරුණයෙකු දකින ආරක්ෂක හමුදා නිලධාරියෙකු බවට පත්වීමේ සුලබ සිහිනය ඔස්මන් වෙතින් ගිලිහී යයි. වොලිබෝල් පන්දුවකින් ඇරැඹී එකින් එක ඇමිණෙන පළිගැනීම් වැලක වෘත්තාන්තයක් තිරයේ දිගහැරෙන ඔස්මන්ගේ කතාව ඝාතන භීෂණ දාමයක් ප්‍රතිනිර්මාණය කරන සිනමා සිත්තමකි. සමාජයෙන් එල්ලවන බලපෑම් හමුවේ එයට එරෙහි වන ඔස්මන් චණ්ඩියෙකු ලෙස හංවඩු ගැසෙයි.

‘මරණය කියන්නේ ජීවිතය නින්දෙන් අවදිවන මොහොත, මිනිස්සු සමහර වෙලාවට කියනවා ජීවිතය හීනයක් කියලා…’ අධ්‍යක්ෂවරයා සිනමාවේ ආරම්භයේදී ම ඔස්මන්ගේ චරිතයට ගැඹුරක් එක්කරන්නේ ඔහුගේ මුවින් නැඟෙන මේ ජීවන දර්ශනය ප්‍රේක්ෂකයාට සමීප කරමිනි. එලෙස සිය නිර්මාණයට පිවිසෙන චමින්ද ජයසූරිය සිය පළමු සිනමා අධ්‍යක්ෂණය තුළ දක්වා ඇති ප්‍රතිභාව සුළුකොට තැකිය නොහැකි ය. සිනමාව යනු ජීවිතය නොවේ. එය විශ්වසනීය ලෙස ප්‍රතිනිර්මාණය කිරීමයි. චමින්ද සිය සිනමාව හරහා කිසිවිටෙකත් සාහසිකත්වය වීරත්වයක් ලෙස දකින්නට උත්සාහ නොකරයි. චමින්ද, ඔස්මන් පමණක් නොව ඔහුගේ එදිරිවාදීන් ද මේ නියාමනයට යටත් කොට තබාගනියි.

පූජන දන්දෙණිය ඔස්මන් ලෙස ප්‍රධාන භූමිකාවට ප්‍රවේශ වන්නට දැඩි ආයාසයක යෙදුන ද චරිතයේ අභ්‍යන්තරය තුළින් ඉල්ලා සිටින සියුම් භාව නිරූපණයට අවශ්‍ය පුළුල් ධාරිතාවකින් ඔහු සන්නද්ධව සිටීදැයි සැක මතුවෙයි. එහෙත් කිසිදු විටෙක ඔහුට උද්වේගකර අධිරංගනයකට යා නොදී සීමා කරගන්නට අධ්‍යක්ෂවරයා සමත් වෙයි. සෙසු භූමිකාවන් සඳහා ද ප්‍රවීණ ශිල්පීන් රැසක් දායක කර ගන්නට අධ්‍යක්ෂවරයා සමත් වෙයි. ජගත් මනුවර්ණගේ නිරූපණය කෘතියට ආලෝකයකි. ඔහුගේ සැහැල්ලු රංග රීතිය රසික සිත්හි ප්‍රබල මතකයක් රඳවන්නට සමත් වනු නිසැක ය. පොලිස් පරීක්ෂක ලෙස අති සියුම් භාව භාෂණයක යෙදෙන බිමල් ජයකොඩි ඔහුගේ රංගන පරාසයෙහි පුළුල් බව අප තවමත් දැක නැති ඈත මානයක පිහිටා ඇති බව අපට ඉඟි කරයි. දූෂිත මෙන් ම පාලක පන්තියේ පාදඩ නිලධාරියෙකුගේ මේ භූමිකාවට ඔහු මුදා හරින රූපන ධාරිතාව දරාසිටින්නට තරම් ප්‍රමාණවත් අවස්ථාවක් ඔහුගේ භූමිකාව තුළ විවර නොවේ.

සරත් කොතළාවල සිය පරිචය හරහා පියාගේ චරිතය තුළ සමබර නිරූපණයකට අවස්ථාවක් ගොඩනඟාගන්නා බව හැඟෙයි. චාන්දනී සෙනෙවිරත්න ද එසේ ය. ශ්‍යාම් ප්‍රනාන්දු දක්ෂයෙකි. එහෙත් දේශපාලකයකු තුළ උපතින් ගොඩනැගෙන ජාගර බව වෙනුවට මෙහි අපට හුරු ශ්‍යාම් මතු වෙයි. එය වලක්වා ගැනීමට ශ්‍යාම් උත්සාහ නොකිරීම කනගාටුවකි.

ෆාදර් සලරුවෙහි දැකිය හැකි විශිෂ්ටතම නව සොයාගැනීම ඔස්මන්ගේ පළමු ගොදුර බවට පත්වන මැරයා ලෙස රඟන විහඟ විජේසේකර බව හැඟෙයි. ඉතා සුළු කාලපරාසයක මුදාහැරෙන ඔහුගේ විස්මිත නිරූපණය ඉතා පරිණත වූවකි. එය චන්ද්‍රා කළුආරච්චි නිරූපණ ධාරිතාවෙහි ජෛවීය උරුමයකි.
කොලිවුඩ් හා මලයාලම් සිනමාවේ වර්ණවත් විචිත්‍රත්වය සිංහල සලරුවක රූප රචනයේදී දැකගත හැකි අවස්ථා දුලබ ය. විශේෂයෙන් ම ප්‍රචණ්ඩ ක්‍රියා රූගත කිරීමේදී මෙන් ම කොටහළු මංගල්‍යයේ හා පැරැණි වාහන ගාලේ වෙඩි තැබීමේ දර්ශන පෙළ තුළ මෙම නම්‍යතාව දැකගත හැකි වෙයි. එය මේ ආකාරයේ ප්‍රචණ්ඩ චිත්‍රපට ලෝලීන්ගේ නෙත් පැහැරගන්නට සමත් වනු නිසැක ය. කොටහළුවේ ගැයෙන දෙමළ ගීය මෙන් ම එහි රූප රචනය අතිශයින් සිත්ගන්නා සුළු බව සටහන් කරනුයේ විමල් කැටිපේආරච්චි විසින් විරචිත තේමා ගීය අවතක්සේරු කිරීමට නොව නිරංජලා මංජරී ගයන දෙමළ ගීයේ ප්‍රමිතිය සහ ඖචිත්‍යය වඩා ආකර්ශනීය වන බැවිනි. එහි නින්නාද දෙන දකුණු ඉන්දීය ජන ගායනා හඩ රසික සිිත් ප්‍රකම්පනය කරවයි. මෙහි එන ගීත තුන ම ප්‍රශස්ත ලෙස නිර්මාණය කිරීමේ සහ සංගීතය ඇතැයි නොසිතෙන, නොදැනෙන, ප්‍රස්තුතයට උචිත පසුබිම් සංගීතයක් නිර්මාණය කිරීමේ ගෞරවය චින්තක ජයකොඩිට හිමි විය යුතු ය.

කෙසේ වුව ද කොටහළු දැරියගේ මව හා පියා හැරුණු කොට මෙහි එන සෑම චරිතයක් ම ආදරය, ප්‍රේමය වැනි මානවීය හැඟීම් පළ නොකරන රළු ජීවීන් ලෙස ප්‍රතිනිර්මාණය කර තිබීම චිත්‍රපටයේ විශ්වසනීය බව බිඳ හෙළයි.

රාජ්‍ය භීෂණය නඩු නොඅසන යුගයක, ඔස්මන් වෙනුවට ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඒවායේ විපාක විඳින්නට සිදුවෙයි. ඝාතන වැලක් සිදු කළ ඔස්මන් රට හැර ගොස් ජීවිතය ගලවා ගනියි. උසාවියේ ඔස්මන් සිදුකරන ඝාතනය විනිසකරු දකියි. ‘ෆාදර්’ සිනමාකරු එයින් ඉඟි කරන්නේ එලෙස, අදටත් ඔස්මන් නිදහස් දිවියක් ගතකරන්නේ නීතියේ සිදුරු ඇති නිසා බව ද? අනෙක් අතට එලෙස ධනය හෝ බලය හමුවේ නීතියෙන් ගැලවී ගිය ද තම හෘදය සාක්ෂියෙන් නිදහස් විය නොහැකි ය යන්න සිනමාකරුගේ අවධානයට ලක් නොවූයේ මන්ද?

පුෂ්කර වන්නිආරච්චි

Related articles

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...

මේ හෙමින් යන ගමනක්… පියවරෙන් පියවර යන දිගු ගමනක්

ඇමරිකා එක්සත් ජනපද විශ්ව විද්‍යාල හෙවත් කොලීජි අතර පැවැත්වෙන ගෘහස්ත මලල ක්‍රීඩා තරඟාවලි මේ දිනවල ඇරඹෙනවා.ආර්කන්සාස්.. ජෝර්ජියා.. කෙන්ටකි.....