පාලින්දනුවර කුමාරිගේ ජීවන පිරිපත රැගත් මනෝහාරීගේ අභිනව කෘතිය – පුරප්පට්ටුව

Share post:

මනෝ…, මනෝහාරී හේවාවසම් යනු දසක හතරකට ආසන්න කලක සිට මාධ්‍ය ලෝකයේ නාට්‍ය, ටෙලිනාට්‍ය, සිනමාව ඈ විවිධ මාධ්‍යයන්හි නිරතව සිටින අපට හිතවත් ක්‍රියාධාරිනියකි. ඇගේ සිව්වන කෘතිය ලෙස ඇය විසින් විරචිත තෙවන නවකතාව, ‘පුරප්පට්ටුව’ පාඨකයා අත පත් වී දින කිහිපයකි.
පිටු 365ක් සහිත මේ දිගු කෘතියට ඇතුළත් වන්නේ ගැමි, දිළිඳු, සේම ප්‍රාථමික අධ්‍යාපනයක් පමණක් ලද කුමාරිගේ ජීවන වෘත්තාන්තයයි. දිගු වුව ද එකලාව කියවාගෙන යා හැකි වීම මෙහි විශේෂතාවකි. සිංහරාජ අඩවිය මායිමෙහි පාලින්දනුවරට යාබද ගම්මානයක උපන් ඇගේ ම අනවබෝධයෙන් උරුම වන විවාහ වේදනාවේ සිට සෙයිලමට සැපත් වී අතිනත හුවමාරු වී යළි ගමට ම සැපත් වන මේ එක්දරු මවගේ ජීවිතය ම ඛේදවාචකයකි. විමලසිරි සමඟ විවාහ වන අහිංසක කුමාරි දරාගත නොහෙන දෝමනස්සයන් හමුවේ ක්‍රමයෙන් නැඟී සිටින්නී, ඇය මුහුණදෙන ගැටුම් හමුවේ කතුවරියගේ ජීවිත පරිඥානය ද විශද කරන්නී ය.

මෙහිදී වසර පහක දහයක කාල පරාසයක් තුළ ඉතා සංකීර්ණ අත්දැකීම් දාමයක් එක්තැන් කරමින් කාලය සහ අවකාශය පිළිබඳ තුළිතබව රඳවා ගැනීම කතුවරියගේ දස්කමකි. සිදුවීම් ගොඩනැඟීම මෙන් ම ඒ සෑම කුමාරි සමඟ අත්‍යන්තයෙන් ම බැඳී තිබීම කදිම ය. අකමැත්තෙන් වුව ද පැවැත්ම තහවුරු කරගැනීම සඳහා නිරතවන පුරඟන දිවිසැරිය නිසා වෙහෙසට පත්වන කුමාරි ප්‍රභාත් හමුවේ දිවියේ සංහිදියාව සොයන්නී ය. ඒ හරහා බලාපොරෙත්තු රැසක් ජනිත වූව ද ජීවිතය වෙනස් කරගැනීමේ සුබ සිහිනය ද මිරිඟුවක් බවට පත්වන්නේ ජීවිතයේ අනපේක්ෂිත ස්වභාවය යළි විශද කරමිනි. එතැනින් පද්මේ අතපත්වන ඇය පළමුවරට දිවියේ සුඛ විහරණ දුටුව ද ඒ කිසිවක් ස්ථිර කර නොගෙන ම යළි ගම සොයා යයි.

මුළු දිවිය පුරා ඇගේ ආත්ධ්‍යාත්මය සමඟ සමපාත වී සිටි සොබාදහම හා කුමාරි පවත්වන පර්යුපාසානය අතිශයින් සංවේදී වූවකි. ඇය සියලු දෝමනස්සයන් මුදාහරිනුයේ සොබාදහමටයි. සොබාදහම විසින් ම ඇයට ජීවිතයේ ජය මාවත පෙන්වා දෙනු ලැබෙයි. ඒ වන විට කුමාරි ජීවිතයේ අත්දැකීම්වලින් ම පන්නරය ලද සවිමත් ගැහැනියකි.

කෙසේ වුව ද මනෝ ඉවසිල්ලෙන් මේ ‘පුරප්පට්ටුව’ තවත් වරක් දෙකක් සංස්කරණය කළේ නම් වඩා මැනැවයි හඟිමි. එසේ කිරීම බසෙහි රිද්මය සහ වියමනෙහි තියුණුබව පවත්වාගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වන හෙයිනි.

මෙම වියමනෙහි සෝදුපත් බැලීම වෙනුවෙන් මනෝ කිසිවෙකුට ස්තුති කර තිබුණ ද එවැන්නක් සිදු වී නැත. මුද්‍රණ කලාව මෙතරම් දියුණු කාලයක මුද්‍රිත කෘතියක නොතිබිය යුතු තරමට න,ණ,ල, ළ දෝෂ සහ ව්‍යාකරණ දෝෂ පිටුවෙන් පිටුවට බහුලවීම කනගාටුවකි. ප්‍රධාන භූමිකා නාමය තැන තැන කුමරි, කුමාරී, කමාරී යනුවෙන් විවිධ අයුරින් සඳහන් වෙයි. ඒ පිළිබඳ මගේ ආදරණීය සොයුරිය මනෝගේ ‘දැඩි’ අවධානය යොමුකරමි. මේ නොතකාහැරීම නිසා හීන වන්නේ මනෝ සතු පුළුල් වාග්කෝෂයේ අගයයි.

පුෂ්කර වන්නිආරචිචි

2025 අගෝස්තු 12

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...