අන්ධකාර ඉතිහාස පරිච්ඡේදයක සංඛේතීය සාක්ෂිකරුවා හමුවන්නට
ඔබත් එන්න!
ලසන්ත අපට අවසන් වරට මුණගැසුණේ මෙයින් වසර 17කට පෙර, එනම් 2009 ජනවාරි 12වැනි සඳුදා සවස් වරුවේ ය.
එදින ඔහු සිටියේ සිය අවසන් සයනයේ සැතැපීගෙන ය.
සිතිවිලි සංවේදනා තවදුරටත් නොදැනෙන තරම් හිරිවැටී, මිදී ගල් වූ හදවත් සහිතව අපි ඔහු බොරැල්ල පොදු සුසානභූමියට ඇරලවා, අප පසුපසින් කිසිවකු ලුහුබඳින්නාක් බඳුව ඇසෙන අපේ ම පියවර හඬට තිගැස්සෙමින් අන්ධකාරය මැද්දෙන් ආපසු පැමිණියෙමු.
ඉන් සති දෙකක් ඉක්ම යන්නට මත්තෙන් එතෙක් අප වටකරගෙන සහයෝගීතාවද, සහෝදරත්වයද, මිත්‍රත්වයද, ආදරයද වගුරුවමින් පමණක් නොව අපේ ජීවිත සුරක්ෂිතාව ගැන වදවෙමින් ද සිටි සහෝදර කැලක් හැරදමා අපට රටින් පලාඑන්නට සිදුවිය. ලසන්තට අත් වූ ඉරණම අප පසුපස ළං ළංව ලුහුබැඳ එන බව ඉතාම පැහැදිළිව දැන සිටි බැවින් හා ලසන්ත වැන්නකුට එවැනි ඉරණමක් අත්කර දුන්නා නම්, අපේ ඉරණම ගැන අප සැක සංකා තබාගත නොයුතු බව දැනසිටි බැවිනි, ඒ.
දැන්, වසර 17කට පසු, සාමූහික ප්‍රයත්නයක ප්‍රතිපලයක් වශයෙන්, අපි නැවත වතාවක් එදා සුසානයක මිහිදන් කර ආ ලසන්ත ඔබට මුණගස්වන්නට සූදානම් වී සිටිමු.
ඒ ලබන 27වැනිදා, අඟහරුවාදා සවස 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ය.
ලාංකේය ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රධානතම වෘත්තීය සංගමය වූ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ Sri Lanka Working Journalists’ Associationමූලිකත්වයෙනි.
ගාමිණි වියන්ගොඩ, ආචාර්ය දීපිකා උඩගම, Amirthanayagam Nixon, ලසන්ත රුහුණගේ සහ කුමාර අලගියවන්න යන සහෝදර සහෝදරියෝ ලසන්ත වික්‍රමතුංග ඔබට සම්මුඛ කරවන්නට අපට උපකාර කරති.
ලසන්ත වික්‍රමතුංග ඔබට සම්මුඛ කරවීමේ කර්තව්‍යයේ කර්තෘකාරකයා වශයෙන් මගේ නම සඳහන්ව ඇතත්, ඇත්තටම එය හුදෙකලා වික්‍රමයක් නොව සමූහයක් වශයෙන් ගත් දැවැන්ත පරිශ්‍රමයක ප්‍රතිපලයකි. ඇතැම්හු එහි නමින් ම පෙනීසිටිති. එහෙත් ඊට වඩා විශාල පිරිසක් එහි නිර්නාමිකව ද පෙනී සිටිති. ඒ කොහොමින් හෝ ඔබ මෙතෙක් නෑසූ-නොදුටු තොරතුරු සම්භාරයක් තමන් වටා ගොඩනැඟෙන්නට ඉඩහරිමින් ලසන්ත ඒ මැදින් නැඟීසිටින බව ඒ
සමූහයේ ප්‍රකාශකයා වශයෙන් මම ඔබට කියමි.
පොතේ පෙරවදනේ මම මෙවැනි වැකියක් ලීවෙමි.
“ඉතිහාස කතාවේ හිඩැස් තබා ගියවිට ඒ හිඩැස් කුස්තූරවල පදිංචි වන්නේ ගෙවලයන් හා කුම්භාණ්ඩයන් ය. ඌරුමීයන් හා වවුලන් ය. නයි-පොළඟුන් හා උරුලෑවන් ය.”
කරුණුමය නිරවද්‍යතාවක් සහිතව ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න ගවේෂණය කිරීමට උත්සාහ දරමින් ඉතිහාසයේ හිඩැස් හැකි තරම් පුරවාදැමීමට අප වෙහෙසවිය යුත්තේ එබැවිනි.
ඉතිහාසයේ එක් අන්ධකාර පරිච්ඡේදයකුත්, සමස්ත අදහස් මර්දනයේ හා දණඩ මුක්තියේ නිරුවතත්, වසර 17කට පසු ලසන්ත වික්‍රමතුංග නම් ඒ සංඛේතීය මිනිසාත් සමඟින් සම්මුඛ වීමට ඔබ සියල්ලන්ට මෙයින් ආරාධනා කර සිටිමු!
සනත් බාලසුරිය
ලසන්ත නොපියවුණු දෑසක් ළගන්නා සිනාවක්….
අප කිසි දිනක සමු නොදුන් මිනිසා යළි අප සොයාගෙන ආවේය. අපගේ කාර්යාල කාමර වල බිත්ති මත නොනවතින සිනහවක නිමග්න මිනිසා අප සොයාගෙන ආවේය. ඉදින් ඔහු සමඟ දවසරින්නට ඉඩ දෙන්න…
ලසන්ත ඔබ ජනමාධ්‍ය ගැන හැඟීමක් දුන් මිනිසෙක්..
ජනමාධ්‍ය පිළිබඳ හැඟීම තවකෙකු තුළ උපද්දවන්නට හැම පත්තරකාරයෙකුටම නොහැකිය. හැඟීම ඉපිදවිය හැක්කේ එම විෂය පිළිබඳ යථානුභූතවාදී හැඟීමක් ඇත්තෙකුටය. ලසන්ත වික්‍රමතුංග ජනමාධ්‍ය පිළිබඳ හැඟීම තමා සමග වෙසෙන නොවෙසෙන අනෙකා තුළ ඇතිකිරීමට සමත්වූ ජනමාධ්‍යවේදියෙකි. ඔහු හැමවිටම මොකක්ද සිදුවූයේ නොව මොකක්ද සිදුවන්නේ යන්න ගැන සුපරික්‍ෂාකාරීව සිටි පත්තර කලා වේදියෙකි. එම සුපරීක්‍ෂාව නිසාම ඔහුට හැම විටම අන් අයට හමු නොවන ජනමාධ්‍ය ලෝකයක් මුණ ගැසුණේය. ඒ ජනමාධ්‍ය ලෝකයේ හෙතෙම එකලාව භුක්ති නොවින්දේය. ඔහු අන්‍යයන් සමග තොරතුරු හුවමාරු කර ගත්තේය. හැමවිටම කාර්යාලයේදී හමුවන ඕනෑම කෙනෙකුගෙන් ඔහු ඉංග්‍රීසි බසින් විමසන ප්‍රශ්නයක් තිබිණි.
“මොකද වෙන්නේ?”
ඔහු තමාට මොකද වෙන්නේ යන්න ගැනත් දැනගෙන සිටියා විය හැකිය. එහෙත් තමාට සිදුවන දෙයට වඩා තම අනෙකාට, එල්ල වන විෂම සැලකීම ගැන ඔහු තැවුලින් පසුවූයේය. කෝපයෙන් පසුවූයේය. ඉන් නිපන් ඇත්ත ආතතියෙන් අනෙකාගේ ප්‍රශ්නය ගැන ලිව්වේය. ලසන්ත මහමඟදී නිහඬ කැරුණේ ඒ නිසාය. තමාගේ වැඩක් බලාගෙන සිටීමට ලසන්තට ඕනෑ තරම් අවකාශ තිබුණි. එහෙත් ඔහු තමා නොසලකා හැරීයේය. අනෙකාගේ ජීවිත අයිතිය වෙනුවෙන් ප්‍රාර්ථනා දල්වාලන්නට හැම විටම මඟ හෙළිපෙහෙළි කළේය.
‘‘මිතුර මම කනගාටුදායක ඉරණමකට මුහුණ පා සිටිමි’’ එසේ පසුතැවිලි වන විට මට ඔබේ ඉරණම වෙනස් කළ හැකි යැයි අධිෂ්ඨානශීලී ව කී මිනිසාට ඉක්මනින් අප හැර යන්නට සිදු විය.
නිකම් ම භේද වීමෙන් වැඩක් නැත. වඩා වැදගත් වන්නේ කිසියම් අදහසක් ඇති භේදවීමක් ය. අපට අහිමි වූයේ තමා දරන මතය වෙනුවෙන් භේද වීමට තරම් අවංක හදවතක් තිබුණු මිනිසෙකි.
ලසන්ත වික්‍රමතුංග සහෘදයාණනි, ඔබ නොමැතිවද, ඔබට යුක්තිය නොමැතිවද දාසය වසරකි!
කසුන් පුස්සෙවෙලා
ලසන්ත ඝාතනය
‘අපරාධ රාජ්‍යයක්’
අසංක්ෂිප්ත පරිච්ඡේදයක්

