දීපිකා රුවන්මලී කොඩිකාරගේ ”මද සිනා නගන විල් දිය’ කාව්‍ය සංග්‍රහයෙන් කවි දෙකක් . රුවන්මලී කොඩිකාර
මෙය 2025 වසරේදි ප්‍රකාශයට පත් වූ කවිවර ප්‍රකාශනයකි. මෙය විවිධ තේමවන්ට අයත් කවි 49 ක එකතුවකි.
මෙම කවි එකතුවේ හමුවන බොහොමයක් කවි නැවත නැවත කියවා මෙනෙහි කළ යුතු ය. ඒවායෙන් විවිධ අරුත් පැන නගින බවක් දැනෙයි. සිය කාව්‍ය අත්දැකීම් විකාශනය කරනු වස් ඇය යොදා ගන්නා කවි බස ද අවස්ථානුකූලව වෙනස් වීම නිසා කවියට නිරායාස රිද්මයක් ලැබී ඇත. ඒ අගනා කවි අතරින් කවි දෙකකට පමණක් අවධානය යොමු කරමි.
ඉසිඹු ලද සති අන්ත
ඉසිඹු ලද සති අන්තවල
අනුරපුරයට වැඩ
නටඹුන් විස්මිත
කැමරා ඇසින් විමසමි
ප්‍රෞඪ යුග ගැන
ගැඹුරු බැල්මෙන් මැන
සිහල බොදු බැති සිත
ෆෝන් ගැලරියට පවරමි
පෙරදිග ධාන්‍යාගාර
විභාග පිළිතුරු පතක
ඉහළ ලකුණක් යට
සදහට ම සඟවමි
කඳුළු දහදිය දියවර
සිඳී වැව් පතුල මතුවී
ඉරි තැළෙයි රිදුම් පිපිරි
කවි ගී එ’ගැන පබදමි
දාගැබ්, පිළිම, කැටයම්
හොරැහින් මදෙස බලමින්
මියැදෙනා අබිමන ගැන
හෙළන සුසුමින් තැති ගනිමි
කෙටි නිවාඩුවකට අනුරපුරයට යාම, මධ්‍යම පාන්තික සමාජයේ සාමාන්‍ය පුරුද්දක් බවට පත් වී ඇත (මධ්‍යම පාන්තික සමාජයෙන් පරිබාහිර අය එසේ නොයන්නේයැ යි අදහස් කරන්නේ නැත). මේ කවියේ කථකයා ද මේ සාමාන්‍ය පුරුද්දට මෙන් අනුරාධපුරයට යන්නේය.
කථකයා අවුරුදු දෙදහස් පන්සියයක් පැරණි ප්‍රෞඪ යුගයේ සිහල බොදු බැති සිත ඡායාරූපයට නගයි. එම ප්‍රකාශය තුළ පැන නැගෙන උත්ප්‍රාසය වටහා ගන්න රසික ඔබට අපහසු නැත. බොදු බැති සිත කියා අල්ලා ගන්නේ මොනවා ද? නටබුන් වූ ගොඩනැගිලි හා ගල් කනු ද, අනුරාධපුරයෙන් ගත යුත්තේ බොදු බැතිය ද, එහි පැවති සරල බොදුනු දිවි සිරිත ද? අප ආඩම්බර විය යුත්තේ කුමක් පිළිබඳව ද පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය විභාග පිළිතුරු පතක සටහන් කර ඉහළ ලකුණකට සැඟවීම තුළින් ගිරා පෝතකයන් බිහි කිරීමේ අධ්‍යාපන විභාග ක්‍රමය ගැන අකමැත්ත කිවිඳිය සදය උපහාසයෙන් සටහන කරන්නීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ සමාජයට කෙතරම් උවමණා ද ඇය අපෙන් නො අසා අසන්නීය. එපමණක් ද සහල් මාෆියාව සහ පිටරටින් සහල් ගෙන්වීම, සහල හිඟය ආදී වර්තමානයේ සැබෑ ගැටළුව වූ කළ අතීතයේ පෙරදිග ධන්‍යාගාරය අද ඇද වැටී ඇති තත්ත්වයද ඇය අපට සිහි කරන්නීය.
කවිය සමෝධානයට පත් වන්නේ, අනුරපුර නටඹුන් අතර සැරිමෙන් විස්මිතව හුන් කථකයා ඒ නටඹුන් ම වියැකී යන සිය අබිමන් ගැන කම්පා වන බැව් කීමෙනි. ඒ සුසුමන් කෙනෙක් වහා තැතිගන්වන සුළුය.
දාගැබ්, පිළිම කැටයම් යනු කවරේද? ඒ අපේ අබිමානවත් යුගයක ඉතිරි බිතිරි ද? නැතහොත් ඒ අපේ උරුමය ද? සම්ප්‍රදායද? සම්ප්‍රදාය යනු එක රාජධානියක පමණක් බිහි වී ඊ ලඟ රාජධානි මාරුවීමේදි නැති වී ගිය යමක් ද? ඒ සම්ප්‍රදායක් සැබෑ නම් යුගයෙන් යුගය විකාශනය වෙමින් වර්ථමානය කරා පැමිණ සිටිය යුතු නොවේද? එසේ නම් එදා පැවති තාක්ෂණයට, කලාවට සංස්කෘතියට, ආගමික හික්ම වීමට කුමක් සිදු විනිද?
දාගැබ්, පිළිම, කැටයම්
හොරැහින් මදෙස බලමින්
මියැදෙනා අබිමන ගැන
හෙළන සුසුමින් තැති ගනිමි
කිවිඳිය මෙම කවිය හරහා ප්‍රශ්න කරන්නේ සම්ප්‍රදාය යනුවෙන් නාමකරනය ලද කඩමල්ලක් පොරවා ගත් සාම්ප්‍රදායික මිනිසුන්වද? තමාව ද? නැතිනම් අපවද?
වෙනත් ආකාරයක් ජීව්ත දැක්මක් සහිත තවත් කවියක් වෙත යොමු වෙමු.
කඳු පාමුල සගයාට නම් හිසින් යුතු කවිය
තරණය කර කන්ද නෙක් දුක් ගැහැට මැද
මුදුනත සිට හෙළමි නෙත් සැනසීම විඳ
මෙර හිස තබා ගත් සගයෙක් පහළ හිඳ
හෙළු සුසුමකින් කඳු හිස සෙලවුණාව ද
පියගැටපෙළක් වන්නට රිසි කිසිත් නැති
ඔහුට ද ම සේ ම බියකරු රිදුම් ඇති
ඉහළ දී දිසෙයි පාමුල අප නොදුටු පැති
එනු නොපැකිළ ව මේ සිරසට නොගෙන තැති
මෙම කවිය මතු පිට අපට හමුවන්නේ, අනේක දුක් දෝමනස බාධක කරදර මැද නොපසුබටව සිය ඉලක්කය කරා ගොස් එතැන සිට, තම ඉලක්ක කරා තවමත් ලඟා නොවූ, එම ඉලක්ක කරා එන්නට තමන් සේම උත්සහ කරන සගයන් දිරි ගන්වන්නෙකි.
එකී කවියේ අපට හමුවන කථකයා, පෞද්ගලික ජය තහවුරුවකට වඩා පොදු සාමුහික ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරන්නෙකි. තමා ලද යම් ජයක් වේ නම්, අනෙකා ද එය ලබා ගත යුතු යයි සිතන එය වෙනුවෙන් අනෙකාව දිරිමත් කරන්නෙකි. මෙවන් මනුෂ්‍යන් අප සමාජයෙ විරල වුවත් ඉඳ හිටක හෝ තවමත් හමු වීම වාසනාවකි.
ඉහත කවිය කියවන විට නිතැනින්ම සිහි වන ධම්ම පද ගාථාවක් ද වෙයි.
පමාදං අප්පමාදෙන – යදා නුදති පණ්ඩිතො
පඤ්ඤා පාසාද මාරුයහ – අසොකො සොකිනිං පජං
පබ්බතට්ඨොව භුම්මට්ඨෙ – ධීරො බාලේ අවෙක්ඛති
මහගම සේකර කිවිඳුන් ද, උක්ත ගාථාවම ඇසුරු කළ අවස්ථාවක් අපට “මක්නිසාද යත්” කාව්‍ය එකතුව තුළ හමුවේ.
“විෂමව කැරකෙන ලොව දෙස
ඔබත් මමත්
ඈතට වී බලා සිටිමු
පබ්බත්ට්ඨොව භුම්මට්ඨෙ
මේ ලොව මීට වඩා යහපත් කොට
සාදන්නට එවිට අපට හැකිවනු ඇත”
සේකර කිවිඳු, විෂමව කැරකෙන ලොව දෙස ඈතට වී බලා සිටින්නේ, එම ලොව හා ගැටෙන්නට යාම පඤ්ඤා පාසාදය මුදුනට ආ ප්‍රඥාවන්තයකුට නොතරම් ය යන හැඟීමෙන් ය. එහෙත් ඒ කථකයා සතුව අනාගතය පිළිබඳව සර්ව සුභවාදී බලාපොරොත්තුවක් ඇත. ලොව වඩා යහපත් තැනක් කිරීමට ඔහුට උතුම් බලාපොරොත්තුවක් ඇත. (එතුමන්ගේ කවිය සහ ජීව්ත දරශනය පිළිබඳව කතා කිරීම දීර්ඝ සංවාදයකට යාමකි) කොඩිකාර කිවිඳිය ද මෙම කවියේ දී ධම්ම පද ගාථාවන් ආලෝකය ලබන අතරම, රසිකයා වෙත වෙනත් ආලෝක කලාපයක් දක්වන්නීය. එය අප සැම ගනු දෙනු කරන ආත්මාර්ථයෙන් පිරුණ සමාජයට මුණිවර ආලෝකක් පෑමකි. කථකයා මේ වන විටත් නැග සිටින ගිරි මුදුනට එන්නට අනෙකාට අත හිත පා දිරි දෙන්නීය. පහළ සිට ජීවිතය ගොඩ ගන්නට උත්සහ කරන අය දිරිමත් (Motivation) කරන අභිලාෂයකි එහි ඇත්තේ. කථකයා බොහෝ සේ පරහිතකාමි අභිලාෂයන් පෙරදැරි ව ය ඒ දිරිදීම කරනු ලබන්නේ. කවියකින් විෂද විය යුතු සමාජ සත්තාව එම කවියේ පදනම යි.
මෙම කවි එකතුවේ ඇති සාර්ථක ම කවි පහ තේරීමට අවස්ථාවක් ලදොත් මා විසින් උක්ත කවිය ඒ අතරට ගන්නා බව ස්ථීරය.
රුවන්මලි කොඩිකාර කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය එකතුව හරහා ඇය සලකුණු කරන සිංහල කවිය තුළ ඇගේ සමත්කම් වෙනුවෙන් ඇයට සුබ පතමි.

