බුද්ධික දමයන්ත සහ චාමික හත්ලහාවත්ත නාට්‍යකරුවන් දෙදෙනාගේ නාට්‍ය දෙකක් ඉන්දියාවේ දිලි නුවර ජාත්‍යන්තර නාට්‍ය උලේලකට තේරී තිබෙන අතර එම නාට්‍යකරුවන්ට ඒ සඳහා යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ විවාදයක් ඇතිවෙලා තියෙනවා. මෙවැනි විවාදයක් ඇතිවුණු පළවෙනි අවස්ථාවද මෙය නෙමෙයි. විවාදය මතු වී ඇත්තේ ජනත මුදලින් මෙම අනුග්‍රහය ලබා දෙන්නේ කවර සාධාරණ පදනමක ඉඳලද කියන එකටයි. මේ හා තවත් එක හා සමාන ඉතා වැදගත් කාරණා රැසකට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට සිදුවී තිබෙන සදර්භයක් තුළ නාට්‍ය කලාවට පමණක් මෙවැනි විශේෂ අනුග්‍රහයක් ලබාදීම සාධාරණ වන්නේ කෙසේද යන්න විරුද්ධ මතයයි.
මේ මෙම සංසිද්ධිය විමසීමට ලක් කිරීමක්.
වඩා ගැඹුරින් විමසීමේදී , මෙය මූලික වශයෙන් සංවර්ධනය කියන්නේ කුමක්ද ඊට අවශ්‍ය සම්පත් සහ අනිකුත් කළමනා ගොනුකර ගන්නේ කොහොමද යන්න පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රම සම්පාදනය පිළිබඳව ප්‍රශ්නයක අවුලක් බව පහසුවෙන් පෙන්වා දෙන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නාට්‍ය වේවා තේ වේවා ඇඟලුම් වේවා යම් භාණ්ඩයක් හෝ නිෂ්පාදනයක් තවත් රටක ප්‍රමෝට් වීමකට ලක් වෙනවනම් පුළුල් අර්ථයෙන් එය වැටෙන්නේ සංචාරක කර්මාන්තයටයි. ලෝකයේ සෑම රටකම වගේ අඩු වැඩි වශයෙන් එම රටවල්වල ඇති නිෂ්පාදන, සංස්කෘතික නිෂ්පාදන ද ඇතුළුව, තවත් රටවල්වලට ගෙනයාම ප්‍රදර්ශනය කිරීම සහ විදේශ රටවල් වල ප්‍රමෝට් කිරීම ඔවුන්ගේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන අංගයක්. එය එම නිෂ්පාදනය ඉදිරිපත් කරන රට පිළිබඳව විදේශකයින්ගේ ගෞරවය විශ්වාසය සංවේදීතාවය ආනන්‍යතා හඳුනා ගැනීම මෙන්ම අවසානයේ වෙළඳපළ ආර්ථයෙන් සංචාරක කර්මාන්තයට සේවය කරනවා.
අපේ රටේ නාට්‍ය ආදී සංස්කෘතික නිෂ්පාදන අප වෙනක් රටවල්වලට ගෙන ගොස් පෙන්වන විට හෝ අපේ රටේ අය විදේශ රටවල් වල නිෂ්පාදනය කරන විට ඒවා දකින විදේශකයින් තුල උනන්දුවක් ඇති වෙනවා අපගේ කලා නිෂ්පාදන සම්බන්ධව නිරීක්ෂණ, අධ්‍යයන, පර්යේෂණ හෝ රස විදීම ආදිය සම්බන්ධයෙන්. ඒ හරහා ඔවුන්ට පෙළඹීවීමක් ඇති කරනවා අපේ රටවල් වලට ඒ සඳහා එන්නට හෝ මුදල් ආයෝජනය කරන්නට.
උදාහරණයකට, අපි දන්නවා කාලයක සිට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නැටුම් සංගීත ආදිය විදේශ රටවල්වල පෙන්වීමේ ප්‍රතිඵලයක් ලෙසට ඒවා සම්බන්ධ අධ්‍යයන පර්යේෂණ කිරීමට, නිරීක්ෂණ සහ රස විඳීමට උනන්දු විශාල සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට දැනට එනවා. ඒ සමහරු අපේ රටවල් වල විශ්ව විද්‍යාලවල පවා ඉගෙන ගන්නවා. ඒ සඳහා වඩා වැදගත් වන්නේ අදාළ කලා නිෂ්පාදන වල ගුණාත්මකත්වයට වඩා ඒ සම්බන්ධයෙන් අපට ආවේණික සංස්කෘතියක් හා රටාවක් තිබීමයි. කෙසේ හෝ අදාළ විශය සම්බන්ධව විදේශ රටවල් වල කුතුහලයක් ඇති කිරීමට හොඳම ක්‍රමය අපේ කලා නිෂ්පාදන විදේශ රටවල් වල හැකි තරම් ප්‍රදර්ශනය කිරීමයි.
එහෙත් මේ විදිහට විදේශ රටවලට අපගේ සමහර නිෂ්පාදනවලට, උදාහරණ තේ නිෂ්පාදන, මැණික් නිෂ්පාදන ආදියට දැවැන්ත වෙළඳපොළවල් තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඒ සඳහා විශාල අනුග්‍රහයක්ද තියෙනවා. ඒ වගේම තවත් සමහර අපට ආවේනික භාණ්ඩ සහ නිෂ්පාදන තියෙන්න පුළුවන් නාට්‍ය , රූකඩ, කෙටි චිත්‍රපටි හෝ තවත් විවිධ අත්කම් නිෂ්පාදන ආදී එවැනි වෙළඳපොලවල් තාම ගොඩනැගී නැති. එවිට ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි. එම අනුග්‍රහය වැටෙන්නේ නාට්‍ය සංගීත ආදී විවිධ කලා විෂයන්වලට රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙන සම්මාන වැනි පුද්ගලිකව දෙන අනුග්‍රහයක් ලෙසට නෙවෙයි, මහා වෙළෙඳපොළවල් නැති සංස්කෘතික නිෂ්පාදන වල සිට කුළු බඩු නිෂ්පාදන දක්වා ඕනෑම නිෂ්පාදනයක් විදේශ වෙළඳපොළවල්වලට ගෙනයෑම සහ හඳුන්වාදීම කියන ඉතා වැදගත් ජාතික අවශ්‍යතාවයක් යටතේයි. ලෝකයේ බොහෝ රටවල්වල මෙන්, මම දන්නා තරමින් ශ්‍රී ලංකාවේද සුළු ව්‍යාපාර ප්‍රමෝට් කිරීම සඳහා විවිධ රාජ්‍ය අනුග්‍රහයන් ලබා දෙනවා. ඊට නාට්‍ය කලාව නොවැටෙන්නට හේතුවක් නැහැ. නාට්‍ය කලාවට අද මෙහෙම අසරණ වෙන්නට ප්‍රධාන හේතුවක් වුණේ එය මුල් කාලයේ සිටම පින් අතේ වැඩක් විදිහට විනා ධනවාදී වෙළදපල ක්‍රමයක් තුළ වෙළඳපොළ අර්ථයෙන් පැවතීමට අවශ්‍ය ආකෘතිය රජය විසින් හඳුන්වා නොදීමයි. අදත් සුළු ව්‍යාපාර නගා සිටුවීම යන අර්ථයෙන්වත් නාට්‍ය කලාව සලකා නොලබන්නේ මේ නිසයි. (මහා ව්‍යාපාර අර්ථයෙන් ද නාට්‍ය නිෂ්පාදන පැවතිය හැකියි.)
ඒ සඳහා හැමවිටම රජයේ මුදල් දෙනවට වඩා ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල රජය විසින් කරන්නේ ඊට අදාල දියුණු ආකෘතියක් නිර්මාණය කර පවත්වාගෙන යෑමයි. උදාහරණයකට කියනවා නම්, ශ්‍රී ලංකාවේ නාට්‍යකරුවන්ගේ නාට්‍ය මෙහෙම ජාත්‍යන්තර උළෙලක ප්‍රදර්ශනය සඳහා යාමට ගුවන් ප්‍රවේෂපත්‍රවලට අනුග්‍රහය දැක්වීමට ඩිල්මා තේ වැනි අනුග්‍රහකවරයෙකුට ආරාධනා කර ඔවුන්ගේ නිෂ්පාදනද ඒ සමග ප්‍රමෝට් කිරීමට අවස්ථාව සලසා දෙනවා. මේ විදිහට විවිධ ව්‍යාපෘති සහ නිෂ්පාදන සම්බන්ධ කර දෙපාර්ශවයටම එහි වාසිය සලසා දෙනවා. මේ විදිහට දියුණු ක්‍රම සහ විධි, රාජ්‍ය ප්‍රතිපත්ති සහ වෙළඳපළ ආකෘති ආදිය සම්පාදනය කිරීම, නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යෑම රජයක කටයුත්තයි. ශ්‍රී ලංකාවේ ඩිල්මා තේ ඕස්ට්‍රේලියාවේ නාට්‍ය කලාවට අනුග්‍රහය දක්වන අවස්ථා අපට දකින්නට තිබුණත් ශ්‍රී ලංකාව තුළ දක්නට නැත්තේ අපගේ ඇති දූපත්වාදී දර්ශනයේ දුගීභාවය නිසයි.
ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ සෑම දියුණු රටකම සංචාරය කිරීමට මුදල් නැති නාට්‍ය ආදී ප්‍රසාංගික කලා නිෂ්පාදන වලට එම රට තුලමත් විදේශ රටවලටත් සංචාරය කිරීමට අනුග්‍රහය දක්වන ක්‍රමයක් තියෙනවා. එම අනුග්‍රහය ලබාදීමට සුදුසු වීමට ඔවුන් ප්‍රවර්ගකරණයක් නිර්මාණය කරලා රාජ්‍ය නොවන අනුග්‍රහකවරු මුණගස්වලා තියෙනවා. බොහෝ විට ඊට ඇතුළත් වෙන්නේ විශාල වෙළඳපොලක් නැති දුෂ්කර නිෂ්පාදන සහ භාණ්ඩ වැනි ප්‍රවර්ගයන්.
දැන් අප නාට්‍යකරුවන් දෙදෙනාගේ නාට්‍ය ගතහොත් ඒවා ශ්‍රී ලංකාවේ රජයකට කරන්න බැරි අමාරුම කොටස වන විදේශ රටක ජාත්‍යන්තර ප්‍රජාවක් ඉදිරියේ ප්‍රදර්ශන සඳහා තෝරාගෙන තියෙන අතර දැන් තියෙන්නේ ඔවුන්ට සංචාරය කිරීමට ගුවන් ප්‍රවේශපත්‍රවලට අනුග්‍රහය දක්වන්නට කවර හෝ රටට වැදගත් සාධාරණ අර්ථයකින් රාජ්‍ය ප්‍රතිපත්තියක් හෝ ආකෘතියක් නැතිවීමයි. ශ්‍රී ලංකාව වගේ රටවල් වලට දියුණු වෙන්න බැරි ප්‍රධානම කාරණය වන්නේ රටට ඇති ස්වභාවික,භෞතික සහ මිනිස් සම්පත් හරියටම හඳුනාගෙන ඒවා ඉතා පුළුල් සංවර්ධනය පිළිබඳ අර්ථයකින් ගෝලීය සහ ජාතික සන්ධර්භයන් තුළ ඵල දරන ආකාරයෙන්ක්‍රියා කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති, ආකෘති සහ වෙළඳපොළවල් නිර්මාණය කිරීමට සහ සම්පාදනය කිරීමට අපේ රජයන් වලට ඇති අසමත්භාවයයි. අවාසනාවට එය යම් රජයේ නිලධාරියෙකුට ෆේස්බුක් විවාද බලලා කරන්නට පුළුවන් සරල කටයුත්තකට වඩා සංකීර්ණ බුද්ධිමය කටයුත්තක්. මේ විදිහට අපේ ජනතාව විසින් තම දැන නැන විදිහට කර ගන්නා බොහෝ දේවල් රජය විසින් කළ දිය යුතුව තිබුණු කටයුතු වන අතර ජනතාව තුළද කාලයක සිට මේ නිසා ගොඩනැගී ඇත්තේ රජයන්වල බංකොලක් භාවයට අනුව ගොඩනැගුණු දෘෂ්ටිවාදයයි.

