අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීමට පොලිසියට බලය නැති තත්ත්වයක් තුළ, අම්බුළුවාව පිළිබඳව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගම්පොල පොලිසියට කැඳවීම සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිපියක් යොමුකරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරන්නේ පොලිසියට නීතිය පිළිබඳ මතක් කළ යුතුව ඇති බවයි.
එම සංගමයේ ලේකම් එම්.එෆ්.එම්. ෆසීර්ගේ අත්සනින් පොලිස්පතිවරයා වෙත යැවූ එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ. එහි පිටපතක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර වෙත ද යොමු කර ඇත.
අසත්‍ය තොරතුරු මගින් අපහාසයක් වූයේ යැයි ලැබුණු පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ලබාගැනීමට කැඳවීම සම්බන්ධවයි.
1. ‘කරුණාකර දැනුම් දෙන්න. මාගේ ස්ථානයේ 2025.12.22 වන දින CIB 1 164/293 පරිදි සිදු කර ඇති අසත්‍ය තොරතුරු පළකිරීමට අදාළ පැමිණිල්ලට අදාළව ඔබ පොලිස් වසමේ No— ගම්පහ පදිංචි තරිඳු ජයවර්ධන යන අයට 2025/12/26 දින පැය 1100ට මාගේ ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පෙනී සිටින ලෙසට දන්වා පිළිතුරු සපයන්න.‘ යනුවෙන් සඳහන් TM 884 දරන ගම්පොල මූලස්ථාන පොලිසියෙන් එවන ලද පොලිස් පණිවුඩය ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් 2025 දෙසැම්බර් 23 වැනිදා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ නිවසට ගෙනැවිත් දී ඇත.
2. SC/FR 266/2023 දරන මූලික අයිතිවාසිකම් නඩුවට අදාළ ව 2025 ජූලි 02 දිනැතිව පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද RTM 101 සහ CRTM 61 අංක සහිත පොලිස්පති චක්‍රලේඛයේ සඳහන්ව ඇත්තේ තැනැත්තන් විමර්ශන සඳහා කැඳවීමේදී අදාළ චෝදනාව සහ දෝෂාරෝපණය ගැන ප්‍රමාණවත් දැනුම්දීමක් අදාළ තැනැත්තා වෙත ලබා දිය යුතු බවයි. කෙසේ වෙතත් ගම්පොල මූලස්ථාන පොලිසියෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කැඳවීම සඳහා ලබා දුන් පොලිස් පණිවුඩයේ කවුරුන් විසින්, කුමන හේතුවක් මත කරන ලද පැමිණිල්ලක්ද යන්නත්, අසත්‍ය තොරතුර කුමක්ද යන්නත්, ජනමාධ්‍යවේදියකු ලෙස මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ලියන ලද කුමන ලිපියක කුමන කොටසකින් හෝ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් පළකරන ලද කුමන වීඩියෝවක කුමන කොටසක අදාළ අසත්‍ය තොරතුර ඇතුළත් වන්නේද යන්නත් සඳහන් කර නැත.
3. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ගම්පොල වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් දුරකතන ඇමතුමක් මගින් 23දා කළ විමසීමේදී, ඔහු කැඳවූ හේතුව දැනගැනීමට හැකිවන්නේ පොලිසියට පැමිණීමෙන් පසුව බව මුලින් ප්‍රකාශ කර ඇති අතර, පසුව පොලිස්පති චක්‍රලේඛය ගැන සඳහන් කිරීමත් සමග එහි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ දුරකතන අංකය ලබාදී තිබේ. එම අංකයට ඇමතුමක් ගත් විට ද පෙර හා සමාන ප්‍රතිචාරයක් ලැබී ඇති අතර, පොලිස්පතිගේ චක්‍රලේඛය ගැන ද සඳහන් කරමින් ගම්පහ සිට ගම්පොලට හේතුවක් නොදැන පැමිණීම ගැන විමසීමේදී ඔහු පැමිණිල්ලට අදාළ තොරතුරු ප්‍රකාශ කර ඇත.
4. විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව පැමිණිල්ල කර ඇත්තේ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ කළමනාකරු සහ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක යැයි කියන එම් එෆ් භාකීර් නම් පුද්ගලයකු බවයි. ජනමාධ්‍යවේදියකු විසින් ලියන ලද ලිපි සහ පළකරන ලද වීඩියෝ මගින් අපහාසයක් වූයේ යැයි කියමින් පැමිණිල්ල මගින් විමර්ශනයක් ඉල්ලා ඇතැයි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත.
5. අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය යනු 2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත මගින් ස්ථාපිත රාජ්‍ය ආයතනයක් වන අතර, එම පනතේ 14 වැනි වගන්තිය යටතේ අරමුදලේ සියලු නිලධරයන් සහ සේවකයන් දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්යය සඳහා රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතුය. එසේම පනතේ 15 වැනි වගන්තිය අනුව අදාළ අරමුදල අල්ලස් පනතේ අර්ථානුකූලව උපලේඛනගත ආයතනයක් සේ සලකනු ලැබිය යුතු අතර, ඒ පනතේ විධිවිධාන ඒ අනුව අදාළ කරගනු ලැබිය යුතුය. ඒ අනුව මෙම පැමිණිල්ල කළ පුද්ගලයා සත්‍ය වශයෙන්ම ජෛව විවිධත්ව සංකීර්ණයේ නිලධාරියකු නම් ඔහු රාජ්‍ය නිලධාරියෙකි.
6. දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී අපහාසය සම්බන්ධයෙන් තිබූ වරද 2002 අංක 12 දරන පනත මගින් ඉවත් කෙරුණු අතර, ඒ අනුව අපහාසයක් වීම ගැන අපරාධ විමර්ශනයක් පැවැත්වීමට පොලිසියට හැකියාවක් නැත. එසේ තිබියදී රාජ්‍ය ආයතනයක් වන දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල මගින් මෙලෙස මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව පැමිණිල්ලක් කිරීම බරපතළ තත්ත්වයක් සේ සලකමු. එය රාජ්‍ය දේපොළ සහ බලය අවභාවිත කිරීමක් ලෙස ද සැලකිය හැකිය.
7. දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදලේ වංචා දූෂණ ගණනාවක් ගැන ජනමාධ්‍යවේදියකු ලෙස තරිඳු ජයවර්ධන කරුණු වාර්තා කර ඇති අතර, අම්බුළුවාවේ පරිසර හානි ගැන ද අවස්ථා කිහිපයකදී අනාවරණය කර තිබේ. එම ආයතනයේ අනුදැනුම මත පසුගිය දිනෙක අම්බුළුවාව ප්‍රධාන පිවිසුම අසල ත්‍රීරෝද රථ රියදුරන් පිරිසකගෙන් ඔහු ඇතුළු එහි ගිය පිරිසකට තර්ජන එල්ල වී තිබූ අතර, මෙම පැමිණිල්ල ගොනුකිරීමේ අරමුණ ම ගම්පොළට නැවත මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගෙන්වාගෙන අනතුරක් කිරීම යැයි අපි විශ්වාස කරමු.
8. අපහාසය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පොලිසියට හැකියාවක් නොමැති හෙයිනුත්, අම්බුළුවාවට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට තර්ජන එල්ල වී ඇති හෙයිනුත් චේතනාන්විතව ඔහු අපහසුතාවට පත්කිරීම සඳහා අදාළ ආයතනයෙන් කළ පැමිණිල්ල ඔහුගේ ප්‍රකාශයක් නොගෙනම අවසන් කරන ලෙස ඉල්ලා සිටිමු. පැමිණිල්ල අවසන් කිරීම සඳහා ඔහුගේ ප්‍රකාශයක් අත්‍යවශ්‍ය නම්, කොළඹ පොලිස් මූලස්ථානයේදී එම ප්‍රකාශය සටහන් කරගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙන ලෙස ද අප සංගමය ඉල්ලා සිටිමු.
9. මෙම ආයතනය මගින් පොලිස් නිලධාරීන්ට පවා මුදල් දී ඇති බව විගණකාධිපතිවරයා හෙළිදරව් කර ඇති අතර, එය අනීතික ක්‍රියාවක් බව ද විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ. යළිත් මෙවැනි ක්‍රියා ඇති නොවීම සඳහා කටයුතු කරන ලෙසත්, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අවස්ථා ගණනාවකදී හෙළිදරව් කර ඇති පරිදි අම්බුළුවාව ආයතනය මගින් පොදු දේපොළ අවභාවිත කිරීම ඇතුළු සිදුවීම් ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා සිටිමි.

