යුද්ධය, යුදමය වශයෙන් අවසාන වීමෙන් පසු පශ්චාත් යුද මානසිකත්වය සම්බන්ධයෙන් ලංකාවේ විධිමත් සංවාදයක් ඇති වූයේ නැත. අවස්ථා කිහිපයකදී හැර, එවැනි විධිමත් වැඩසටහන් ලංකාවේ තිබුණේ ද නැත. ළමාරක්ෂක අධිකාරිය ආරම්භ කිරීමේ පුරෝගාමියා වූ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා අවස්ථා ගණනාවකදී අවධාරණය කර තිබුණේ එය සමාජයට බරපතළ අවදානමක් ඇතිකරන බවයි. එහෙත් ඒ පිළිබඳ සැලකිය යුතු අවදානයක් යොමු වූයේ නැත. යළිත් ඒ පිළිබඳ වෙනස් මානයක කතාබහක් ඇති වී තිබේ.
ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගොස් සිටින සියලු සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගන්නැයි ආරක්ෂක අමාත්‍යශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා නියෝගයක් නිකුත් කර ඇත. ඊට හේතු වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය වැඩිවීමයි. බුද්ධ අංශ මගින් අනාවරණය කරගෙන ඇත්තේ මේ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය වැඩි වීමට හමුදාවලින් පලාගිය සාමාජිකයන්ගේ සම්බන්ධ වීම සෘජු ව බලපා ඇති බවයි.
ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ අමාත්‍යංශ ලේකම්වරයා විසින් මේ අත්අඩංගුවට ගැනීම්වලට අදාළ උපදෙස් ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත පසුගිය 24 වැනිදා නිකුත් කළ බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දැකවන ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ හමුදා සේවයෙන් පලා ගොස් ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් මහජනතාවට ද තොරතුරු ලබා දිය හැකි බවයි.
මෑත කාලීනව සිදුවූ ඝාතන මෙන් ම ඊට පෙර ද වාර්තා වූ ඝාතන සහ අපරාධ රැසකට ත්‍රිවිධ හමුදාවලින් පලාගිය පුද්ගලයන් සම්බන්ධ යැයි පොලිස් වාර්තාවල සඳහන් විය. ඇතැම් පිරිස් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් හමුදා සේවයෙන් පලාගොස් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධ වන බව පසුගිය 22 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ද පැවසිණි. මේ මාධ්‍ය හමුවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, වැඩබලන පොලිස්පති සහභාගි වී සිටියහ.
මේ නියෝගය නිකුත් කිරීමත් සමග දශක තුනකට අධික කාලයක් පැවති යුදමය තත්ත්වය අවසන් වීමෙන් පසුව ත්‍රිවිධ හමුදාවෙන් සිය සේවය නිම කර ඉවත්ව යන හෝ හමුදාවෙන් පලා යන සෙබළුන් හමුදා සේවයෙන් ඉවත් වීමේදී ඔවුන්ව නැවත සමාජගත කිරීම පිළිබඳව නිසි ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක කිරීම පිළිබඳ යළිත් කතාබහක් ඇති වී තිබේ.
හමුදාවෙන් පලාගිය පිරිස කොපමණද යන්න සම්බන්ධයෙන් මේ වන විට ගණනය කරමින් සිටින බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
‘සෑහෙන්න පිරිසක් ඉන්නවා හමුදා සේවයෙන් පලාගිය අය. අපි සංඛ්‍යාත්මකව ඒ තොරතුරු ගැන විස්තර ලබාගනිමින් ඉන්නවා. ඒ වගේම හමුදාවෙන් පලාගිය ඕනෑ ම කෙනෙකුට ඇවිත් භාරවෙන්න පුළුවන්. හමුදාවේ නීතිය අනුව පලා ගිය අයට නැවත ඇවිත් භාරවෙන්න හැකියාව තියෙනවා. නමුත් එහෙම භාරනොවන අය ඉන්නවානෙ. ඒ නිසයි මේ තීරණය ක්‍රියාත්මක කරන්නෙ.’
ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා තම තීරණය ගැන එසේ ද පවසයි.
හමුදා සේවයෙන් පලාගොස් සිටින පුද්ගලයන් පිළිබඳව තොරතුරු ඇත්නම් ළඟ ම ඇති පොලිසියට හෝ හමුදා කඳවුර වෙත ලබාදීමට මහජනතාවට අවස්ථාව ඇති බවත්, හමුදාවෙන් පලා ගිය පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසියේ සහාය ලබාගන්නා බවත් වැඩිදුරටත් පවසන ලේකම්වරයා, ඊට අමතරව ත්‍රිවිධ හමුදාවවල පිහිටුවා ඇති හමුදා පොලිසියේ ද සහාය මීට ලබාගන්නා බවත් සඳහන් කරයි.
හමුදා සේවයෙන් පලාගොස් ඇති පිරිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් යම් අපරාධයකට සම්බන්ධ වී තිබේ ද යන්න පිළිබඳව විමර්ශනය කරන්නේද යනුවෙන් මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලේකම්වරයා පවසා තිබුණේ ඊට අදාළ පරීක්ෂණ සිදුකරන බවත්, ඒ පරීක්ෂණ තොරතුරු අනුව අවශ්‍ය පියවර ගන්නා බවත් ය.
‘අපි අවධානය යොමුකළා මෑත කාලයේ සිදුවූ සිදුවීම්වලට. හමුදා සාමාජිකයන් ගොඩක් අත්අඩංගුවට පත්වුණා. ඇත්තට ම සමාජ ප්‍රශ්නයක් මේ ඇතුළේ තියෙන්නේ. අවුරුද්දක් දෙකක් වගේ කෙටි කාලයක් තුළ අවි පුහුණුව ලබාගෙන එළියට යනවා කියන්නෙ එයාලා පාතාලය සමග සම්බන්ධ වෙන්න තියෙන ප්‍රවණතාව වැඩියි.’
ආරක්ෂක අංශවල සිටි පිරිස් මුහුණ දෙන මානසික අභියෝග පිළිබඳව කටයුතු කළ යුත්තේ කෙසේද යනුවෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් මහනුවර ජාතික රෝහලේ වැඩබලන වෝහාරික අධිකරණ විශේෂඥ මනෝ වෛද්‍ය චිත්තහාරි අබේනායක සඳහන් කරන්නේ හමුදා සේවයෙන් බැහැර වන පුද්ගලයන් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පෙළඹෙන හේතු පිළිබඳව මනා අධ්‍යයනයක් සිදුකිරීම වැදගත් බවයි. කරුණු කිහිපයක් හේතුවෙන් ආරක්ෂක අංශවල සේවය කළ පිරිස් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු විය හැකි බව ඇය පවසයි.
ආරක්ෂක අංශවල සේවය කරන පුද්ගලයන් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොමුවීම සම්බන්ධයෙන් විදේශ රටවල පර්යේෂණ සිදුකර ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ එවැනි කරුණු සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර ඇත් ද යන්න තමන් නොදන්නා බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.
‘සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන මතය තමයි අපරාධ වැඩිවෙන්න හේතුව නිතර නිතර අපරාධ දැකීම. ඒ අය ඒකට පුරුදු වෙන්න පුළුවන්. තව එකක් තමයි යුදමය කටයුතුවලට දිගින් දිගටම දායක වීමෙන් සමහර මානසික රෝග තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.
එතැනදි මේ අය පශ්චාත් කම්පන ආතති ආබාධ, මානසික අවපීඩනය සහ කාංසාව වැනි මානසික රෝගී තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේ තියෙන නිසා ප්‍රචණ්ඩත්වයට යොමුවෙන්න පුළුවන්. ඒ වගේ ම මත්පැන් භාවිතය නිසාත් මෙවැනි අය ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට යොමුවෙන්න පුළුවන් අවස්ථාව වැඩියි කියලා විදේශ රටවලදි සිදුකරලා තියෙන පර්යේෂණවලදී හොයාගෙන තිබෙනවා. ඒ වගේම යුද්ධයේදි හෝ එවැනි තත්ත්වයන් නිසා මොළයට ඇති වන හානි නිසාත් මේ වගේ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.
හමුදාවේ සැලසුම් සහිතව නියමිත කාලසටහනක් අනුව වැඩ කටයුතු වෙන්නෙ. එතැනදී නියෝග නිකුත් කරනවා ඉහළ නිලධාරීන්. නමුත් ගෙදරදී ඒ වගේ තත්ත්වයක් නැති නිසා ඒ අයට ගෙදර පරිසරයට හුරුවීමේදී මානසික වශයෙන් ගැටලුසහගත තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. සේවයෙන් විශ්‍රාම යාමේදී ආදායම් අඩුවීම සහ ලැබෙන පිළිගැනීම අවම වීම නිසාත් මේ පුද්ගලයන්ට ඇති වන මානසික පීඩනයක් තියෙනවා. ඒ වගේ ම මේ අයට අවි පුහුණුවක් තියෙනවා වගේ ම ඒ අයට අවිවලට තියෙන ප්‍රවේශය වැඩි නිසා මේ වගේ අයගෙන් සිදුවෙන්න පුළුවන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා අනෙක් අයට වඩා වැඩිවෙන්න පුළුවන්.’
විශේෂඥ මනෝ වෛද්‍යවරිය බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ ද සඳහන් කරයි.
‘හමුදා සේවයෙන් ඉවත් වන සාමාජිකයන්ගේ මානසික රෝගී තත්ත්වය වැඩියි කියලා ලෝකයේ හොයාගෙන තියෙනවා. ඒ වගේ ම මත්ද්‍රව්‍ය භාවිතය ගැනත් ඒ අයව පුනරුත්ථාපනය වෙන්න ඕනෙ. ලංකාවේදි කරපු පරීක්ෂණවලදිත් මේ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේ ම තමයි සේවයෙන් විශ්‍රාම ගියාට පස්සේ සමාජයෙන් ලැබෙන පිළිගැනීම නොලැබෙයි කියන මානසිකත්වය මතත් ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම අවශ්‍ය වෙනවා.’
ඇය පවසන තවත් වැදගත් කරුණක් වන්නේ එවැනි ආරක්ෂක අංශ සාමාජිකයන් සිටින පවුල්වල සාමාජිකයන් ද මෙවැනි තත්ත්වයන්ට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ දැනුවත් කළ යුතුව ඇති බවයි. පවුලේ සාමාජිකයින්ට මෙන් ම දිගු කාලයක් පවුලෙන් ඈත්වී සිටි ආරක්ෂක අංශ සාමාජිකයෙකුට ද සේවයෙන් විශ්‍රාම ලබා නැවත පවුල සමග එකතුවිමේදී අනුගමනය කළ යුතු පියවර ගැන දැනුවත් කිරීම අවශ්‍ය කරුණක් බව ද ඇය පවසයි.
එසේම හමුදා සේවයෙන් විශ්‍රාම යන පුද්ගලයකුට නැවත ජීවනෝපාය මාර්ගයක් ආරම්භ කිරීම සඳහා වෘත්තීය පුහුණුවක් ලබා දීම ඉතා වැදගත් බව ද මේ පිළිබඳ අදහස් දක්වන පුනරුත්තාපන විෂය පිළිබඳ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
මෙවැනි තත්ත්වයක් යටතේ අපරාධ අවම කිරීම සම්බන්ධයෙන් පුළුල් ව බැලිය යුතු බවත්, කෙටි කාලීන විසඳුම් වෙන ම තිබියදී මෙවැනි දීර්ඝකාලීන විසඳුම් සම්බන්ධයෙන් ද අනිවාර්යයෙන් ම අවධානය යොමු කළ යුතු බවත් මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලෝකය මෙවැනි දේ පිළිබඳ පුළුල් පර්යේෂණ සිදුකරන බවත්, අප එම දැනුම මෙරටට ගෙන ආ යුතු බවත් ය. සමාජයක් ලෙස සමස්තයට මේ පිළිබඳ වගකීමක් ඇතැයි ද මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.