කේරළයට ගිය කෑරළා (01)
කෙටි පිම්මකින් ඉන්දියන් සයුරින් එතෙරට පිනූ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් බැස ආගමන නිලධාරීන්ගේ කවුළුව සහ රේගු කවුළුව හරහා තිරුවේන්ද්‍රම් ගුවන් තොටින් පිටතට එනවිට දැඩි හිරු රැසින් අවට නැහැවෙමින් තිබිණි. පෙරදා සන්ධ්‍යාවේ වට්ස් ඇප් හරහා දුරකථන ඇමතුමක් දුන් අභිලාෂ් කොහිදැයි බැලීමි. ඔහු කේරළ නියම සභා ලේකම් කාර්යාලයෙන් (ඔවුන් කේරළ ව්‍යවස්ථාදායක සභාව හඳුන්වන්නේ එපරිද්දෙනි.) මා වෙනුවෙන් පත්කරන ලද රැකවල් දූතයාය. ඔහු ඊයේ පළමුව මට පණිවුඩයක් කොටා තිබිණි. එහි සිංහල අරුත මෙපරිදිය.
‘සුබ උදෑසනක් සර්,
මගෙ නම අභිලාෂ්. මම කේරළ ව්‍යවස්ථාදායක සභා කාර්යාලයෙන්. හෙට උදේ 9.
20ට මම ඔබව තිරුවේන්ද්‍රම් ගුවන් තොටේදී හමුවෙන්නම්.’
මම වහා ඔහුට ඇමතුමක් ගතිමි. පසුදින හමුවෙමු යයි කීමි.
ඉදින් දැන් එක්වරම සිහින් සිරුරැති තරුණ විය නොඉක්මවූ අයෙක් සෙනග අතරින් මා කරා ආවේය. පෙරදින දුටු සේයාරුවෙහි සිටි පුද්ගලයා හා මොහු සමානය. මගේ විරුද්ධත්වය නොතකා වහා මගේ බෑගය අරගත් ඔහු එය වාහනයට පටවාගති. එය ලංකාවේ අපට හික් ගෑවෙන තරම් මිල අධික සුඛෝපභෝගී වාහනයකි. මා සිම් කාඩ් පතක් ගන්නා තුරු ඔහු ඉවසිලිවන්තව මා අසල රැඳුණි. ඉන්පසුව අපි වාහනයට ගොඩවීමු. විනාඩි කිහියකින් අපේ ගමනාන්තය වූවේ කේරළ සංචාරක සංවර්ධන සංස්ථාව යටතේ පාලනය වන මස්කට් හෝටලයයි. කේරළ ව්‍යවස්ථාදායක සභාව හෙවත් ප්‍රාන්ත ආණ්ඩුවේ මන්ත්‍රණ සභා ගොඩනැගිල්ල ඇත්තේ ඊට මීටර් පණහක් පමණ ඔබ්බෙන් පාරෙන් අනිත් පැත්තේය.
එක්වරම මගේ සිහියට ආවේ වසර විසි පහකට පෙර 2005 දෙසැම්බර් 06 දින මගේ බිරිඳ සහ දරු දෙදෙන සමගින් පළමු වරට තිරුවේන්ද්‍රම් පුරයට ආ ගමනයි. එදින අප ගුවන් තොටට ආ ගමන් මගේ දියණිය කළේ (එවක ඇය පස් හැවිරිදිය.) මේ කොහෙද ආවෙ කියමින් සිය බෑගය බිම දමා විරෝධය පල කිරීමයි. එදා එහි වූ ඉතා ප්‍රාථමික මට්ටමේ ගුවන් තොට සමග සසඳන විට අද ඇත්තේ ඉතා දියුණු ගුවන් තොටකි. අද එහි පවිත්‍රතා කටයුතු වලට පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර පවා යොදවා ඇත. එදා ඉතා දියුණු තත්වයක පැවති කොචින් ගුවන් තොට අද බෙහෙවින් දියුණු සහ කාර්යබහුලය. ඒ ආසන්න ප්‍රධාන නගරය වන එර්නාකුලම් හී මෙට්‍රො දුම්රිය සේවාවක්ද ක්‍රියාත්මකය.
එදා අප මේ ගොඩනැගිල්ල පසුකර ගියෙමු. දැඩි ආරක්ෂක විධිවිධාන හේතුවෙන් ඊට පිටස්තරයන්ට ඇතුළුවීමට නොදෙන බව එදා ඇසීමු. එහෙත් අද ඒ කිසිදු බාධාවක් නැත. ජනයා රිසි සේ එහි ඇතුළු වෙති. නිදහසේ සරති.
‘මේ උත්සවය නිසා ආරක්ෂක විධිවිධාන ඉවත් කරලා ජනතාවට නිදහසේ ඇතුලු වෙන්න ඉඩදීලා තියෙනවා. ඒ නිසා තමන්ට ලැබුණ අවස්ථාව ප්‍රෙයා්ජනයට අරගෙන හුඟක් අය එනවා.’
අභිලාෂ් විස්තර කරයි. මගේ නවාතැන්පල මේ තරු පහේ හෝටලය බව ඔවුන් මට දන්වා තිබිණි. මගේ සියළු අවශ්‍යතා ඉටුකර දුන් අභිලාෂ් පිටව ගියේ මට උත්සව බිමට ඇතුළු වන්නට අවශ්‍ය වූ විට ඇමතුමක් දෙන ලෙස කියමිනි. පාරෙන් එයා පැත්තට පැනීම මහ දෙයක් නොවේ යයි මම ඔහුට කීමි. අප වාහනයකින් යන්නේ නම් ඒ කෙටි දුර යාමට එක් පසෙකට පමණක් වාහන ධාවනය වන මගෙක මීටර් එකසිය පණහක් පමණ යා යුතුය. පයින් යාමේ මගේ කැමැත්ත නොතකා අභිලාෂ් මට කීවේ ඔවුන් මා වෙනුවෙන් වාහනයක් වෙන්කර ඇති බවය. මම පැයකින් සූදානම් බව කීවෙමි. හරියටම පැයකින් අභිලාෂ් එතැනය. ඔහු ගැන වෙනම ලිවිය යුතුය.
මා කේරළය බලා යන්නේ කේරළ ව්‍යවස්ථාදායක සභා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරාධිත අමුත්තා ලෙසටය. මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු සිදුකළ පත්මසීලී සහෝදරිය සහ මගේ අවශ්‍ය විස්තර ලබාදීම සම්බන්ධීකරණය කළ රශ්මික මණ්ඩාවල සහෝදරයා මෙහිලා සිහිපත් කළ යුතුය.
කේරළ ව්‍යවස්ථාදායක සභා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය යනු එහි ප්‍රාන්ත රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ වාර්ෂිකව පවත්වනු ලබන දැවැන්ත පොත් ප්‍රදර්ශණයකි. මෙවර එය පැවැත්වෙනුයේ සිවුවන වරටය. ව්‍යවස්ථාදායක සභාවේ දැවැන්ත ගොඩනැගිල්ල වටා ඉදිකර ඇති ප්‍රදර්ශණ කුටි සියල්ලේම පොත් ප්‍රකාශකයන්ය. ඊට අමතරව පොත් එළිදැක්වීම්, පොත් ගැන සාකච්ඡා සඳහා වන වේදිකා දහයකට අධිකය. මෙයින් එකක් වෙසෙසින්ම පාසැල් සිසුන් සඳහාය. එයද දවස පුරාම කාර්ය බහුලය. අනෙක් වේදිකාවන්හී තත්වයද එසේමය. සිසුන්ගේ වේදිකාවේ පැවති අංගයන් අතර වරක් දුටු නිරූපණයක් මට කිසිදාක හෝ අමතක නොවේ. එහිදී වයස අවුරුදු දොළහක දහහතරක පමණ සිසුවියක් තනිවම චරිත හතරක් පමණ රඟපාමින් කදිම අත්දැකීමක් ලබාදුන්නාය. චරිතයෙන් චරිතයට මාරුවෙමින් ඇය පෑ සුරුකම් ඉතා අගී.
මගේ ඇඟේ ලේ වතුර වූවේ අභිලාෂ් සමග පළමු වරට එහි පිවිසුම අසලට ආ අවස්ථාවෙහිදීය. අභිලාෂ් මට වාහනයේ දොර හරින්නටවත් ඉඩ නොදෙන තරමටම මා ගැන සැලකිලිමත්ය. වහා වාහනයෙන් බට ඔහු දොරටුවේ සිටින ආරක්ෂක භටයන්ට මා කවුදැයි පැවසීය.
‘දිස් සාර් ඊස් ප්‍රොම් ශ්‍රී ලංකා. හී ඉස් ද ගෙස්ට් ඔෆ් සෙරමනි.’
කේරළයේ දැන් වසර දහයක් තිස්සේ ඇත්තේ කොමියුනිස්ට් පක්ෂය යටතේ ඇති ආණ්ඩුවකි. මැතිවරණය අත ළඟය. මගේ මිත්‍රයා මා සාර් කෙනකු ලෙස හඳුන්වයි. රත්තන්ට සාර්ලා අරහං ය. නමසිය දහහතේදී ලෙනින් බලය ඇල්ලුවේ සාර්ලා කම්මුතු කරමිනි. දැන් අභිලාෂ් මා සාර් කෙනකු ලෙස හඳුන්වයි. මම අසරණව වටපිට බැලීමි. එහෙත් මා බදා අල්ලාගනු වෙනුවට ඔවුහු සිනහ පා ගරුසරු සහිතව ඇතුලට යාමට මට ඉඩ හරිති. මගේ නිල කටයුත්ත ඇත්තේ 10 වනදාය. එහෙයින් මම පොත් ප්‍රදර්ශනය නරඹා අවශ්‍ය පොත් වෙතොත් මිලට ගන්නා බව පවසා අභිලාෂ්ට අවශ්‍ය විට කතාකරන බව කියා ඔහු නිදහස් කළෙමි.
‘අවශ්‍ය පොත් තෝර ගන්න. ගෙවන්න එපා. නියම සභා කාර්ය මණ්ඩලයට සියයට විස්සක වට්ටමක් ලැබෙනවා. මං ඒකට පොත් ටික අරගෙන දෙන්නම්.‘
අභිලාෂ් නිසා මා මිලට ගත් සෑම පොතකටම සියයට විස්සක වට්ටම් ලැබිණි.
මම සංවිධායක කමිටුව සොයා ගියෙමි. ඒ පොත් ප්‍රදර්ශණය ගැන දැනගනු පිණිසය. මේ ඔවුන්ගෙන් ලද තොරතුරුය.
සෑම කුටියක්ම ලබා දෙනුයේ සහනදායී මිලකටය. ප්‍රදර්ශණයේ මලයාලම් ප්‍රකාශකයන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රකාශකයෝද වෙති. ප්‍රම්‍රඛතාව පාඨකයන්ටය. දවස පුරා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබේ. ආසන දහසකට අධික ප්‍රධාන ශ්‍රවණාගාරය විවිධ කලා සාහිත කටයුතු සඳහා වෙන්කර තිබේ. (මම එහි දොර අසල ජනයා පොරකනු දුටිමි) සෑම සන්ධ්‍යාවක්ම ඔවුන්ගේ සම්ප්‍රදායික ජන කළා අංගයක් වන තෙයියම් රංගනයන් සඳහා වෙන් කර තිබේ. ඉතා සාධාරණ මිලට ෆුඩ් කෝට් එකක් එහි ඇත. ( එහි මිල ගණන් බෙහෙවින් සාධාරණ බව මම පුද්ගලිකවම දුටිමි.) අපේ සැප්තැම්බර් පොත් ප්‍රදර්ශණයේ මෙන් නොව සාකච්ඡා සඳහා ඇති අවකාශයන්ට කිසිදු බාධාවක් නැත. ලවුඩ්ස්පීකර් වල බාධාවක් කොහෙත්ම නැත. සියළු සාකච්ඡා සංවාද නිදහසේ කෙරෙයි.
එසේම එහි කුටි බෙදා දීමේදී සියල්ලටම සමාන සැලකිලි ලැබෙයි. විවිධ මට්ටමේ ප්‍රකාශකයන් ඇතද ඔවුන්ට පංති සැලකිලි නැත. ඔවුන්ගේ ප්‍රමුඛතාව පාඨකයා සහ ලේඛකයා පමණි.
පොත් වෙරළකි, පාඨක සයුරකි. අභ්‍යාස පොත්, කෙටි සටහන් පොත් නොව එහි ඇත්තේ සාහිත්‍ය පොත්ය. ජනයා උත්සුක වන්නේ සාහිත්‍ය කෘති මිලට ගැනීමටය.
දුරකථන ඇමතුමකි.
‘හවස තෙයියම් බලන්න එනවා නේද?‘
ඇමතුම පුෂ්පා කුරුප් සහෝදරියගෙනි. 10 වන දින මා සමග සාකච්ඡාව පවත්වන්නී ඇයයි. පසුගිය දින ගණනාව තුළම අප වට්ස්ඇප් මගින් කතා කරමින් ඊට සූදානම් වීමු.
‘හයයි තිහ වෙද්දි මං එතන.‘ මම ඇයට පිළිතුරු දුනිමි.
පුෂ්පා යනු කේරළයේ පවත්නා ජන කලා සම්ප්‍රදායන් ගැන පර්යේෂිකාවක් සහ ලේඛිකාවකි. ඇය තෙය්යාම් ගැන එක දිගට කතා කරන්නීය.
සන්ධ්‍යව ළඟා වෙද්දී අභිලාෂ්ගේ සියයට විස්සේ වට්ටමද සමගින් පොත් ගණනාවක් මගේ මල්ලේය. ඔහු ඒවා පසුව හෝටලයට ගෙන යාම සඳහා කාර්යාලයට ගෙනයයි.
විටෙක පොත් ප්‍රදර්ශනයෙහි සරනා අයෙක් මා අසල නතර වෙයි.
‘ඔබ?’
මම මගේ නම සහ රට කියමි.
‘ඔව්නෙ, ඔබ එනබව අපි දන්නවා. ඔබේ සාකච්ඡාව දවසට අපි එනවා. ‘
මා අත ඇති පොතේ කවරයේ සිට පැන්සල කටේ ගසාගත් සාදාත් හසන් මන්ටෝ ම වෙත මද සිනා පායි.
සන්ධ්‍යාව අඳුරට හැරෙයි. මම තෙයියාම් බිමට යනු පිණිස අභිලාෂ් අමතමි.

