ගනේමුල්ල සංජීවගේ මරණ පරීක්ෂණ තීන්දුව මෙන්න : මල්ලි කොළඹ ගෙනාපු බවක් මම දැනගෙන හිටියෙ නෑ – සංජීවගේ අක්කා

Share post:

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස හැඳින්වෙන ගණේමුල්ල සංජීවගේ මරණ පරීක්ෂණ කටයුතු අද (28) අවසන් කෙරිණි.

එහිදී අනාවරණය වූයේ සංජීවගේ මරණය වෙඩිතැබීම නිසා පපුවට, උදරයට සහ ඔළුවේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදු වු බහුවිධ තුවාල හේතුවෙන් සිදු ව තිබෙන බවයි. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි අද මේ තීන්දුව ප්‍රකාශයට පත්කළාය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය පැවසුවේ මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ නිරීක්ෂණ සහ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බලා තමන් මෙම තීරණයට එළැඹුණු බවයි.

මෙහිදී මරණ සහතිකය ද නිකුත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ අතර, මරණ පරීක්ෂණයේ අවසාන සාක්ෂිකාරිය ලෙස සංජීවගේ සහෝදරිය අද සාක්ෂි ලබාදුන්නාය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සහෝදරිය මෙසේ කීවාය.

‘සංජීව මගේ මල්ලි. මේ සිද්ධියට පෙර ඔහු හිටියේ බූස්ස බන්ධනාගාරයේ. සතියට දෙවතාවක් මම මල්ලි බලන්න බන්ධනාගාරයට යනවා. ඔහුට තිබෙන නඩු ගැන මට දැනීමක් නැහැ.

පසුගිය 19 වැනිදා ඔහුව නඩුවක් සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බව මා දැන සිටියේ නෑ. එදා පෙරවරු 10.30 – 11.00 විතර මට කෝල් එකක් ආවා. මල්ලිට වෙඩි තියලා කියලා කිව්වා. ඒ එක්කම මම ලෝයර් ලක්ෂ්මන් පෙරේරාට කතා කළා. එයා කිව්වා වෙඩි තිබ්බා කියලා ආරංචියි කියලා. පසුව උසාවියේදී වෙඩි වැදුණු බව මම දැනගත්තා.

පසුගිය 20 වැනිදා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වුණා. එහිදී මියගිය තැනැත්තා සංජීව කුමාර සමරත්න කියලා මම හඳුනාගත්තා. පසුව කෙසෙල්වත්ත පොලීසියට ප්‍රකාශයක් ලබාදුන්නා. පසුව මමයි අම්මයි මෘත දේහය බාරගත්තා.’

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණයට පත් වූ සංජීව කුමාර සමරත්නට වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වීම අවශ්‍ය බව පෙන්වා දුන්හ.

විශේෂයෙන්ම ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීම වැදගත් බවත් එම නීතිඥවරු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

ඉදිරිපත් වූ සියලු‍ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මරණයට අදාළ හේතුව දැක්වෙන තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවාය.

නඩුව යළිත් මාර්තු 07 වනදා කැඳවීමට ද මෙහිදී නියෝග කෙරිණි.
පසුගිය 19 වැනිදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්ති කූඩුවේ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය සිදු විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...